ඉරිදා පෙරවරුවේ සහ පෝය දිනවල ටියුෂන් තහනමට අදාළ නීති කඩිනමින්

ඉරිදා පෙරවරුවේ සහ පෝය දිනවල ටියුෂන් තහනමට අදාළ නීති කඩිනමින්

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග

ඉරිදා පෙරවරුවේ සහ පෝය දින වල උපකාරක පන්ති තහනම් කිරීමට අදාළ නිති කඩිනමින් සකසන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේය.

උපකාරක පන්ති වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාතේ බව අනාරණය කළ මහ ඇමැතිවරයා ඒ නිසා නීති සැකසීම අතිශය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි අවධාරණය කෙළේය.

මේ පිළිබඳ බස්නාහිර පළාත් සභාවේ යෝජනා සම්මත වී ඇතැයි කී හෙතෙම යෝජනාව සම්මත වූ පමණින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැතැයි අනාවරණය කළේය.

පසුගිය උපදේශන සභාවේදි ඒ පිළිබඳ සාකච්ඡා කළ බව පැහැදිලි කළ ඒ මහතා ඊට අදාළ නීති කෙටුම්පත් කොට පළාත් සභාවේ අනුමැතිය ගන්න අදහස් කර ඇතැයිද පැවසීය.

දහම් පාසල්වලට ආධාර ලබා දෙන ‘සරදම් අරුණැල්ල’ වැඩ සටහනේ තුන් වන අදියර නිමිත්තෙන් කළුතර පොතුපිටිය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක් වෙමින් මහ ඇමතිවරයා එසේ කීය.

මේ යටතේ බස්නාහිර පළාතේ සියලු දහම් පාසල් සදහා රුපියල් ලක්ෂයක් බැගින් වාර්ෂිකව පිරි නැමේ.

මහ ඇමැතිවරයා මෙසේද කීය .

දහම් අධ්‍යාපනය මේ රටේ සෑම දරුවෙකුටම අනිවාර්යයි. දහම් අධ්‍යාපනයෙන් මේ රටේ සභ්‍යත්වය, සදාචාරය, මිනිසත්කම රැක ගත හැකි වෙනවා.අපි මෙම වැඩ සටහන යටතේ වසර පහක් යනතෙක් දහම් පාසල් සදහා වාර්ෂිකව ලක්ෂයක ආධාර ලබා දෙනවා.

මේ වන විට බස්නාහිර පළතේ දහම් පාසල් 2709 කට රුපියල් කෝටි 75 ක මුදල් ආධාර ලබා දී තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මස සිට ලබා දෙනවා. මේ වැඩසටහන දේශපාලන වාසි ගන්න හදපු වාඩ සටහනක් නෙමේ. සමහරු පන්සල් වලට සමහරු පල්ලි වලට සල්ලි ලබා දෙනවා.

හැබැයි ඒවා තනිකර දේශපාලන ව්‍යපෘති. මන්ත්‍රි එන උත්සවයේ වියදම රුපියල් 25000ක් එසේ ආගම් දේශපාලනය උකස් කරන ව්‍යාපෘති වලට අපි විරුද්ධයි.මම අද වෙනකම් එක චෙක්පතක්වත් දෙන්න පන්සලකට පල්ලියකට ගිහින් නැහැ.

දහම් පාසල් විෂය පළාත්සභාවට අයත් නැහැ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙය මධ්‍යම රජයට අයත් විෂයක්. මෙම වැඩසටහන ආරම්භ කොට ක්‍රියාත්මක කරන්න මට වසර එකහමාරක් ගියා. සමහර නිලධාරි මගේ කකුළෙන් ඇද්දා. අවසානයේ ජනාධිපතිතුමා මැදිහත් වු නිසා මට වැඩසටහන අරඹන්න හැකි වුණා‍.

මෙම අවස්ථාවට ‘සරදම් අරුණැල්ල’ වැඩ සටහනේ සම්බන්ධීකාරක පුජ්‍ය කොබ්බෑවල මේධංකර හිමි කළුතර දිස්ත්‍රික් ලේඛකාධිකාරි ගල්තුඩේ පඥ්ඥාකිත්ති හිමිවරුද, බස්නාහිර පළාත් මන්ත්‍රි ජගත් අංගගේ මහතා ඇතුළු පිරිස්ද එක් වුහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා