සිරියාවට ප්‍රහාර එල්ල කරන්න ජනපති ඔබාමාට කොංග්‍රසයේ සහාය

සිරියාවට ප්‍රහාර එල්ල කරන්න ජනපති ඔබාමාට කොංග්‍රසයේ සහාය

සිරියාවට එරෙහිව යුදමය පියවරක් ගැනීම සම්බන්ධයෙන් වූ තීරණයට ජනාධිපති ඔබාමාට සහාය පළ කිරීමට කොංග්‍රස් සභිකයන් සූදානමින් සිටින බව වාර්තාවේ . අමෙරිකාව විසින් සිදු කිරීමට අපේක්ෂිත මෙම යුද මය මැදිහත් වීමෙදී ගොඩබිම් ප්‍රහාර සිදු නොකරනු ලබන අතර සිරියා රජයේ යුද ශක්තිය අඩපණ කිරීමට පමණක් එය සීමා වනු ඇතැයි වාර්තා වේ .

ඒ අනුව ප්‍රහාර එල්ල කරනු ඇත්තේ සිරියාවේ රසායනික අවි ඉලක්කයන්ට සහ රට වැසියන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන හමුදා රැඳී සිටින මර්මස්ථානවලට බවද සඳහන්ය .මේ අතර සිරියාරජය තවත් රසායනික අවි ප්‍රහාරයකට අරඅඳින බවට සිරියා කැරලිකරුවො අනතුරු අඟවා සිටිති .

වසර තුනහමාරකට වැඩි කාලයක් තුළ ඇදී යන සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් දැනට මිය ගොස් ඇති සංඛ්‍යාව 110 000 කට අධික බවත් අවතැන්වූ සංඛ්‍යාව දස ලක්ෂ 2 ඉක්මවා ඇති බවත් ජගත් සංවිධාන සංඛ්‍යා ලේඛන හෙලි කරයි .

සිරියාවේ ම්ලේච්ඡ මිනිස් සංහාරය දෙස ජාත්‍යන්තරයට තවදුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව අමෙරිකා රාජ්‍ය ලේකම් ජොන් කෙරි විදේශ සම්බන්ධතා කමිටුව ඉදිරියේ අවධාරණය කර තිබේ .

දරුණු මානුෂීය ඛේදවාචකයක් සිදුවි ඇති අවස්ථාවකදී ජාත්‍යන්තරය කිසිවිටකත් ඇස් පියාගෙන නොසිටින බව සිරියා රජයට මෙන්ම ඉරානය වැනි න්‍යෂ්ටික බලයක් ඇති රටවලට ඒත්තු ගැන්විය යුතු බව අමෙරිකාවේ ස්ථාවරය බව ඔහු පවසයි .

සිරියාවට යුදමය වශයෙන් මැදිහත් වීමේදී ලේ වැගිරීම් තවදුරටත් උත්සන්න වීමෙ ඉඩකඩ ඇති බවට අනතුරු අඟවා ඇති ජගත් මහ ලේකම් එය ඉතා සීරුවෙන් කළ යුත්තක් බව අවධාරණය කරයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා