මහින්ද රාජපක්ෂ කොටි නැති නොකළා නම් එය ඉන්දියාවටත් තර්ජනයක්

* ජනපති මහින්ද දෙමළ ජනතාවට හිතවත්

* උතුරේ මහ ඇමැතිට ජනපති කළ ඇරියුම වැදගත්

මහින්ද රාජපක්ෂ කොටි නැති නොකළා නම් එය ඉන්දියාවටත් තර්ජනයක්

* ඇතැම් දේශපාලකයන් ජාතිවාදී විෂබීජ පැතිරවීමට ගන්නා වෑයම ඉන්දියාව දන්නවා

ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාවට හිතවත්. ඔවුනට උදව් කරනවා.ජනපති මහින්ද කොටි ත්‍රස්තවාදය අවසන් නොකළා නම් එය ඉන්දියාවටත් තර්ජනයක්. නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්වී දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට එතුමා ඉන්දියාවට යන අවස්ථාවේ එතුමා විසින්ම උතුරේ මහ ඇමැතිවරයාටද එතුමා සමඟ ඊට සහභාගි වීමට ආරාධනා කිරීම වැදගත් සිද්ධියක්.

ඡායාරූපය-ගයාන් පුෂ්පික

ඔහු ඊට සහභාගි වූයේ නැහැ. ඇතැම් දේශපාලනඥයන් ජනතාවගේ මනසට ජාතිවාදී විෂබීජ ඇතුළු කිරීමට මොන තරම් උත්සාහ කරනවාද කියලා ඉන්දියාව හොඳින් දන්නා බව ආචාර්ය සුබ්‍රමනියම් මහතා කීය.

ත්‍රස්තවාදය නිමාකළ මෙරට ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව ජාත්‍යන්තරය ඉදිරියේ අපරාධ ‍චෝදනා නැගීමට මූලික වී කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානය එවකට යුද්ධ හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මහතා රටේ ජනාධිපතිවරයා කිරීමට සහයෝගය දීම එම සන්ධානයේ කුමන ප්‍රතිපත්ති‍යක් දැයි ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විමසයි.

දෙමළ ජාතික සන්ධානයේ එම අරමුණක් නැති ප්‍රතිපත්තිය පිළිබඳව මේ රටේ දෙමළ ජනතාව ඉතා හොඳ අවබෝධයකින් සිතා බැලිය යුතු බවද ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා දෙමළ ජනතාවට පණිවුඩයක් දෙමින් කියා ‍සිටියි.

සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙම අදහස් හෙළිදරව් කළේ ඊයේ (20) තුන්වැනි දිනටත් පැවැත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක සමුළුව ඇමතූ අවස්ථාවේදීය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ දෙස් විදෙස් රටවල් ගණනාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ මෙම සමුළුව පැවැත්විණි.

ඇතැම් රටවල් මේ රට තුළ යුද්ධයේදී මිනිස් සංහාරයක් ඇතිවී ඇතැයි ප්‍රකාශ කළත් කිසිම ආකාරයකින් එවැනි දෙයක් සිදුවී නොමැත‍.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ බව පිළිගෙන ඇත. මෙරට තුළ මිනිස් සංහාරයක් සිදුවූයේ යැයි මතයක් ගොඩ නගා එය ප්‍රචාරය කරන්නේ ලන්ඩන්වල සිටින එක්තරා කණ්ඩායමක් පමණි.

මේ රටේ දෙමළ ජනතාවට රජය සමඟ එකට එකතුවී සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටුකර ගත හැකි බව ඔවුන් සිහිතබාගත යුතු බවද ආචාර්ය සුබ්‍රමනියම් මහතා පවසයි.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ලංකාව තුළ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදුවී තිබේ. ඒ අතර විශාල සංවර්ධනයක් ද සිදුවී ඇත. තවද එවැනි තත්ත්වයක් තුළ රට තුළ මැතිවරණ ද ඉතාම හොඳින් පවත්වා ඇත.

දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන බොහෝ අය ජාතිවාදී විෂබීජය ජනතාවට දෙන්නේ විවිධ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්. දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන කරුණානිධි සහ ‍ෛ‍වකෝටවත් හරියට දෙමළ භාෂාව කතා කළ නොහැකියි. ඊට හේතුව ඔවුන් ජීවත් වෙන්නේ දෙමළ ජනතාව සමඟ නොව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශවල වීමයි.

අද ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කළ දවස බව මතක් කළ ආචාර්ය සුබ්‍රමනියම් මහතා රජීව් ගාන්ධි මහතා තමාගේ සමීපතම මිතුරකු බවද පැවසීය.

තවද රජීව් ගාන්ධි මහතාගේ මව වූ ඉන්දිරා ගාන්ධි මහත්මිය අතීතයේ දිනක කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබාදී සිදුකළ වරදක ප්‍රතිඵලය තුළින් පසු දිනෙක රජීව් ගාන්ධි මහතාද ත්‍රස්තවාදීන් විසින් බිලිගත් ආකාරයද පෙන්වා දුන් ආචාර්ය සුබ්‍රමනියම් මහතා ඇය අතින් එම අතපසුවීම සිදුවූයේ එවකට මෙරට හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ කෙනෙහිලිකම්වලට එරෙහිව බවත් පෙන්වා දුන්නේය.

තවද මෙරට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දීය හමුදාව මෙරටින් පළවාහැරීමට කටයුතු කිරීම සඳහා කොටි සංවිධානයට හොර රහසේ ආයුධ ලබාදුන් බව පවසන ආචාර්ය සුබ්‍රමනියම් මහතා පසුව එම ආයුධවලින්ම ත්‍රස්තවාදීන් ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය කළ බවද පෙන්වා දුන්නේය.

තවද ඉදිරියේදී සියලුම සාක් රටවල්වල ආරක්ෂාව කෙරෙහිද මින් ඉදිරියට එම සමුළුවේදී සාකච්ඡා කළ යුතු බවට ඉන්දීය අගමැතිවරයා හරහා ඉදිරි සමුළුවේදී යෝජනා කිරීමට කටයුතු කිරීමටද බලාපොරොත්තු වෙයි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය ධීවර ප්‍රශ්නය හරහා ඇතැම් ‍කණ්ඩායම් දෙරට තුළ ප්‍රශ්නයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පෙන්වාදුන් ආචාර්ය සුබ්‍රමනියම් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවේ සිටි සියලුම ධීවරයන් නිදහස් කර ඇති බවද කීය.

එහෙත් අහිංසක ධීවර ශ්‍රමය හරහා ඉන්දීය මෙන්ම ලංකාවේ මාළු සම්පත සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් ධීවර බෝට්ටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිදහස් නොකිරීම තමා අගය කරන බවද කීය. තවද කෙසේවත් දුප්පත් ධීවරයන් නිසා දෙරට අතර කිසිම ගැටලුවක් නැති බවද කීය.

තවද මෙහිදී උතුරට පොලිස් බලතල ඉල්ලා සිටීම පිළිබඳ අදහස් දැක්වූ ආචාර්ය සුබ්‍රමනියම් මහතා ඉන්දියාවේද සෑම ප්‍රාන්තයකටම පොලිස් බලතල ලබාදී නොමැති බවත් පොලිස් බලතල ලබාදීම අවශ්‍ය නොවන බව රජයට පෙනී යන්නේ නම් එසේ ලබා නොදීම රජය සතු අයිතියක් බවද කීය.

තවද ඉන්දීය රජයේ විදේශ ප්‍රතිපත්තිය තමිල්නාඩුවට හෝ වෙනත් ප්‍රාන්තයකට අවශ්‍ය ආකාරයට හසුරවන්නක් නොවන බවත් එම ප්‍රතිපත්තිය ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත රජය සතු දෙයක් බවද පවසයි. ඉන්දියාව කිසිම රටක ස්වෛරීත්වයට බාධා නොකරයි. යම් රටක් ශ්‍රී ලංකාව හෝ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට එරෙහිව පවත්වන පරීක්ෂණවලට කිසිම සහායක් ඉන්දියාවෙන් නොලැබෙයි.

සංස්කෘතිකමය වශයෙන් සහ ආගම් අතින්ද ලංකාව සහ ඉන්දියාව එකට බැඳී සිටියි. දෙරට අතර ඉතිහාසයේ සිට බැඳීමක් ඇත. එය වර්ධනය කර ගත යුතුයි.

තවද ඉන්දියාවටත් ලංකාවටත් සාකච්ඡා කර විසඳාගත නොහැකි කිසිම ප්‍රශ්නයක් නොමැති බවද ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙම සමුළුවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා