ජාත්‍යන්තර නෞකා 38කට මාගම්පුර වරායෙන් ඉන්ධන

ජාත්‍යන්තර නෞකා 38කට මාගම්පුර වරායෙන් ඉන්ධන

විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දෙමසක් ඇතුළත ජාත්‍යන්තර නෞකා 38ක් රුහුණු මාගම්පුර වරායට පැමිණ ඉන්ධන ලබා ගැනීමෙන් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය සහ නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂය නඟන චෝදනාවලට මෙය කදිම පිළිතුරක් බව කී ඇමතිවරයා ඊයේ(20) වන විට විදේශ නැව්වලට ඉන්ධන මෙට්‍රික් ටොන් දොළොස් දහසක් සපයා ඇතැයි සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ සිට ඉන්දියාව හරහා දකුණු අප්‍රිකාව බලා ජාත්‍යාන්තර මාර්ගයේ ගමන් ගත් නෞකා සඳහා ඉන්ධන සැපයු බවත් වාහන මෙහෙයුම් නෞකා විශාල ප්‍රමාණයක් මේ වන විට රුහුණු මාගම්පුරයට පැමිණ ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.

හම්බන්තොට වරායේ වාහන ප්‍රතිඅපනයනය ප්‍රශස්ථ මට්ටමක ඇති බව කී ඇමතිවරයා 2012 ජූනි 01දින ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කළ රුහුණු වරායේ වාහන එක්ලක්ෂ අසුදෙදහසක් මෙතෙක් මෙහෙයවා ඇතැයි ද අවධාරණය කළේය.

රුහුණු මාගම්පුර වරායට වාහන මෙහෙයුම් නෞකා 358ක් පැමිණි බව කී ඒ මහතා 2012 වසරේ වාහන 4343කින් ඇරඹි වාහන ප්‍රතිඅපනයනය වාහන එක්ලක්ෂ අසුදෙදහක් දක්වා ඉහළ නැංවීම රජයක් ලෙස ලැබු දැවැන්ත ජයග්‍රහණයක් යැයි සඳහන් කළේය.

ජාත්‍යාන්තර මාර්ග ඔස්සේ ගමන් ගත් නෞකා මෙතෙක් ඉන්ධන ලබාගත්තේ ඉන්දියාව සිංගප්පූරුව ආදි රටවල්වලින් බව පැවැසු ඇමැතිවරයා නෞකා සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් අසූදහසක් මෙම වරායේ තැන්පත් කොට ඇති බව කීය.

මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර වරායේ තෙල් ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයේ නෞකාවලට අමතරව ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන පහසුකම් ඇතැයිද ඝන මීටර් 74000ක ධාරිතාවකින් යුතු තෙල් ගබඩා සංකීර්ණයේ නෞකා ඉන්ධන ටැංකි අටක් ද ගුවන්යානා ඉන්ධන ටැංකි තුනක් ද ගෑස් ටැංකි තුනක් ද ඉදිකොට ඇතැයි ද මෙය ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට දිරිදීමක් යැයි සඳහන් කළේය. බහලුම් ආනයන සහ ප්‍රතිඅපනයන කටයුතු කඩිනමින් අරඹන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රීයාත් බී. වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා