කොටි නැතත්; කොටි හඬ තව ම ඇත

කොටි නැතත්; කොටි හඬ තව ම ඇත

කීකරු සන්සුන් ළමයා මෝඩයකු යැයි කතාවක් තිබේ. ඒ ළමයාගේ කරදර අඩුය. එහෙත් එම ළමයාට දීප්තිමත් අනාගතයක් තිබිය නොහැකිය. අමෙරිකාව ප්‍රමුඛ බටහිර ධනපති රටවල අවශ්‍යතාව වන්නේ ද ආසියාවේ හා අප්‍රිකාවේ පාලකයා කීකරු මෝඩ ළමයින්ගේ තත්ත්වයට පත් කිරීමය. එසේ කිරීමෙන් මේ මහද්වීප දෙකෙහි සම්පත් රිසි සේ කොල්ලකෑ හැකිය.

කීකරු නොවන පාලකයන්ට චෝදනා එල්ල වේ. ආර්ථික සම්බාධක පැනවේ. රටවල් තුළ අභ්‍යන්තර කැරලි ඇති කිරීමත්, ඒවා මර්දනය සඳහා හමුදා මැදිහත්වීම් සිදු කිරීමත් බටහිර ධනපති රටවල තවත් උපාය මාර්ගයකි.

ශ්‍රී ලංකාවේ පාලනයට චෝදනා නැඟෙන්නේ ද ජනාධිපතිවරයාට ඒකාධිපති යැයි විවේචන එල්ල වන්නේ ද ඉහත කී සන්දර්භය යටතේය. මේ චෝදනා හා විවේචන ඉදිරිපත් කිරීම සඳහා දේශීය ඒජන්තයෝ ද සහභාගි වෙති. ජනමාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන ව්‍යාපාර ද ඒ පසුපසින් පවතී. මෙහි මූලික තැන ගෙන ඇත්තේ තව ම බෙදුම්වාදය ප්‍රධාන තේමාව කර ගත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයන්ය. අප තේරුම් ගත යුතු එක් සත්‍යයක් වන්නේ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේදී විනාශ වී ගියත් ඔවුන්ගේ මතවාදය විනාශ වී නැති බවය. කොටි අවතාර රට තුළත්, රටෙන් බැහැරත් තවම හොල්මන් කරති.

ජාතික ආරක්‍ෂක සමුළුවේ මුල් සැසිය පෙරේදා පැවැත්විණි. මෙහිදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ ලෝකයේ ස්ථාවර සාමයක් පවතින රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටින බවය. මානුෂීය මෙහෙයුමෙන් රජය අභියෝග රැසක් ජයග්‍රහණය කර තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම, සාමය හා නිදහස තහවුරු කිරීම හා සංවර්ධනය වේගවත් කිරීම ඒ අතර ප්‍රධානය.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කොට සිවිල් පරිපාලනය ගොඩනඟා තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්තුමිය මේ යහපත් වෙනස්කම් දකින්නේ නැත. ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කොට චෝදනා පත්‍රයක් භාර දී යන්නට ගියාය.

මේ චෝදනා පත්‍රයෙහි ඇත්තේ ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බවය. ඒකාධිපති රාජ්‍යයක් තුළ මැතිවරණ පවත්වයිද? මහජන උද්ඝෝෂණවලට ඉඩ තබයිද? රජය විවේචනය කිරීමට අවස්ථාව තිබේද? ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු රටේ ප්‍රධාන ජනවර්ග නිදහසෙන් සාමයෙන් හා සහජීවනයෙන් පසුවන බව පිල්ලේ මැතිනිය දැක නැත.

ත්‍රස්තවාදීන් ආරක්‍ෂක හමුදාව වෙත අවසන් වරටත් ප්‍රහාර එල්ල කළ ‍ෙවල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශය වෙත ගිය කොමසාරිස්තුමිය මියගිය ත්‍රස්ත නායකයන් සිහිකොට මල් වඩමක් තැබීමට ගිය අවස්ථාව ගැන අද කවුරුත් දනිති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්තුමිය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සත්‍ය ගවේෂණය කිරීමට නොව මිය ගිය ත්‍රස්ත නායකයන් සිහි කිරීමට ය.

මෙබඳු තැනැත්තියකගෙන් සාධාරණ විවේචන හෝ යුක්ති සහගත උපදේශන හෝ අපේක්‍ෂා කළ හැකිද? නවනීදන් පිල්ලේ මැතිනිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර කියා සිටියේ තමන් විවෘත හා නිදහස් මනසකින් යුතුව ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. තමාගේ අරමුණ ශ්‍රී ලංකාවට චෝදනා කිරීම නොව සත්‍ය ගවේෂණය කිරීම බව ද ඇය කියා සිටියාය. ඒත් සංචාරයෙන් පසු සිදු වූයේ වෙනත් දෙයකි. එතුමිය හොර රහසේම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ද හමු වී ඇත. කොටින්ම එතුමිය අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි.

නවනීදන් පිල්ලේ මැතිනිය උත්සාහ දරන්නේ ඊළඟ මානව හිමිකම් සැසියේදී තවදුරටත් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීම බව පැහැදිලි ය. රජය එතුමියගේ චෝදනා පත්‍රය ප්‍රතික්‍ෂේප කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය පරිදි හෝ අමෙරිකාවට අවශ්‍ය පරිදි අප නැටිය යුතු නැත. රටේ ස්වාධීනත්වය හා ජාතියේ නිදහස පවත්වා ගත යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව ඉන්දියාවට වුව කිව යුත්තේ ඒ ටිකමය. කොන්ද කෙළින් තබා ගෙන කටයුතු කරන රාජ්‍ය නායකයෙක් හා කැබිනට් මණ්ඩලයක් ද අපට සිටිති. පිල්ලේ මැතිනිය වැනි අය කෝප ගැන්වී ඇත්තේ එම හේතුව නිසාය.

රටට එරෙහිව නැඟෙන විදේශීය බලවේගවලට දැඩි විරෝධය පළ කළ යුතු අතර ම ඔවුන්ගේ දේශීය ඒජන්තවරුන්ගෙන් ද පරෙස්සම් විය යුතුය. තෙවරාසා ස්ත්‍රී දූෂණය මීට කදිම නිදසුනකි.

පුනරීන් හි කොවුධාරමුණේ ප්‍රදේශයේ ජීවත් වූ ඈ දූෂණය කර ඇත්තේ කන්දසාමි නම් කොටි නියෝජිතයකි. එහෙත් දෙමළ ජාතික සන්ධානය මේ දූෂණ සිද්ධිය මුල් කොට ආරක්‍ෂක අංශවලට චෝදනා නැඟීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මේ අසත්‍ය චෝදනාව එල්ල කළේය. රෝහලේ සිට පැමිණි තෙවරාසා සැකකරු හඳුනාගෙන සත්‍යය හෙළිදරව් නොකරන්නට එම දූෂණ සිද්ධිය හමුදා ගිණුමට බැර වේ.

කොටි සංවිධානයේ අරමුණ හා ඉලක්ක තව ම බිඳ වැටී නැත. එම අරමුණු හා ඉලක්ක රැගෙන දේශපාලනයෙහි යෙදෙන තවත් පිරිස් ඕනෑ තරම් සිටිති. දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි පොරවාගෙන සිටියද ඔවුන්ගේ යටි අරමුණ කොටින්ගේ ඉලක්ක සමඟ ඉතා හොඳින් පෑහේ.

දෙමළ ඩයස්පෝරාව බෙදුම්වාදය වෙනුවෙන් කෙළින්ම පෙනී සිටී. ඔවුන්ගේ අරමුදල් භාවිත වන්නේ එම දුෂ්ට අරමුණු වෙනුවෙන් ය. නවී පිල්ලෙලා, දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩුව හා දෙමළ ජාතික සන්ධානය එක් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය. එහි අරමුණ වන්නේ දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමය. එවැන්නක් පිහිටුවීමට නම් මේ රජය පෙරළා දැමිය යුතුය.

රටේ ආර්ථිකයට පහර දීම උක්ත ක්‍රියාදාමයේ තවත් උපාය මාර්ගයකි. රතුපස්වල සිද්ධිය පසුපස මෙරට ග්‍රාමීය කම්හල් වසා දැමීමේ කුමන්ත්‍රණයක් ද ඇති බව නිරීක්‍ෂණවලින් පැහැදිලි වෙයි. ග්‍රාමීය කම්හල් වසා දැමීමට සිදුවුවහොත් එමඟින් රටේ ආදායම පහළ වැටේ. රැකී රක්ෂා පිළිබඳ ගැටලුවක් ද මතු වෙයි. එය රජයට එරෙහි ජනතා උද්ඝෝෂණයක් කරා ගෙන යා හැකිය.

මාධ්‍යවේදිනී මන්දනාගේ නිවෙස කොල්ලකෑම රජයේ බලපෑමක් මත සිදු වූ දෙයක් යැයි හැඟවීමට ද තවත් පිරිසක් උත්සාහ කළහ. මේ සියල්ල පසුපස ඇත්තේ රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයයි. අවසන් විග්‍රහයේදී පෙනී යන්නේ කොටි නැතත්:කොටි හඬ තව ම ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා