පිල්ලේ නෝනා කොටි සමරා මල් වඩම් තැබීමට තැත් කිරීම විහිළුවට කරුණක්

පිල්ලේ නෝනා කොටි සමරා මල් වඩම් තැබීමට තැත් කිරීම විහිළුවට කරුණක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මිය කොටි සංවිධානය ම්ලේච්ඡ, කෲර, මිනීමරු එකක් බවට පවසද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටි ජාති ‍හිතෛෂී විනයගරුක පිරිසක් බවට වාර්තාවක් නිකුත් කර තිබීම ප්‍රතිපත්ති‍යක් නැති පරස්පර විරෝධී එකක්.

ඒ අතර නවනීදන්පිල්ලේ මහත්මිය මැරුන කොටි සිහිකර මල් වඩම් තැබීමට උත්සාහ කිරීම තවත් විහිළුවක් බව විදේශ කටයුතු පිළිබඳ ඇමැති ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙයි.

කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවේදී ඇමැතිවරයා මේ කරුණු පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානය කටයුතු කරන ආකාරය කෙසේද යන්න පෙන්වා දෙමින්ය.

විදේශ සංචාරයක යෙදුන ඇමැති ජී.එල්. පීරිස් මහතා පෙරේදා (03) යළි මෙරටට පැමිණි අතර ‍එහිදී විදේශ තානාපතිවරු මාධ්‍යවේදීන් විශාල පිරිසක් හමුවූ බවත් එහිදී මෙරට හමුදාව පිළිබඳ ඔවුන් අතර පවතින ප්‍රචාරය වැරැදි සහගත එකක් බවත් පැවසීය.

ඒ අනුව මෙරටට එරෙහිව ජාත්‍යන්තරය පුරා වැරැදි ප්‍රචාරාත්මක මෙහෙයුමක් දියත් කෙරෙන බවත් පෙන්වා දුන්නේය.

මානව හිමිකම් සංවිධාන මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කතා කළ යුතු ඒවා වුවත් අද දක්නට ලැබෙන මානව හිමිකම් සංවිධාන දේශපාලනීකරණය වී ඇත. මෙරට මානුෂීය මෙහෙයුමෙන් පසු හමුදාව යුද හමුදාවක් ලෙස කටයුතු කළේ නැහැ.

ඔවුන් උතුරු නැගෙනහිර අනාථ වූ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකදීමට කටයුතු කළා. උතුරේ ජනතාවගෙන් විමසූ විට පවසන්නේ ඔවුන්ට උදව් කරන පිරිස අතරින් සියයට අනූවක්ම හමුදා නිලධාරීන් බවයි. උතුරේ ජනතාව භුක්ති විඳින නිදහස ඔවුන්ට හිමි වූයේ හමුදාව නිසා බව ඔවුන් පිළිගෙන ඇත.

පසුගිය වසර විසිපහ තුළ ජනාධිපතිවරු සිවු දෙනෙක් සිටියා.

නමුත් යුද්ධය අවසන් කර උතුරේ ඡන්දයක් පැවැත්වීමට කටයුතු ‍කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

නවනීදන්පිල්ලේ ජනාධිපතිවරයා ඒකාධිපති රටාවකට ක්‍රියා කරන බව පැවසුවද වසර අටක් තුළ ඡන්ද 11ක් පැවැත්වීම ඒකාධිපති රටාවකට සිදුවන දෙයක්ද යන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තේරුම් ගත යුතු බවද ඇමැති ජී.එල්. පීරිස් මහතා තවදුරටත් එම සමුළුව ඉදිරියේ පවසා සිටියේ මේ රජයේ හමුදාව සද්භාවයෙන් උතු‍රේ ජනතාව වෙනුවෙන් කරගෙන යන සුවිශේෂී සේවාව විකෘති කර ‍ජාත්‍යන්තරය හමුවේ ඇතැම් කණ්ඩායම් මෙරටට එරෙහිව කටයුතු කරන ආකාරයද පෙන්වා දෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා