වයඹ නැති භීෂණයක් විපක්ෂය මවාපාන්න හදනවා

වයඹ නැති භීෂණයක් විපක්ෂය මවාපාන්න හදනවා

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ශාන්ත බණ්ඩාර

වයඹ පළාත් සභා මැතිවරණය හා සෙසු පළාත් මැතිවරණවලට ආණ්ඩුවේ සූදානම, එම මැතිවරණවලදි රාජ්‍ය බලය යොදා ගන්න බවට ආණ්ඩු පක්ෂයට එල්ලවෙන චෝදනා හා තවත් කාලීන සමාජ හා දේශපාලන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

වයඹ පළාත් සභා මැතිවරණය ඇතුළු සෙසු පළාත් සභා මැතිවරණවල වර්තමාන වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

වයඹ පළාත් සභා මැතිවරණ ආරම්භයේ තිබූ තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට දැන් පත්වෙලා තිබෙනවා. අද වන විට එක්සත් ජාතික පක්ෂය අතිශය අර්බුදකාරි හා පසුගාමී තත්ත්වයකයි සිටින්නේ.

ඔවුන්ට රැස්වීමකට සෙනඟ රැස්කර ගැනීමට බැරි වෙලා තිබෙන්නේ. ඒ තරමටම එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය අසරණයි. ඒ විදිහේ දේශපාලන පක්ෂයකට පළාත් සභාවක බලය ලබා ගැනීමට තබා නිසි නියෝජනයක් හෝ ලබා ගැනීමට පුළුවන්ද කියන එක සැක සහිතයි.

බලන්න එදා සිට වයඹ පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. 1999 දි 56% ගත් සන්ධානය 2004 දි එය 60% දක්වා වර්ධනය කර ගත්තා. 2009 දි ඡන්ද ප්‍රතිශතය 69% තරම් ඉහළ මට්ටමකට පැමිණියා.

ඇත්තටම 69% කියන්නේ විශාල ඡන්ද ප්‍රතිශතයක්. මා විශ්වාස කරනවා ඒ 69% ප්‍රතිශතය මෙවර මැතිවරණයේදී තවදුරටත් ඉහළ යාම නොවැළැක්විය හැකි දෙයක් බව. මේ මැතිවරණයේදි ජනතාව අතරට යාමට අවශ්‍ය කාර්ය ප්‍රමාණය අප ඉෂ්ට කර තිබෙනවා. සංවර්ධනය අතින් ද විශාල කාර්ය ප්‍රමාණයක් ඉෂ්ට කර තිබෙනවා. ඒ නිසා අපට ජනතාව අතරට ගිහින් ජනමතය බැලීමට කිසිදු චකිතයක් හෝ බියක් නෑ.

ඔබ වයඹ ජයග්‍රහණය ගැන ඉහළින් කතා කළත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර මනාප සටන උග්‍රවීම නිසා සන්ධානයේ ජවයට බාධා එල්ල වී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මෙතැන තිබෙන්නේ තරග කරන අයගේ වරදක් නොවෙයි. මැතිවරණ ක්‍රමයේ වරදක්. මේ ක්‍රමය යටතේ අයියයි මල්ලියි තරග කළත් ටික දුරක් යන විට ගැටුමක් ඇති වෙන්න පුළුවන්.

ඒක තමයි මේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ ස්වභාවය. ඒ නිසා මූලිකව මේ ක්‍රමයේ වෙනස් කිරීමක් කළ යුතුයි.

ඒත් සමහරු කියන තරම් අර්බුදකාරි තත්ත්වයක් ගැටුම්කාරි තත්ත්වයක් වයඹ පළාත තුළ නැහැ. සංවිධානාත්මකව වූ සිදුවීම් කිහිපයක් හැරුණු විට අනෙක් සියල්ලම සුළුවෙන් සැලකිය යුතු දේවල්. බැණ වැදීම්, හූ කීම් පවා මැතිවරණ පොතට යන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා ලේබලය යටතේයි. ඒ නිසා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියන කාරණය ගැන අප හොඳ අවධානයෙන් තමයි කටයුතු කළ යුත්තේ.

ඇත්තෙන්ම අද වයඹ පළාතේ මැතිවරණයක් තිබුණ ද ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල වෙලා නැහැ. ඉතාමත් සාමකාමී වාතාවරණයක් තිබෙන්නේ. ඒ වාතාවරණය තුළ තමයි වයඹ නැති ප්‍රචණ්ඩත්වයක් භිෂණයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ.

රාජ්‍ය සම්පත් මැතිවරණ ව්‍යාපාරය වෙත යොමු කරන බවට චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාවලට සාධාරණ පදනමක් තිබෙනවාද?

මේ චෝදනාවේ සත්‍යයක් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතුසඳහා යොදා ගන්නවා නම් මැතිවරණ කොමසාරිස්තුමා ඉතා තදින් කටයුතු කරනවා. ඉතාමත් නිදහස් වාතාවරණයක් යටතේ මැතිවරණ කටයුතු සිදු කරනවා. ඒ නිසා රාජ්‍ය බලය මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නවා කියන කාරණය පිළිගැනීමට බැහැ.

සමහර අවස්ථාවල මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. පිට පළාතක ඇමැතිවරයෙක් මන්ත්‍රිවරයෙක් මැතිවරණය තිබෙන ප්‍රදේශයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔහු පැමිණෙන්නේ තමන්ගේ නිල රථයෙන්. ඒක සන්ධානයේ වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ වෙන්න පුළුවන්, සැබෑ තත්ත්වය මේකයි. ඒකට රාජ්‍ය බලය යොදා ගැනීම කියලා වැරැදි අර්ථකථන දෙන එක වැරැදියි.

මේ ආණ්ඩුවට රාජ්‍ය බලය පාවිච්චි කරලා මැතිවරණ ජයග්‍රහණය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඉතාමත් හොඳ මහජන පදනමක් අප සතුව තිබෙනවා.

අනෙක එවැනි වැරැදි දේකට කිසිවකු යොමු වෙලා තිබෙනවා නම් ඒ ගැන නීත්‍යානුකූල පියවර ගැනීමේ බලය මැතිවරණ කොමසාරිස්තුමාට තිබෙනවා.

මේ තත්ත්වය තුළ විපක්‍ෂයේ කාර්ය භාරය පිළිබඳව ඔබේ මතය පැහැදිලි කළ හැකි ද?

විපක්‍ෂයට අද සිදු වෙලා තිබෙන්නේ පිල්ලේ පසුපස යමින් තම දේශපාලනය ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් හිතනවා ඇති රට අමාරුවේ දමා හෝ තම තමන්ගේ දේ්ශපාලන අරමුණු ජය ගැනීමට. මේ අය හිතනවා ඇති අන්තර් ජාතික ප්‍රජාව අබියස මේ ආණ්ඩුව අපහසුතාවට පත්වීම සමඟ රටේ බලය අත්පත් කර ගැනීමට.

ඒත් මේ අයට තේරෙන්නේ නැතිවම වයඹ, මධ්‍යම පළාත්වල එක්සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් විශාල සෝදාපාළුවකට ලක්වෙලා ඉවරයි.

ඔබ මෙතෙක් සඳහන් කළේ වයඹ මැතිවරණය ගැන පමණයි. මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණවලදී ඇති වාතාවරණය පැහැදිලි කළ හැකි ද?

වයඹ කියලා වෙනසක් නැහැ. මධ්‍යම පළාතෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තරගයක් නැහැ. අද අපට තරගයක් ලබා දීමට තරම් ශක්තියක් ප්‍රධාන විපක්‍ෂයට නැහැ. උතුරු පළාතේ දී වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හොඳ අවස්ථාවක් තිබෙනවා.

උතුරු පළාත තුළ යුද්්ධයෙන් පසු ගත වූ කාලයේ දී විශාල සංවර්ධන කාර්යභාරයක් ඉටු වෙලා තිබෙනවා. මේ සියල්ල ගැන සලකා බලා ජනතාව බුද්ධිමත් තීරණයක් ගැනීම නිශ්චිතයි.

තරුණ පරපුර තුළත් විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙනවා මැතිවරණය පිළිබඳව. අප පක්‍ෂය තුළ තරුණ පරපුරට විශාල අවස්ථාවක් ලබා දී තිබෙනවා. තරුණයන්ට අවශ්‍ය රැකියා උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙනවා, තරුණ පරපුරට විශාල අවස්ථා ඇගයීම් ලබාදී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසිනුයි. ඒ නිසා ඒ ඇගැයීම තරුණ පරපුර තුළ තිබෙනවා.

නවනීදන් පිල්ලේ මහත්මියගේ මෙරට සිදු කළ සංචාරය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

එතුමියට රටේ යථා තත්ත්වය තේරුම් ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට පිල්ලේ මහත්මියගේ සංචාරය හඳුන්වා දිය හැකියි.

අද රට පත්ව ඇති යහපත් තත්ත්වය පිළිබඳව අන්තර් ජාතිකව යහපත් චිත්‍රයක් පෙන්වා දීමට හොඳ අවස්ථාවක්. පිල්ලේ මහත්මියට වුණත් හෘද සාක්‍ෂියට එකඟව කල්පනා කරනවා නම් ඇයට මේ දේවල්වල යහපත් පැත්ත ගැන හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබේවි.

ඒත් පෙර නිගමනවලට ඇවිත් මෙහි සංචාරයට ආවා නම් ඇත්ත තත්ත්වය ලෝකයට වාර්තා කිරීම එතුමිය විසින් සිදු කරන එකක් නැහැ. මේ රටේ අද තිබෙන්නේ ඉතාමත් යහපත් හා සාමකාමී වාතාවරණයක්.

සංවර්ධනය අතින් ද විශාල කාර්යයක් ඉටු කර තිබෙනවා. ඒ තත්ත්වය තුළ අප රට ගැන වැරැදි චිත්‍රයක් ඇති කිරීමට උත්සාහ කරමින් තවදුරටත් ඉදිරියට ගියොත් විපක්‍ෂයේ ඉතිරි වෙන්නේ එහි නායකයන් කිහිප දෙනා විතරයි.

විපක්‍ෂය මේ විදිහට කටයුතු කිරීම තුළ දිගින් දිගට ම පිරිහෙන්නේ ආණ්ඩු පක්‍ෂය නෙවෙයි විපක්‍ෂයම යි. යුද්ධය තිබූ මොහොතේ දී විපක්‍ෂය කටයුතු කළේ රටට අහිතකර හා දේශද්‍රෝහි පිළිවෙතක සිටයි.

අද කරන කටයුතු නිසා තවදුරටත් විපක්‍ෂය බිංදුවට වැටීම පමණයි සිදු වන්නේ.

පළාත් සභා මැතිවරණ පෙළ අවසන් වීමත් සමඟ ජාතික තලයේ මැතිවරණයක් පවත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අදහස් පළ කරනවා. මේ අදහස් ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකි ද?

පළාත් සභා මැතිවරණවලින් පසු මැතිවරණ කාලසටහන අනුව ජාතික තලයේ මැතිවරණයක් පවත්වන්නේ 2016 දී. එහෙත් ඊට පෙර වුණත් ජාතික මැතිවරණයක් පැවැත්වීමට පුළුවන්. මේ විදිහේ ඕනෑම මැතිවරණයක් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමේ අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබෙනවා.

අද තිබෙන දේශපාලන වාතාවරණය අනුව විපක්‍ෂයට තවත් අවුරුදු දහයක් ගියත් බලය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. එජාපයේ විශාල මන්ත්‍රී පිරිසක් පක්‍ෂය අතහැර ආණ්ඩු පක්‍ෂයට එකතුවෙලා තිබෙන්නේ.

අනාගතයේ දී අද ඉතිරි වෙලා සිටින එජාප මන්ත්‍රීවරු පිරිසත් පක්‍ෂය අතහැර යන එක වළක්වන්න බැහැ. අවසානයේ දී එජාපයේ ඉතිරි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ තිස්ස අත්තනායක මහතා පමණයි. 2014 දී බලය ලබා ගැනීම ගැන සිහින මැව්වත් එජාපයට 2024 දීවත් බලය ලබා ගන්න බැහැ. එවැනි පසුබෑමකයි එජාපය සිටින්නේ.

සාමාන්‍ය තත්ත්වය අනුව ආණ්ඩුවකට තමන්ගේ ජනප්‍රියත්වය දීර්ඝ කාලීනව ආරක්‍ෂා කර ගන්න බැහැ. ඒත් වර්තමාන ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිගින් දිගටම ඉහළ මට්ටමක හා ස්ථාවර මට්ටමකයි තිබෙන්නේ.

විපක්‍ෂය ඒ නිසා කාලයක් බලා සිටියා අන්තර්ජාතිකව එල්ලවන පීඩනයකින් ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ඉන් පසු බලා සිටියා අභ්‍යන්තර අර්බුදයකින් ආණ්ඩුව වැටෙයි කියා. අද වෙද්දි එජාපයේ මේ සිහින සියල්ලම විනාශ වෙලා ඉවරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා