එජාපය අද කොරහෙ කිඹුල්ලු දකිනවා

එජාපය අද කොරහෙ කිඹුල්ලු දකිනවා

වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර

අඛණ්ඩව වසර විස්සක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අපරාජිත මන්ත්‍රීවරයෙක් ලෙස අර්ල් ගුණසේකර මහතා හැඳින්විය හැකිය. එක්සත් ජාතික පක්ෂය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජයලබා පසුව රජයට එක්වූ අර්ල් ගුණසේකර මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක වශයෙන් කටයුතු කරයි. වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා ලෙසද ජනතාව අතර සිටින ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

වත්මන් රජය කෙතරම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් ජනතාවට දැනෙන ආර්ථික වර්ධනයක් රටතුළ නොමැති වීමට හේතුව රජයට නිවැරදි ආර්ථික කළමනාකරණයක් නොමැතිකම බවට චෝදනා එල්ලවෙනවා.

ලෝකයේ කිසිදු රටක බඩු මිල අඩුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජීවන වියදම කියන එක ඉහළ යනවා. මේ ආණ්ඩුවට නිවැරදි කළමනාකරණයක් නැති බවට චෝදනා කරන විපක්ෂයට අද අමතකයි ඔවුන් ආණ්ඩුව කරද්දි රටේ ණය බර 02% වී තිබුණ බව. චන්ද්‍රිකා පාලනය කාලය තුළ රටේ ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍණ අගයක් ගත්තා. ආණ්ඩුබලය නොමැති කාලයේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා පම්පෝරි ගහන්න කාටත් පුළුවන්.

ඒත් රටක් කරවන විට ජනතාවගේ හෙට ගැනත් හිතන්න ඕනෑ.අද මේ ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නැහැ කියලා චෝදනා කරන අය මේ රටේ කලක් ආණ්ඩු කළ හා ඊට සහයෝගය දැක්වූ අය බව අමතක කරන්න එපා.

මේ අය කියන දේවල් පිළිගන්න නම් රටේ ජනතාව මැරිලා ඉපදෙන්න ඕනෑ. මේ රජය සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ අනාගතය ගැන හිතලයි. මේවායෙහි ප්‍රතිලාභ අදට වඩා දැනෙන්නේ හෙටයි. 2005 දි සියයට එකසිය හයක්ව තිබූ ණය බර ජනපති නායකත්වය යටතේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් මඟින් අද වන විට සියයට හැත්තෑවක් දක්වා අඩු කර ගෙන තිබෙනවා.

රජය නියෝජනය කරන පක්ෂය තුළ අද මත ගැටුම් ඇති වෙමින් තිබෙන බවත් මෙය ආණ්ඩුව මෙතෙක් රඳවාගෙන සිටි බලය පුපුරා යාමේ මුල් අදියර බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එක්සත් ජාතික පක්ෂය අද රනිල්ගේ නායකත්වය යටතේ ළිං පතුලටම වැටිලයි තිබෙන්නේ. පක්ෂයට රටට ආදරය කරන කිහිප දෙනෙක් තවමත් ඒ පක්ෂය තුළ හිටියත් ඔවුනට හඬක් නැහැ. ළිං පතුලටම වැටුණු එජාපයේ සිටින වැඩ බැරි, ලෝකය නොදැකපු පිරිසක් ළිං මැඩියෝ වගේ බක බක ගානවා. මේ අයට කියන්න තියෙන්නේ එන්න ළිඳෙන් එළියට , ඇවිත් ලෝකය දකින්න කියලයි. අද එජාපය මහජනතාවගේ ඡන්දයෙන් තමන්ට බලයට ඒමට නොහැකි බව පිළිගෙන හමාරයි.

ඒ නිසා ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් වේවායි සිහින දකිනවා. ඊට පස්සේ ඒක හැබෑව කියලා රටට කියනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ පක්ෂ ගණනාවක එකතුවක්. මේ තුළ සිංහල දෙමල මුස්ලිම් සැවොම කණ්ඩායමක් ලෙස නියෝජනය කරනවා. පවුලක් ගත්තත් වාද භේද විවාද තිබෙනවා. බත ඉදෙනකොට ඒවා ඉවරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ප්‍රගතශීලි සියලු බලවේග එක කුඩයක් යටට අද ගෙනැවිත් තිබෙනවා.

ඕනෑම අයෙකුට ඕනෑම කාරණයක් විවේචනය කිරීමේ අවස්ථාව නිදහස් සන්ධානය තුළ තිබෙනවා. මැතිවරණයකදී තනිව තරඟ කරන්නත් පක්ෂවලට අවකාශ තිබෙනවා. එජාපය අද කොරහේ කිඹුල්ලු දකිනවා. ආණ්ඩුව ඇතුළේ එජාපය කියන ආකාරයේ මත ගැටුම් නැහැ. මම එජාපයට කියන්නේ එදා ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන් වැනි යුග පුරුෂයන් මේ පක්ෂය බිහි කළේ ජනතා කැමැත්තෙන් බලයට ඒමට මිස කුමන්ත්‍රණ තුළින් බලය ඩැහැගන්න නොවේ.

ඔබ එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට සහාය දීමට එක්වූ මන්ත්‍රීවරයෙක්.එදා ඔබ ගත් තීරණය පිළිබඳව අද කනගාටුවක් නැද්ද?

කොහෙත්ම නැහැ. මම කවදත් තීන්දු තීරණ නිවැරදිව ගත්ත කෙනෙක්. එහෙම නැතිනම් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙසත් දේශපාලනඥයෙකු ලෙසත් මට මේ තරම් ඉදිරිගමනක් එන්න බැහැ. මම ජීවිතයේ ගත් වැදගත් තීරණ අතරින් වඩා වැදගත්ම තීරණය තමයි ජනාධිපතිතුමාට සහාය දීමට එක්වීම. දහඅටවන සංශෝධනය තුනෙන්දෙකක බලයෙන් සම්මත වීම මෙරට ලද ජයග්‍රහණයක්. ඒකට අවශ්‍ය තුනෙන්දෙකක බලය ලබා ගැනීමේ තීරණාත්මක අවස්ථාවේදී තමයි මම රජයට සහාය දුන්නේ.

අද එජාපය තුළ සිට ජනතා සේවයක් කරන්න බැහැ. දේශපාලනඥයෝ විදිහට අපි මන්ත්‍රි ධුරය දරන කාලේ ජනතාවට සේවය කල යුතුයි. අද විපක්ෂයේ පිරිස් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පෙරට දා ගෙන හඬ නඟන්නේ ඔවුන්ට ජනතාවගේ අවධානය දිනා ගන්න වෙනත් මාතෘකාවක් නැති නිසායි .ඔය කෑ ගහන උදවියගෙන් කෙනෙක් බැරි වෙලාවත් මේ ධුරයට පත්වුණොත් ඔහු එදා සිට මේකට පක්ෂව කතා කරනවා.

මේක බලතල සහිත ධුරයක් නිසා එය වැරදි කෙනෙක් අතට පත්වුණොත් මහා විනාශයක් විය හැකි බව මමත් පිළිගන්නවා. අද ජාතියේ වාසනාවට එම තනතුර දරන්නේ ඊට සුදුසුම කෙනායි. විධායක ජනාධිපතිධුරයේ යම් වෙනසක් අවශ්‍ය නම් එය ජනාධිපතිතුමා කරාවි.

එතුමා රටට අහිතකර යමක් සිදු නොකරන බව පසුගිය පාලන කාලය තුළ ක්‍රියාවෙන් ඔප්පු කළා. යුද්ධය පවතිද්දිත් ඉන් පසුවත් රජයට එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්වලට සාර්ථකව මුහුණ දුන් ජනාධිපතිතුමාට ශක්තියක් වෙමින් ,මේ ජනාධිපති ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය නොවන්නට ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ සටන බරපතළ ලෙස ඉදිරියට යද්දී මෙරට බලලෝභී විදේශිය කුමන්ත්‍රණකරුවන් හා එක්ව රජය අපහසුතාවයට පත්කර රට අස්ථාවර කරනු නිසැකයි.

ඒනිසා එම කාලවකවානුව තුළ අවශ්‍යයද නැද්ද කියන කාරණාව පිළිබඳව වැඩිදෙනෙකුගේ අවධානය යොමු වුණේ නැහැ. අද සාමය ස්ථාපිත වීමත් සමඟ මේ ධුරයත් තිබිය යුතුද නැද්ද යන්න පිළිබඳව සමාජ කතිකා ඇති වෙමින් තිබෙනවා. ආත්මාර්ථකාමි පටු අරමුණුවලින් තොර සෑම කණ්ඩායමක් ම එකඟවන ස්ථානයකට ජනාධිපතිතුමා එකතුවන බව විශ්වාසයි. මොකද එතුමා ජනතා කැමැත්තට හිස නමන නායකයෙක් .

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදි ආණ්ඩුව ජය ගත්තත් විපක්ෂය යම් ප්‍රමාණයක නැගිටීමක් පෙන්නුම් කළා.මෙවර ඌවෙදි එය තව දුරටත් වර්ධනය කර ගනිමින් ඌවේ බලය තමන් සතු කරගන්නා බව විපක්ෂය කියනවා.

දේශපාලන විද්‍යාවේ කියන පරිදි බලයේ සිටින පක්ෂය වසරින් වසර ජනතා අප්‍රසාදයට පත් වෙනවා.ඒක දේශපාලන විද්‍යාවේ මුලධර්මයක්. මේ ආණ්ඩුව දැන්එක දිගට වසර දහයක් පමණ රට පාලනය කරනවා. පසුගිය මැතිවරණ බොහොමයක ප්‍රතිඵල විශ්ලේෂණය කර බලන්න . දේශපාලන විද්‍යාවේ ඒ මූල ධර්මය උඩුයටිකුරු කරමින් විපක්ෂය තමයි මැතිවරණයෙන් මැතිවරණයට ජනතා අප්‍රසාදයට ලක්වුණේ. වසර 2005 දී වැඩි ඡන්ද ලක්ෂ එක හමාරකින් ජයගත් මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ වර ජය ගත්තේ වැඩි ඡන්ද රුපියල් ලක්ෂ 19 කින්. මෙතෙක් පවත්වා තිබෙන පළාත් සභාවල ප්‍රතිපල අනුව සන්ධානයට වැඩි ඡන්ද ලක්ෂ විසිහතක් තිබෙනවා.

ඌව මැතිවරණයෙන් අපි දිනන බව සක්සුදක්සේ පැහැදිලියි. සන්ධානය සමඟ එකට සිටින පක්ෂ ඇතැම් විට මැතිවරණයට වෙන්ව තරග කළත් පළාත් සභාව පිහිටු වීමේදි ඒ සැවොම ඉන්නේ අපිත් එක්කයි.

මෙවර ඌවට මහඇමති අපේක්ෂකයෙක් ලෙස එක්සත්ජාතික පක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් වීම අභියෝගයක් වෙයිද?

එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලින් පරාජය වෙලා අද ලෝක වාර්තාවක් තියලා තියෙන්නේ. හරීන් තව දුරටත් එම වාර්තාව ඉදිරියට ගෙන යන්න රනිල්ට උදවු කරනවා. ඌවට එජාපය දෙන බිල්ල තමයි හරීන්. මොකද මම එහෙම කියන්නේ රනිල්ගේ පරාජයේ සියලු පවුවලට මේ මැතිවරණයේ දී කර ගහන්න වෙන්නේ හරීන්ටයි. හරීන් අනිවාර්යෙන්ම ඌව පළාත් සභාවේ ප්‍රතිඵල නිකුත් වෙනකොට විපක්ෂ නායක ලෙස පත්වේවි.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව චෝදනා කරනවා. මේවා කුමන්ත්‍රණ.රජයට මේවාට මුහුණ දීමේ ශක්තිය තිබෙනවාද?

1815 දි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කිව්වා, උඹලාගේ අවසන් රජු කෘෘර ලෙස රට පාලනය කරනවා, අපි ආවේ උඹලාට උදව් කරන්න කියලා.අවුරුදු සීයක් විතරම රට සූරා කෑවා. අද බටහිර රටවල් මේ රටට රිංගන්න හදන්නේ මේ න්‍යායෙන්. අරාබි රටවලට යන්නේ තෙල් වලට. අපේ රටට එන්නේ අපේ සම්පත් කොල්ලකන්නයි.

මානව හිමිකම් ගැන කතාකරන අය සිරියාවේ ගාසා තීරයේ සිදුවන දේවල් ගැන මොනවද හොයන්නේ. අපේ විපක්ෂය බලන්නේ, ජාත්‍යන්තරයෙන් රටට ප්‍රශ්න ඇතිකරනකන්. යම් නිහඬතාවයක් පැවතුනහොත් මේ අය ඇඟිල්ලෙන් ඇනලා හරි ආයෙත් ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණකාරයින් ඇහැරවලා මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ආණ්ඩුව හැම වෙලාවෙම එක මතයක ඉන්නවා. එහෙම නැතුව අපේ විපක්ෂය වගේ ජාත්‍යන්තර කේලම් කියමින් රාජ්‍ය නොවන සංවිධානවලින් පොම්පකරන සල්ලි වලින් රට අවුල් කරන්න හදන්නේ නැහැ. ඒක ශාපකාරි ක්‍රියාවක්.

රට සංවර්ධනය කිරීමෙන් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳා දිය හැකිද? ජනතාව බලාපොරොත්තු වන්නේ අත මිට සල්ලි ගැවසෙන දිනයක්.

රටක් සංවර්ධනය නොකර ඡන්දයකින් දිනන්න බැහැ. අමෙරිකන්කාරයෝ ගහලා මේක වෙනස් කරලා දෙයි කියලා සමහරු බලාගෙන ඉන්නවා.මේ රජය ඉදිරි දශක දෙකත් රට පාලනය කරනවා.යුද්ධය නිම කරලා වසර පහයි.මේ රජයට තව කාලයක් දෙන්න ඕනි. ලෝකයේ කොයි රටේද යුද්ධය අවසන් වූ ගමන් මේ තරම් ඉක්මනට නැඟී සිටියේ.ජනතාව අත මුදල් ගැවසෙන්න සංවර්ධන ව්‍යාපෘති බෙහෙවින් බලපානවා. ඕනෑම රටක කුමන හෝ ව්‍යාපාරයක් ඇති කරන්නේ , ජනතා සුභ සිද්ධියක් අපේක්ෂාවෙන්. ඒ අපේක්ෂාව අපේ ආණ්ඩුවටත් තිබෙනවා. ජනාධිපතිතුමාත් අපිත් හැම කටයුත්තක්ම කරන්නේ, ජනතා සුභසිද්ධිය උදෙසායි.

වැවිලි කර්මාන්තය හරහා ජනතාවට මෙම සුභ සිද්ධිය ඇතිකර දී තිබෙනවාද?

තේ දලු කිලෝව රුපියල් 25/= ට වැටෙනකොට රජය පොහොර සහනාධාරයක් දුන්නා. දැන් දලු කිලෝව රුපියල් 50 -70 ත් අතර තියෙනවා. ඒත් සහනාධාරය තවමත් දෙනවා. පාංශු සංරක්ෂණය සඳහා කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබා දෙනවා. රබර් මිල ටිකක් අඩුයි. ඒක ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ක් අපි සැලසුම් කර තිබෙනවා.

තේවලට හොඳ මිලක් තිබෙනවා. නමුත් කසල තේ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු නිසා ශ්‍රී ලංකා තේවලට ජාත්‍යන්තරයේ පවතින තත්ත්වය හෑල්ලුවෙනවා.මේ සම්බන්ධයෙන් රජය දැඩිව ක්‍රියා කරනවා. සිලෝන් ටී නාමය ක්‍රිකට් ටීම් එකට මිලියන 600ක් වැය කරලා ප්‍රචාරය ලබා ගත්තා. රුසියාව චීනය දකුණු ඇමරිකාව වැනි රටවල් අලුත් වෙෙළඳපොළ සොයා ගත්තා. අපිත් ඒ වගේ අලුත් විදිහට හැම දෙයක්ම වෙනස් කරන්න ඕනෑ. මම හැකි හැම අවස්ථාවකම ජනතා සහනය ගැන සිතන පුද්ගලයෙක්.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා