දරුවන්ගේ විභාග කඩාකප්පල් කිරීම  කිසි ලෙසකින් සාධාරණීකරණය කරන්න බෑ

දරුවන්ගේ විභාග කඩාකප්පල් කිරීම  කිසි ලෙසකින් සාධාරණීකරණය කරන්න බෑ

දරුවන් වෙනුවෙන් පවත්වන කිසිදු විභාගයක් මොනම විදියකින් හෝ කඩාකප්පල් කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

පසුගිය 5වසර ශිෂ්‍යත්ව විභාගයේ, ගණිතය ප්‍රශ්නයේ දශම ප්‍රශ්නයක් අන්තර්ගත කිරීම පිළිබඳව ගැටලුවක් ඇති කිරීමට කඩාකප්පල්කාරින් පිරිසක් උත්සාහ දරා ඇති බවට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා තමාට වාර්තා කළ බවත් එම ප්‍රශ්නය ඇතුළත් දශම පාඩම 5 ශ්‍රේණිය ගණිතය පෙළපොතේ 106 වැනි පිටුවේ සඳහන් වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, රත්මල්ගොඩ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට ඉකුත් 02දා සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුව හා ප්‍රශ්නපත්‍ර දේශපාලනීකරණය නොවිය යුතුයි. ඊට අදාළ ඇඟිලි ගැසීම් නොතිබිය යුතු බවත් දරුවන්ගේ විභාගයේ බර අඩු කිරීම සඳහා සියලු විභාග, කරුණු 5ක් පදනම් කරගෙන පවත්වන බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විෂය නිර්දේශය, පෙළපොත්, ගුරු අත්පොත්, පසුගිය ප්‍රශ්න පත්‍ර හා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් වාර්තා යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ යන විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කෙරෙන බවත් අම්පාර, අනුරාධපුර, මොනරාගල, ආණමඩුව වැනි ප්‍රදේශවල සිසුන්ට ද මෙහිදී අසාධාරණයක් සිදු නොවන බවත් ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා