සරසවිවලට ‍වෙන් කරන මුදල් කප්පාදු කර නැහැ

සරසවිවලට ‍වෙන් කරන මුදල් කප්පාදු කර නැහැ

-උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක

මෙරට විශ්වවිද්‍යාලවලට ‍වෙන් කරන මුදල් කිසිදු කප්පාදුවකට පත් කර නැති බවත් ‍වෙන් කරන මුදල වැඩි වූවත් ර‍ටේ දළ ‍දේශීය නිෂ්පාදනය ඉහළ යාම නිසා ‍වෙන් කරන මුද‍ලේ අනුපාතය අඩු වී ඇති බවත් උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (20) ප්‍රකාශ ක‍ළේය.

වසර 2012 දී ‍කොළඹ විශ්වවිද්‍යාලය සඳහා පමණක් රුපියල් බිලියන 1.3ක් ‍වෙන් කළ බවත් එම මුද‍ල එහි සියලුම අවශ්‍යතාවන් සම්පූර්ණ කරලීමට ප්‍රමාණවත් බව ද කී දිසානායක මහතා මහ‍පොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීම සඳහා අවශ්‍ය කටයුතු කර‍ගෙන යන බව ද කීය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ‍‍ප්‍රේමදාස මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ‍දෙමින් ‍මෙම කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය තරම් මුදල් ලබා දීමට හැකියාව ඇති බවත් විශ්වවිද්‍යාල ‍‍නේවාසිකාගාර 64ක් පිහිටුවීමට රුපියල් බිලියන 14ක් ලබා දී ඇති බවත් කීය.

අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නය වන්නේ ඉඩම් හිඟය බව කී දිසානායක මහතා රුපියල් 400 සිට ඉහළට වසරකට ‍නේවාසික ගාස්තු අය කරන බවත්, සිසුන්ගෙන් අය කරන මුදල විදුලිය හා ජල බිල්පත් සඳහාවත් ප්‍රමාණවත් ‍නොවන බවත්, 1977 සිට පැවැති එජාප ආණ්ඩුව කිසිදු විශ්වවිද්‍යාලයක ‍නේවාසිකාගාරයක් පිහිටවූ‍යේ නැති අතර සිසුන්ට ‍නේවාසිකාගාර ලබා ‍නොදීමේ ප්‍රතිපත්තියක් එම රජය අනුගමනය කළ බව ද ‍පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටිය වසර ‍දෙ‍කේ දී හැර අ‍නෙක් සෑම වසරකම විශ්වවිද්‍යාල සඳහා ලබා‍දෙන මුදල් වාර්ෂිකව වැඩිකර ඇති බව කී දිසානායක මහතා අද සිසුන්‍‍‍ගේ ආකල්ප හා අවශ්‍යතා ‍වෙනස් වී ඇති බවත්, වාහන නතර කිරීමට ස්ථාන ඉල්ලා සිටීමට තරම් සිසුන් දියුණුවී ඇති බවත් කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා