ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අලුත්ම පෙරැළිය එල්.පී.එල්. ‘අටයි 8’

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අලුත්ම පෙරැළිය එල්.පී.එල්. ‘අටයි 8’

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්ෂේත්‍රයට නවතම ඉසව්වක් එක් කරමින් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලියක් ඔක්තෝබර් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එල්.පී.එල්. තරගාවලියේ ශූරතා කුසලානය නිශාන්ත හෙට්ටිආරච්චිගේ (මැද) හා ජෝන් ඩැරන් (දකුණේ) යන මහත්වරු විසින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාර දුන් අයුරු.
ඡායාරූපය-සුලෝචන ගමගේ

ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලබන මේ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (එල්.පී.එල්.) තරගාවලිය සඳහා යොදා ගැනෙන්නේ අර්ධ-දැඩි පන්දුවකි. ‘ටෆ්’ නමින් හැඳින්වෙන මේ පන්දුව සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගනු ලබන ටෙනිස් බෝලයක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගැනෙන ලෙදර් බෝලයක්ද නොවේ. ඒ අතරමැද පන්දුවකි.

අනාගතයේ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමේ බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයන් තුළ ලෙදර් පන්දුවට තිබෙන බිය තුරන් කෙරෙන අපූරු පන්දුවකි.

අඩු වරප්‍රසාදලාභී ක්‍රීඩා සමාජවලට මේ පන්දුව ඉමහත් ප්‍රයෝජනයක් ගෙන දෙනු ඇත.

වෙනස් ම තරග රටාවකින් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිර්මාතෘවරුන් වන්නේ කුඩා කළ සිටම එකට සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙකු වන නිශාන්ත හෙට්ටිආරච්චිගේ හා ජෝන් ඩැරන් ය. ‘ටෆ්’ පන්දුව මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රීඩා උපකරණද නිපදවා ඇත්තේ මේ දෙදෙනා ම ය.

නිශාන්ත හා ඩැරන්ගේ සංකල්පයක් මත නිර්මාණය වූ එල්.පී.එල්. තරගවල එක් පිලකට ක්‍රීඩකයන් අට දෙනෙකි. තරගය පිලකට ඕවර අට බැගින් සීමා වේ. තරගාවලියේ මූලික මට්ටමේ තරග අප්‍රේල් මාසයේ රට පුරා පැවැති අතර අවසන් තරග ඔක්තෝබරයේ පල්ලෙකැලේදී පැවැත්වෙන්නේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සාදර අනුග්‍රහයෙනි.

ජාතික රූපවාහිනිය මගින් තරග සජීවීව විකාශය කෙරෙනු ඇති අතර මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද ආශිර්වාදය ලැබී තිබේ. විස්සයි20 තරගවලට පසුව පැමිණෙන මේ අටයි8 තරග බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුරංග ලක්මාල් හා තිළිණ තුෂාර ද මේ තරගාවලියට එක්ව සිටිති. තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂ දහයක් ද, අනු ශූරයන්ට රුපියල් ලක්ෂ පහක් ද, තරගාවලියේ වීරයාට මෝටර් රථයක් ද පිරිනැමීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. පල්ලෙකැලේදී පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ තරග දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද පැවැත්වීමට නියමිතය.

යාපනය, කුලියාපිටිය, අනුරාධපුර හා බණ්ඩාරවෙල ප්‍රදේශවලින්ද කණ්ඩායම් තරගාවලියට එක්ව සිටිති. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 12කි. කොළඹ ටෙන් සුපර්, බණ්ඩාරවෙල ඌව යුනයිටඩ් හා අනුරාධපුර ඊගල්ස් ‘ඒ’ කොටසට අයත්ව සිටිති.

රාගම සුපර් සික්ස්, මහනුවරින් මහනුවර ලංකා හා කටුනායක ඕල් රවුන්ඩර්ස් ‘බී’ කොටසේ තරග වදිති. යාපනය පිරම්බඩි, පානදුර සිලනියන්ස් හා කුලියාපිටිය යන්ග් ලයන්ස් ‘සී’ කොටසට ඇතුළත්ව සිටින අතර අරංගල නවරැල්ල, අවිස්සාවේල්ල පැන්තර්ස් හා දංකොටුව සුපර් යූත් කණ්ඩායම් ‘ඩී’ කොටසේ තරග වදිති. ඔක්තෝබර් 3 හා 4 දිනවල මූලික තරග පැවැත්වෙන අතර ඔක්තෝබර් 5 හා 6 දිනවල ‘සුපිරි 8’ වටය පැවැත්වේ. අවසන් පූර්ව හා අවසාන තරගය ඔක්තෝබර් 6 වැනි දින පස්වරු 6.00 සිට පැවැත්වෙනු ඇත.

එල්.පී.එල්.තරගාවලිය හඳුන්වා දීම සඳහා මාධ්‍ය හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති අවස්ථාවේදී අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා, මේ ක්‍රීඩාව අඩු සම්පත් තිබෙන කණ්ඩායම්වලට ඉතාමත් වැදගත් වනු ඇති බවත් එමගින් ලෙදර් බෝලයට තිබෙන බිය නැති වන බවත් කියා සිටියේය.

“එක්දින ක්‍රිකට් තරගවලින් පසුව පැමිණි විස්සයි20 ක්‍රීඩාව අද ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම මේ අටයි8 ක්‍රීඩාවත් ජනප්‍රිය වේවි” රඹුක්වැල්ල මහතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා මහතාද මෙහිදී අදහස් දක්වමින්, “මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ටේප් බෝලය යොදා ගන්න අපි හිතාගෙන ඉන්නවා. නමුත් ඊට වඩා මේ ටෆ් බෝලය වටිනවා. අපේ සංවර්ධන වැඩකටයුතුවලට මේ පන්දුව ලොකු උපකාරයක් වේවි. ලෙදර් පන්දුවට යන ගමනේදී ටෆ් පන්දුව හොඳ අත්දැකීමක් වේවි” යැයි කියා සිටියේය. ටෆ් පන්දුවේ බවුන්ස් වීමක් තිබෙන බවත් පන්දුව වේගයෙන් යැවිය හැකි බවත් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිළිණ තුෂාර පිතිකරුවන්ට පන්දුවට මුහුණ දීමට අසීරු වනු ඇතැයි කියා සිටියේය. ඔහු මේ තරගාවලියේදී අරංගල නවරැල්ල කණ්ඩායමට ක්‍රීඩා කරයි.

ටෆ් පන්දුවෙන් පමණක් නොනැවතී ඒ සඳහා අවශ්‍ය පිත්ත හා පා ආවරණ යනාදියද නිර්මාණය කළ බව නිශාන්ත හෙට්ටිආරච්චිගේ මහතා පවසා සිටියේය. මේ ක්‍රීඩාවේ අනෙක් නිර්මාතෘවරයා වන ජෝන් ඩැරන් මහතා කියා සිටියේ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ උපකරණ සඳහා රුපියල් ලක්ෂයක් පමණ වැය වෙතත් ටෆ් පන්දු ක්‍රීඩාවේ උපකරණ සඳහා කෙනෙකුට වැය වනු ඇත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් බවයි. ක්‍රීඩාවේ ජනප්‍රියත්වය අනුව මේ ක්‍රීඩා උපකරණ වෙළඳ පොලට පැමිණෙනු ඇතැයිද ඔහු කීවේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා