ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අද හොංකොං යයි

ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අද හොංකොං යයි

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියර වන හොංකොං සෙවන්ස් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි රගර් කණ්ඩායම් අද (21) දිවයිනෙන් පිටත්ව යයි.

ලබන 23 හා 24 දෙදින හොංකොං හී ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය නැවත වරක් ෆාසීල් මරිජාට හිමිවී ඇත.

ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබලතම ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා මිතුන් හපුගොඩ ආබාධ හේතුවෙන් ඇතුලත්ව නොමැත. ඒ වෙනුවට නයිජල් රත්වත්ත හා ගයාන් වීරරත්න කණ්ඩායමට ඇතුලත්ව සිටිති.

මීට අමතරව පළමුවරට ශ්‍රී ලංකා සත් සාමාජික ජාතික කණ්ඩායමට එක්වීමට 20 හැවිරිදි හිරන්ත පෙරේරා සමත්ව සිටි‍. පසුගියදා නිමාවට පත්වූ කාල්ටන් සෙවන්ස් තරගාවලියේ දී නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් කණ්ඩායම නියෝජනය කළ හිරන්ත ඉසිපතන විදුහලෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ ආසියානු සත් සාමාජික රගර් තරගබිමේ මුල්පෙලේ කණ්ඩායමක් ලෙසටය.

පසුගිය ව‍සරේ පැවැති තරගමාලාවේ දී තුන්වැනි තැන අත්කර ගත් බැවින් මෙවර තරගාවලියේ දී සෙසු කණ්ඩායම්වල වැඩි අවධානය ශ්‍රී ලංකාවට යොමුවී තිබේ. මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ෆීජී සත් සාමාජික රගර් පිලේ හිටපු නායක ස්ටෙ‍ෆානෝ කැකවුනිවාලෝය.

ඔහු ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පළමුවරටය. රොහාන් චින්තක මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර අමිත් ජයසේකර මහතා භෞතචිකිත්සකවේදි ලෙස සංචාරයට එක්වී සිටී.

මේ තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා සත් සාමාජික තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස යුද හමුදාවේ ප්‍රවීන ක්‍රීඩිකා අයේෂා පෙරේරා කටයුතු කරයි.

ඇය ආසියානු තරගබිමේ දී ශ්‍රි ලංකා පිල මෙහෙයවනු ලබන්නේ පළමුවරටය. මීට අමතරව කාන්තා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. නාවික හමුදාව නියෝජනය කරන විංගර් ක්‍රීඩිකා ජයන්ති කුමාරී දිල්රුක්ෂි සහ හුකර් ක්‍රීඩිකා ධනූෂි ගිම්හානී ද සිල්වා සමග යුද හමුදාවේ හුකර් සහ ෆ්ලයිහාෆ් ක්‍රීඩිකා කෞෂානී විජේකෝන් මෙසේ ජාතික පිලට අලුතින් එක්වූ ක්‍රීඩිකාවෝ වෙති.

කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්ද්‍රෂාන් පෙරේරා මහතා කටයුතු කරයි.

කළමනාකාරිනිය ලෙස විංග් කමාන්ඩර් තිලංගනී වරකාගොඩ මහත්මිය පත් කර ඇති අතර නිරෝෂිනී විජේරත්න මහත්මිය භෞතචිකිත්සකවේදිනිය ලෙස කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි කණ්ඩායම – ෆාසිල් මරිජා (නායක), දිනූෂ චතුරංග, සඳුන් හේරත්, සුදර්ශන මුතුතන්ත්‍රි, ලවංග පෙරේරා, ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, නයිජල් රත්වත්ත, ශෙහාන් පතිරණ, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්වර, හිරන්ත පෙරේරා

ශ්‍රී ලංකා සත් සාමාජික කාන්තා කණ්ඩායම - අයේෂා පෙරේරා (නායිකා), නදීකා මුණසිංහ, තනූජා වීරක්කොඩි, නිරංජලා වික්‍රමරත්න, අනූෂා අත්තනායක, ධනූෂි ගිම්හානී ද සිල්වා, සංදීපා සඳමාලී, තිළිණි සේනානායක, රන්දිකා කුමුදුමලී, ඉරේෂා තිළිණි විජේකෝන්, ජයන්ති කුමාරි දිල්රුක්ෂි, සංදිකා හේමකුමාරි

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා