සංචාරක වීසා ඇති විදේශිකයන්ට සල්ලි ගරන්න සහතිකයක්

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තවත් අවුලක්

සංචාරක වීසා ඇති විදේශිකයන්ට සල්ලි ගරන්න සහතිකයක්

B.O.I. සුදුසුකම්වත් බලා නෑ

සමාගම් කාර්යාලයේ අතයට ගනු දෙනු

කාලය අවසන් අයටත් සමාගමේ ලියාපදිංචිය

ලැගුම්හල්-පෙට්ටිකඩ පවත්වන්න ඉඩ

මෙරටට එන ආදායම් ඔවුන්ගේ අතටම

විජයානි එදිරිසිංහ

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය සංචාරක වීසා ඇති විදේශිකයන් රටපුරා තැන් තැන් වල පවත්වාගෙන යන පෙට්ටි කඩ හා ලැගුම් හල්වලටත් සමාගම් ලියාපදිංචි සහතිකය ලබාදී තිබේ.

මේවා පවත්වාගෙන යන විදේශිකයන් වීසා කාලය අවසන් වී අවුරුදු ගණන් හොර රහසේ නැවත වීසා ලබා නොගෙන රැඳී සිටින අතර ආගමන විගමන වැටලීම් අංශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගත් පසු සමාගම් ලියාපදිංචි සහතිකය පෙන්වා ඔවුන්ට රට තුළ රැඳී සිටීමට අයිතිය ඇති බව පවසමින් දැඩි විරෝධතාවක් දක්වන බව ආගමන විගමන බුද්ධි හා නිරීක්ෂණ අංශය පවසයි.

සමාගමක් ලියාපදිංචි කළ යුත්තේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී මෙරටට යම් කිසි ආයෝජනයක් කළ යුතු හා ඊට අදාළ සුදුසුකම් ඇති නේවාසික වීසා ඇති විදේශිකයන් පමණි.

එහෙත් සමාගම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලය විදේශිකයන්ගේ ලැගුම් හල්, පෙට්ටිකඩ, අවන්හල් ආදියටද සමාගම් ලියාපදිංචි සහතිකය ලබාදී තිබේ.

මෙසේ ලියාපදිංචිය ලබාගත් විදේශිකයන් විශාල පිරිසක් මුහුදුබඩ ප්‍රදේශවල සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල පමණක් නොව රට අභ්‍යන්තරයේද විවිධ ස්ථානවල ඉහත කී ස්ථාන පවත්වාගෙන යයි.

මොවුන්ට මෙසේ මේ ආකාරයෙන් අවන්හල් ආදිය පවත්වාගෙන යාමට ඉඩ දී තිබීම නිසා මෙරටට එන සංචාරකයන් ඔවුන් වෙත හරවාගෙන මෙරටට ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම අහිමි කර තිබේ.

සංචාරක සමයේදී ආදායම් උපයන මෙරට ව්‍යාපාරිකයන් විශාල පිරිසකට මේ ජාවාරම නිසා ආදායම් අහිමි වී ඇත.

මෙම ජාවාරම්කරුවන් සංචාරකයන් මෙරටට එන සමයේදී ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදීම පමණක් නොව මෙරට දර්ශනීය ස්ථාන නැරඹීමේ ගයිඩ් රැකියාව පවා ඔවුන් විසින්ම සිදු කර සියලු ආදායම් උපයා නැවත පිටරටට යන බව ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට හෙළිවී තිබේ.

ඇතැම් ජාවාරම්කරුවන් වෙබ් අඩවි හරහා සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර සිටම එම රටවලදී මෙම අවන්හල වෙන්කරදීම කරගෙන යයි.

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මේ ජාවාරම්කරුවන්ට මෙසේ ලියාපදිංචිය නොදෙන්නේ නම් පිටරැටියන්ට මෙරට ධනය මේ ආකාරයෙන් උපයා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙන බවද එම අංශය පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා