වාස්ට ඇප ලැබුණත් අනෙක් චෝදනා 2ට රිමාන්ඩ්

වාස්ට ඇප ලැබුණත් අනෙක් චෝදනා 2ට රිමාන්ඩ්

මොහොමඩ් සියාම් ඝාතනයට අදාළව විමර්ශන පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව එල්ල ව ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඊයේ (4) ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කෙළේය.

සැකකරුට මෙම සිද්ධියෙන් ඇප ලැබුණ ද මොහොමඩ් සියාම් ඝාතනයට හා සිංගප්පූරු සරත් යන අයගෙන් ලක්‍ෂ 30 කප්පමක් ගැනීමේ සිද්ධියට රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටින හෙයින් වාස් ගුණවර්ධන මහතා නැවත බන්ධනාගාරය වෙත ගෙන යනු දක්නට ලැබිණි.

අවශ්‍ය අවස්ථාවල දී රහස් පොලිසියේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශනවලට බාධා නොකරන ලෙස වාස් ගුණවර්ධන මහතාට අවවාද කෙළේය.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විශේෂ විමර්ශන ස්ථානාධිපති වික්‍රමසේකර මහතා ඉකුත් 10 වන දින මෙම සිද්ධියට අදාළව පැමිණිලි කොට තිබිණ.

සිද්ධිය ඊයේ (4) නැවත කැඳවූ අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සැකකරුට ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේ ය.

මෙහිදී රහස් පොලිසිය පවසා සිටියේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් බවත් අදාළ උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවත්ය.

පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද මොහොමඩ් සියාම් යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීමට 13/6/10 වන දින අත්අඩංගුවට ගනු ලැබූ එවකට බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන යන අය විමර්ශන නිලධාරීන්ට මරණීය තර්ජනය සිදු කළ බවට පොලිසිය චෝදනා ගොනු කර තිබිණ. “මට තේරුණා උඹලා, මට මේ වගේ දෙයක් කරනවා කියලා. උඹලට බෑ මාව හැමදාම ඇතුලේ තියන්න.

ශානි මම මිනීමරුවෙක්, මම එළියට ආපු දවසට බලපල්ලා උඹලට කරන දේ” යනුවෙන් අන්ද්‍රවාස්පටබැඳි ගනේන්ද්‍ර වාස් ගුණවර්ධන යන අය තර්ජනය කළ බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙළේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා