147 වන පොලිස් දින සැමරුම

147 වන පොලිස් දින සැමරුම

පොලිස් සේවාව මහජන ප්‍රසාදයට ලක්වන ගරු තැනක් කරනවා

- මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි

පොලිස් සේවාව මහජන ප්‍රසාදයට ලක්වන ගෞරවණීය සේවාවක් බවට පත් කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා පැවැසීය.

'මහජනතාවගේ හොඳම මිතුරා ලෙස ප්‍රජාව සමග පෙරට' නව තේමාව යටතේ පොලිසියේ සමාජ වටපිටාවක් ගොඩනඟන බව ද ඔහු කීවේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කළ අයුරු. පොලිස්පති එන්.‍කේ. ඉලංගකෝන් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්වරු ද මෙහි වෙති.

පොලිස් දෙපාර්තමේන්තුවේ 147 වන පොලිස් දින ප්‍රධාන සැමරුම් උළෙලට එක්වෙමින් නන්ද මල්ලවආරච්චි මහතා එම අදහස් පළ කළේය. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ පෙරේදා සවස (03) මේ උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පොලිස් තූර්යවාදක කණ්ඩායම, අශ්වාරෝහක කණ්ඩායම, නිල සුනඛ හා විශේෂ කාර්ය බළකා කණ්ඩායම් වලින් සමන්විත වූ සම්මාන පෙළපාලියක් පවත්වමින් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ මල්ලවආරච්චි මහතා පිළිගනැ ලැබිණි.

එහිදී මල්ලවආරච්චි මහතා තවදුරටත් මෙසේද කීය. මෙරට නීතිය හා සාමය සුරකින ප්‍රධාන ආයතනය පොලිස් දෙපාර්තමේන්තුවයි. පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තියුණු අධ්‍යයනයක් කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවනවා. මෙහි ගැටලු පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු නිසි පිළියම් යෙදීමට පියවර ගන්නවා. 147 වන පොලිස් දිනතේමාව 'ප්‍රජාව සමග පෙරට' යන්නයි. මම එහි මුලට 'මහජනතාවගේ හොඳම මිතුරා ලෙස' කියා එකතු කරන්න කැමතියි.

පොලිස් දෙපාර්තමේන්තුව ජනප්‍රසාදයට පත් කළ යුතුයි. එමෙන්ම පොලිසියේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කළ යුතුයි. නිලධාරියාට සිය කාර්යය නිසි ලෙස ඉටු කිරීමට සමාජ වටපිටාව සැකසීම වැදගත්. එම තත්ත්වය මතුවට ගොඩනැගීමට හැකිවන බව මට විශ්වාසයි.

මේ තනතුර බාරගෙන අදට දින පහක්වත් ගතවී නැහැ. හමුදා සේවාවේ සිටි මා පොලිසිය පිළිබඳ යම් ප්‍රමාණයකින් දැනුවත්වී සිටියත් නිසි අධ්‍යනයක යෙදීම අත්‍යවශ්‍යයි.

පොලිසියේ අතලොස්සක් පමණ නිලධාරීන් කරන වැරැදි නිසා දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් නොකළ යුතුයි.

නව තේමාව යටතේ ක්‍රියාත්මකව මහජන ප්‍රසාදයට ලක්වන ගෞරවණීය සේවාවක් බවට පොලිසිය පත් කළ හැකි බව තම විශ්වාසය බව ද ඒ අනුව කටයුතු කර ගෞරවණීය තත්ත්වය ඇතිකර ගනිමු යැයිද හෙතෙම සඳහන් කළේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙහිදී ස්තූති කථාව කරමින් නිලධාරියාගේ හොඳ නම රැක ගනිමින් කුසලතාව හා හැකියාව දියුණු කර නිසි සේවාක් රටට ලබා දෙනු යැයිද සඳහන් කළේය.

පොලිස්පතිවරයා එහිදී නන්ද මල්ලවආරච්චි මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

පොලිස් සංස්කෘතික කණ්ඩායම විසින් මෙහිදී සංදර්ශන ඉදිරිපත් කරන ලදී.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, විශ්‍රාමික පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ ‍නිලධාරීන් හා ක්‍රියාන්විත රාජකාරියේ සිටින නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා