බියගම විලේජ් අධිපති ඝාතන නඩුව

බියගම විලේජ් අධිපති ඝාතන නඩුව

සී.අයි.ඩී. නිලධාරින් පහරදී ඇද්දැයි වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉල්ලයි

බියගම විලේජ් හොටෙල් ඇතුලු ව්‍යාපාර රැසකම හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න යන අය (65) ඝාතනය කිරීමේ නඩුව ඊයේ (04 වැනිදා) පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු පී. එම්. තිලකරත්න බණ්ඩාර මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ එහි දෙවන සැකකාර මියගිය අයගේ පුත් සුරංග ජයරත්න හා තෙවන සැකකාර සුදත් වික්‍රමසිංහ යන අයවලුන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී තමන්ට පහරදුන් බවට අධිකරණයට කියා සිටි හෙයින් එම දෙදෙනා නැවත අධිකරණ වෛද්‍ය නිලධාරිවරයනට ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙළේය.

දෙවන සැකකාර මියගිය අයගේ පුත් සුරංග ජයරත්න හා තෙවන සැකකාර සුදත් වික්‍රමසිංහ යන මහත්වරුන් අධිකරණ භූමියෙන් පිටතට රැගෙන ගිය අයුරු.ඡායාරූපය - මල්වාන සමූහ මහානාම විතානගේ

තවද එහි පළමුවන සැකකාර ඩී. පී. සුසන්ත නමැත්තාට නගාතිබෙන අනිකුත් චෝදනාව වන අත්බෝම්බ ළඟතබා ගැනීම සම්බන්ධව නඩු පවරන්නේ පීඩාකාරී අවිපනත යටතේද නැතිනම් ත්‍රස්තවාදී පනත යටතේ ද යන්න ගැන නීතිපති උපදෙස් පතා යවා තිබෙන වාර්තාව ඉතා ඉක්මනින්ම ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට සිහි කැඳවීමක් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා ඔහු අත්අඩංගුවටගත් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට නියෝග කෙරිණි.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පළමුවන, දෙවන, හා තෙවන සැකකරුවන් තිදෙනා වන දෙකටන පදිංචි ඩී. පී. සුසන්ත නොහොත් නිලංග, නාරන්වල පදිංචි සුදත් වික්‍රමසිංහ හා බියගම පදිංචි සුරංග ජයරත්න යන අයවලුන් ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තැබීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබීය.

මේ නඩුව යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක ජයසේකර මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්,

මේ ඝාතන සිද්ධිය සම්බන්ධව මෙතෙක් සිදු කරන ලද විමර්ශන කටයුතුවල වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. අපි සාක්කිකරුවන් ගණනාවකින්ම ප්‍රකාශ ලබාගත්තා. දෙවන සැකකරු ළඟ තිබී පරිගණකයක් ඇතුලු උපාංග, ඇඳුම්, තුවක්කුවක් හා අත්බෝම්බයක් සොයා ගත්තා.

එම පරිගණකය ඇතුලු උපාංග කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේශන අංශයේ ස්ථානාධිපතිවරයාටත් ඇඳුම් ජාන පරීක්‍ෂණ (ජින්ටොක්) ආයතනයටත්, තුªවක්කුව රජයේ රස පරීක්‍ෂකවරයාටත්, අත්බෝම්බය නිෂ්ක්‍රීය කර වාර්තා කිරීමට විශේෂ පොලිස් කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයාටත් නියෝග කරන ලෙසට ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා එම ආයතනවලට අදාළ භාණ්ඩ යොමු කොට එහි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග කරනවා.

පොලිස් පරීක්‍ෂක ජයසේකර මහතා - මේ සිද්ධිය ඇසින් දුටු බව කියන කාන්තාවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගන්නට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා එම දෙදෙනාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට නියෝගයක් ලබාදෙන්න. පළමුවන සැකකරු කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශ මතයි.

මහෙස්ත්‍රාත්වරයා - එම දෙදෙනාගෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශ ලබා ගන්නට නියෝග කරනවා.

දෙවන හා තෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස මහතා - මේ සැකකරුවන් දෙදෙනා ස්වෝත්සහයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නට කැමැතියි. ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න. ඔවුන්ට තුවාල සිදුවෙලා.

මහේස්ත්‍රාත්වරයා - තමන්ට තුවාල සිදුවී තිබෙන්නේ කුමන හේතුන් මතද?

සැකකරුවන් - පහරදීමෙන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් රෝහණ මහතා -

මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගත්තා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහර දුන්නා නම් ඒ කවුද යන්න කියන්න.

මහේස්ත්‍රාත්වරයා - පහර දුන්නේ කුමන නිලධාරීන්ද?

සැකකරුවන් - රෝහණ

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් රෝහණ මහතා - මා එය ප්‍රතික්ෂේප කරනවා.

මහේස්ත්‍රාත්වරයා - නැවත අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් රෝහණ මහතා - දෙවන හා තෙවන සැකකරුවන් චූදිතයන් ලෙසට නම් කර තිබෙනවා.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ පො. කො. බණ්ඩාර මහතා (38633) - පළමුවන සැකකරු ළඟ තිබී හමුවූ අත්බෝම්බ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා - මෙහි වාර්තාව ඉක්මනින්ම ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට සිහි කැඳවීමක් කරන්න.

වැඩිදුර විභාගය ලබන 18 වැනිදාට කල් තැබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් රෝහණ හා පොලිස් පරීක්‍ෂක ජයසේකර යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.

මියගිය අයගේ දියනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ලලිත් දහනායක මහතාද පළමුවන සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන ජානක අමරසිංහ හා නිහාල් රන්දෙනිය යන මහත්වරු ද දෙවන හා තුන්වන සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ඩී. ඒ. පී. වීරත්න, නලින් ද ඉන්ද්‍රතිස්ස, අසිත සිරිවර්ධන, කමල් සම්මන්දප්පෙරුම, පියසේන කාරියප්පෙරුම, චානක පුවක්පිටිය, සංජය රණතුංග හා ගුණතිලක අලගියවන්න යන මහත්වරුද පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා