මානව අයිතිය පිළිබඳ චෝදනා කරන්නේ කතා කරන්නට දෙයක් නොමැති අයයි

මානව අයිතිය පිළිබඳ චෝදනා කරන්නේ කතා කරන්නට දෙයක් නොමැති අයයි

ජනපති වාරියපොළ දී කියයි

මහජනතාවගේ සුබසෙත උදෙසා රජය විවෘතභාවයෙන් යුක්තව කටයුතු කරමින් සිටින විට යහපාලනය, මානව අයිතිය පිළිබඳ චෝදනා කරන්නේ කතා කරන්නට දෙයක් නොමැති පිරිස් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

යහපාලනය, මානව අයිතිය නැතැයි කියන්නට තරම් අපේ රටේ ඇති අඩුව කුමක්දැයි විමසා සිටි ජනාධිපතිවරයා මහජනතාවට නම් එවැනි අඩුවක් නොපෙනෙන බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ වාරියපොළ, දෙමටළුව දික්වැහැර රජමහා විහාරස්ථානයේ අභිනව ඉදිකිරීම් රැසක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (4) එක්වෙමිනි.

මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට වැඩම කළ කාලයේ පටන් පැවැත එන ඵෙතිහාසික විහාරස්ථානයක් සේ සැළකෙන දික්වැහැර රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු දාන ශාලාව, බෝධීන් වහන්සේ වටා වන රන් වැට, ඝාන්ඨාර කුලුන ජනාධිපතිවරයාගේ අතින් විවෘත කෙරිණ.

දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය අප සමාජයෙන් නැති කර දැමිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් වඩා මිනිසුන්ගේ විනය හදා ගැනීම ඊට ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

ඒ සඳහා තදින් කටයුතු කරන ලෙස තමා පක්ෂයටත් එවැනි කටයුතුවල නියැලෙන්නන්ට කිසිදු බුරුලක් නොදක්වන ලෙස පොලීසියටත් උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ඕනෑම කෙනකුට කැමැති ආගමක් ඇදහීමට ව්‍යවස්ථාවෙන්ම දී ඇති අයිතිය උදුරා ගන්න කිසිවකුට අයිතියක් නොමැති බවත් බෞද්ධාගම සුරකින අතරම අනෙකුත් සියලු ආගම් සුරැකීමට තමා කැපව සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවෙණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, වයඹ පළාත් ප්‍රධාන සංඝනායක, දික්වැහැර රජමහා විහාරාධිපති රැකව ශ්‍රී ජනරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත් අන්‍යාගාමික පූජ්‍ය පක්ෂයත් වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස. ආර්. බලල්ල, ජ්‍යෙෂ්ඨ ඇමැති එස්. බී. නාවින්න, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා