ප්‍රභාකරන් වීරයකු ලෙස නම් කිරීම විග්නේෂ්වරන් දැරූ විනිසුරු අසුනට කළ අපහාසයක්

ප්‍රභාකරන් වීරයකු ලෙස නම් කිරීම විග්නේෂ්වරන් දැරූ විනිසුරු අසුනට කළ අපහාසයක්

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමැති ධුර අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. විග්නේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් වීරයකු ලෙස නම් කැර ඇතිනම් එය ඔහු දැරූ විනිසුරු අසුනටත්, ලබා දුන් තීන්දුවලටත් කළ බරපතළ අපහාසයක් හා නිග්‍රහයක් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති බව සිහිපත් කළ ඇමැතිවරයා, එකී මිනීමරු සංවිධානයේ නායකයා වීරයකු ලෙස හඳුන්වා දෙමින් විග්නේෂ්වරන් මහතා කර ඇතැයි කියන මේ ප්‍රකාශය පිල්ලේ මහත්මියගේ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමක් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

විග්නේෂ්වරන් මහතා නොබෝදා යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රභාකරන් වීරයකු ලෙස හඳුන්වා දීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන‍ ශ්‍රවණාගාරයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

විග්නේෂ්වරන් මහතා බදුල්ල අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කරන විට ලබා දුන් ඇතැම් තීන්දු තමන් එදා නීතීඥයකු ලෙස අගය කළ බව සිහිපත් කළ ඇමැතිවරයා එහෙත් ඔහු දේශපාලනයට පැමිණ මෙවැනි ප්‍රකාශ කරන්නේ නම් එය ඔහු විනිසුරුවරයකු ලෙස දුන් තීන්දුවලට බරපතළ නිග්‍රහයක් බවත් කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කිසිවකු මෙවැනි ප්‍රකාශ නොකරන බවයි.

එසේම විග්නේෂ්වරන් මහතා නියෝජනය කරන දෙමළ සන්ධානයේ නායකයන් ඇතුළු දෙමළ නායකයන් බොහෝදෙනකු ඝාතනය කළේ කවුරුන්දැයි සියලුදෙනා දන්නා බැවින් මේ සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතා සමඟ වාදයකට එකතුවීමට තමන් අපේක්ෂා නොකරන බවත් කීය.

එල්.ටී.ටී. ඊ. සංවිධානයේ දේශපාලන හස්තය ලෙස දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ බව කිසිවකුට රහසක් නොවන බවත් පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා ත්‍රස්තවාදය බවත්, එහි පරම මිතුරා මැතිවරණ බවත් පැවැසූ ඒ මහතා උතුරට ත්‍රස්තවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරා යැවීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා