අධි බලැති බෝම්බයක් ළඟ තබාගත් සැකකරුට වසර 10ක සිර දඬුවමක්

අධි බලැති බෝම්බයක් ළඟ තබාගත් සැකකරුට වසර 10ක සිර දඬුවමක්

මහරගම දෙව්රම් වෙහෙරේ දී පුපුරන ද්‍රව්‍ය යෙදූ කිලෝ ග්‍රෑම් 1 1/2 බරින් යුත් පැති බෝම්බයක් ළඟ තබාගත් බවට වරද පිළිගත් කොටි සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සුරසේන මහතා විසින් වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (04) නියම කරන ලදී.

කොටි සංවිධානයේ “ඉම්රාන් පාහියන්” කණ්ඩායමේ ප්‍රබල කොටි සාමාජිකයකු වූ කයිට්ස් හි පදිංචි මරියදාස් රාජ් අජේන්ද්‍රන් හෙවත් සසී (34) නමැති විත්තිකරුට එසේ සිරදඬුවම් නියම කෙරුණි.

සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරුණි.

2007 වසරේ අගෝස්තු මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මහරගම දෙව්රම්වෙහෙරේ දී ආර්. ඩී. එක්ස් අධි බලැති පුපුරන ද්‍රව්‍ය යෙදූ කිලෝ ග්‍රෑම් 1 1/2 ක අධි බලැති පැති බෝම්බයක් හා විදුලි ඩෙටනේටර් දෙකක් ළඟ තබා ගත් බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කැර තිබුණි.

විත්තිකරුට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ මෙම නඩුව පවරන ලද අතර විත්තිකරු කොළඹ වරාය පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම සඳහා කොළඹට පැමිණ ඇති බවට පරීක්‍ෂණවල දී තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ගොනු කළ අධි චෝදනා දෙකට ම විත්තිකරු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම මත එක් එක් චෝදනාවට වසර පහ බැගින් විත්තිකරුට දස වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා, එම දඬුවම වසර පහක දී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා