බුලට් එක වෙනුවට බැලට් එක උතුරට ලබා දුන්නේ මේ රජයයි

බුලට් එක වෙනුවට බැලට් එක උතුරට ලබා දුන්නේ මේ රජයයි

 ඇමැති ඩලස් අලහ‍ප්පෙරුම

වසර විසිහතකට පසු උතුරේ ජනතාවට බුලට් එක වෙනුවට බැලට් එක ලබා දුන්නේ වත්මන් රජය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහ‍ප්පෙරුම මහතා පවසයි.

උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවැති අතර ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දැක්වූ අයුරු. ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, ඩිලාන් පෙරේරා මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය - රොෂාන් පිටිපන

1982දී සංවර්ධන සභා මැතිවරණයේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය උතුරේ ජනතාවගේ ඡන්දය කොල්ලකෑම නිසා එම ජනතාවට ප්‍රජාතත්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය නැතිව ගිය බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය ආයුධ අතට ගැනීමට එම තත්ත්වය ආසන්ත හේතුව වූ බවත් ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

උතුරු පළාත් සභා මැතිවරණය නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය ගැබ්වූ මැතිවරණයක් ලෙස පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත්ම සතු‍ටු වන්නේ රජය බවත් හෙතෙම පැවැසීය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

උතුරු පළාත් මැතිවරණයේ කටයුතු මේ වනවිට ඉතා සාමකාමී අන්දමින් සිදුකැරෙමින් පවතිනවා. 1982 සංවර්ධන සභා මැතිවරණයේදී එවකට පැවැති එජාප රජය යාල්දේවී දුම්රියෙන් කුරුණෑගල සිට යාපනයට මැරවරයන් යවා එම මැතිවරණය කොල්ල කෑවා. යාපනය පුස්තකාලය ගිනිතැබුවා. එම මැතිවරණය කොල්ලකෑමට සහභාගී වූ එක් පුද්ගලයකු අද ප්‍රධාන විපක්ෂයේ නායකයකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය උතුරේ මැතිවරණවලදී මෙලෙස කටයුතු කළත් ජනාධිපතිතුමා සෑම විටම කියා තිබෙන්නේ ලබන ජගග්‍රහණයට වැදගත්කමක් නැතිනම් එම ජයග්‍රහණයෙන් වැඩක් නැති බවයි. එතුමා උතුරෙන් බලාපොරොත්තු වන්නේ වැදගත්කමක් සහිත ජයග්‍රහණයක් පමණයි. 1984දී යාල්දේවි දුම්රියට ගිනිතැබුවා. එහෙත් එළැඹෙන 14වැනිදා යාල්දේවී දුම්රිය දකුණේ පොල් රුප්පාවේ සිට උතුරේ කිලිනොච්චියේ තල් රුප්පාව වෙත යළි ධාවනය කෙරෙනවා.

මේ ගමන මෙරට ජාතීන් අතර සංහිඳියාවේ පාලමක් ලෙස හැඳින්විය හැකියි.

පළාත් තුනේ මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුකැරෙමින් පවතිනවා. ප්‍රධාන රැස්වීම් 14න් පළමුවැන්න ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාළිගාපිටියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. උප ප්‍රධාන රැස්වීම් 54න් 12ක් මේවනවිට අවසන්. ප්‍රාදේශීය රැස්වීම් 110න් 47ක් අවසන්. ඡන්දපොළ මට්ටමින් පැවැත්වීමට නියමිත රැස්වීම් 3330න් 1170ක් අවසන් ඉතිරි 1160 ඉදිරි දින දාහතර ඇතුළත පවත්වා අවසන් කෙරෙනවා.

මීට අමතරව අපගේ පක්ෂය මැතිවරණ කොට්ඨාස පනස් හතරේම මධ්‍යම බල මණ්ඩල සම්මන්ත්‍රණ පවත්වා අවසන්. මීට අමතරව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සියලු අපේක්ෂකයන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වෙනවා. සන්ධානයේ සහෝදර පක්ෂවලින් වෙන වෙනමත් රැස්වීම් පැවැත්වෙනවා. ගෙන් ගෙට යාමේ කටයුතු උතුරු පළාතේ හැර අනෙක් පළාත්වල පසුගිය සතියේ ආරම්භ කළා. උතුරු පළාතේ මේ සතියේ ආරම්භ කරනවා.

මෙවර මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 91ක් සම්බන්ධ පැමිණිලි පොලීසියට ලැබී තිබෙනවා. එජාපයෙන් 3ක්, ජවිපෙන් 4ක්, දෙමළ සන්ධානයෙන් 5ක්, සමාජවාදී සමානතා පක්ෂයෙන් 1ක්, ලංකා කම්කරු කොංග්‍රසයෙන් 4ක්, මුස්ලිම් කොංග්‍රසයෙන් 2ක්, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයෙන් 2ක් හා සන්ධානයෙන් 40ක් වශයෙන් මේ පැමිණිලි වාර්තාවී තිබෙනවා. සන්ධානයේ පැමිණිලි වාර්තා වී ඇත්තේ අපේ අපේක්ෂකයන් අතර ඇතිවූ සිද්ධීන් පමණයි. පක්ෂයේ අය අතර ඇතිව තිබෙන මේ සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු රජය උපරිම ලෙසින් කටයුතු කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා