උත්තරීතර

උත්තරීතර

 සිහිනයක් සැබෑ විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති ලෙස කටයුතු කළ සමයේ ඉදිරිපත් වූ සාගර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අදහස සඵල වූයේ ඊට අදාළ පනත් කෙටුම්පත සම්මත වීම තුළිනි. විශ්වවිද්‍යාලයක් සාගරයට ධීවරයාට කුමට දැයි ඇසූ පිරිසක් සමඟ පියවරෙන් පියවර සාගර විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණියේය.

විශ්වවිද්‍යාලය වෙනුවට ප්‍රථමයෙන් පිහිටු වූයේ විද්‍යායතනයකි. අද එය විශ්වවිද්‍යාල මට්ටමට පත් කෙරේ. සම්ප්‍රදායික විශ්වවිද්‍යාල මට්ටමින් සාගර විශ්වවිද්‍යාලය වෙනස් වේ. පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාය. මෙම පනත් කෙටුම්පතට සභාවේ පූර්ණ සහාය ලැබුණි. කතාකළ සියලු දෙනා පනතට පමණක් නොව අලහප්පෙරුම මහතාට පූර්ණ සහාය දෙන බව කීහ. විවාදය ඇමැතිවරයාගේ ප්‍රසස්තියක් බවට පත් වන මට්ටමට පත්වීම සතුටට කරුණකි. එජාපය කතා කළේ තමන්ගේ පනත් කෙටුම්පතක් ලෙස සළකාය.

අලහප්පෙරුම මහතා සාගර විශ්වවිද්‍යාල අදහස ඉදිරිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුදකළේය. තංගල්ලේ පිහිටුවන මේ විශ්වවිද්‍යාලය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා හැඟීමෙන් කතා කළේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කළ විජිත හේරත් මහතා අදහස් දැක්වූයේ පනත හොඳින් කියවා බලා බව පෙනුනි. ඔහු පනතට පූර්ණ සහාය දෙන බව කීවත් අඩුපාඩු කිහිපයක් ගැන විවේචනයක් ද කළේය. පනත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් නොකිරීම, පාඨමාලාවලට මුදල් අයකර ගැනීම හා විශ්වවිද්‍යාලයේ දේපළ ධීවර අමාත්‍යාංශය සතු වීම ගැන ප්‍රශ්න කළ හේරත් මහතා එම කරුණු නිවැරදි කරන්නැයි ඉල්ලා සිටියේය. විශ්වවිද්‍යාලයේ දේපළ නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය සතු බව කී අලහප්පෙරුම මහතා එය ධීවර අමාත්‍යාංශය සතුවන බවට සඳහන් වන්නේ මුද්‍රණ දෝෂයක් නිසා හෙයින් එය සංශෝධනය කරන බව කීය.

ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා නාකි නිලධාරින් පන්නා දමන ලෙසට කළ යෝජනාවට එජාපයෙන් බඩ පිරෙන්න ලැබුණි. බොහෝ එජාප මන්ත්‍රීවරු ධීවර විෂය ගැන කතා කළේය. සමහරු අධ්‍යාපනය ගැන කරුණු කීහ. පනතට අදාළව කතා නොකළත් මේ උත්සාහයට ප්‍රසංශා කළේය.

මේ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පරිභාහිරව පවත්වා ගෙන යාම ගැනද විවේචන එල්ලවිය. එසේ කරන්නේ විශේෂිත පිරිසක් එල්ල කරගෙන මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන හෙයිනි. බඳවා ගැනීමේදී Z ස්කෝර් ලකුණු නොසළකා හැර බඳවා ගැනීමේදී ඊට බලපෑම් එල්ලවිය හැකි බවට සැක සංකා ඉදිරිපත් විය.

එය දැඩි අවධානයට යොමු විය යුතුය. සාගර විශ්වවිද්‍යාලය ඊට සුදුස්සන්ගෙන් සමන්විත විය යුතු අතර උද්ඝෝෂණ පිකටින් නැති විශ්වවිද්‍යාලයක් විය යුතුය.

සියලු දෙනා හොඳයි කීවත් විවාදය අවසානයේ තමන් ධීවරයකුගේ පුතකු යැයි නිතර කියන ගාල්ලේ අජිත් කුමාර මහතා පනතට විරුද්ධ වන බව කීය. ඔහුගේ විරෝධයට ඔහු කරුණු කීවත් ඒවා ප්‍රායෝගික නොවේ. පාඨමාලා සඳහා මුදල් අය කිරීම ගැන ඔහු කීවේ රජයට පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට හැකි පනතක් ගෙන ඒමට හැකියාවක් නොමැති නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගහැර වෙනත් අමාත්‍යාංශ හරහා මෙවැනි පනත් ගෙනෙන බව කීය. එහෙත් ඔහුගේ විරෝධය සියල්ලටම විරුද්ධවන ඔහුගේ න්‍යාය මත බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණෙන් පත්වී පසුව පෙරටුගාමී පක්ෂයට එකතුවූ අජිත් කුමාර මහතා සිය විරෝධය පළකර පනත් කෙටුම්පතට ඡන්ද විමසීමක් ද ඉල්ලා සිටියේය. ජවිපේ විරුද්ධ නොවීය. එහෙත් අජිත් කුමාර මහතා විරුද්ධව ඡන්දය දුන්නේය. එය 18 වන සියවසේ මානසික මට්ටමේ තීන්දුවක් ලෙස සැළකිය හැකිය.

රන්ජිත් පද්මසිරි

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා