රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

රාජ්‍ය සේවකයා වෙනුවෙන් සැමවිටම පෙනී සිටින වත්මන් රජය රාජ්‍ය සේවකයා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ සභාව කල් තැබීමේ යෝජනාවට පිළිතුරු දෙමිනි.

සෙංකෝලය තැන්පත් කිරිමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (04) පස්වරු 1.00ට රැස්විය.

ලිපි ලේඛන හා වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම් ,මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කෙරිණ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රිරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා (එජාප):-

අද රාජ්‍ය සේවකයා ජීවන වියදමෙන් සහ වෙනත් ගැටලු නිසා පීඩාවට පත් වෙලා. රජය රාජ්‍ය සේවාව නින්දා සහගත ලෙස බිද දමා ත්බෙනවා. රාජ්‍ය සේවකයාට තමරාජකාරිය ස්වාධීනව ඉටුකරන්නට බැහැ.හැමතැනම දේශපාලන ඇගිලි ගැසිම්.

තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන රාජ්‍ය සේවකයා මර්දනය කරනවා.කම්කරු ප්‍රඥප්තිය අකර්මණ්‍ය වෙලා.විශ්‍රාමික වැටුප් විෂමතා 2006දී ඉවත් කරන බව ජනාධිපතිතුමා කිව්වා.අද වන තුරු එය ඉටු වී නැහැ.රාජ්‍ය සේවකයාට යහපත් ජීවන තත්ත්වයක්ලබා දීමට නම් රුපියල් 10000න් වැටුප් වැඩි කළ යුතුයි.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා (එජාප):- මේ යෝජනාව මා ස්ථිර කරනවා.රජයේ සේවකයාට තම ගෞරවය ආරක්ෂා කරගෙන තම දරු පවුල සමඟ ජිවත් විම අපහසුයි. අවසන් වරට මොවුන්ගේ වැටුප් වැඩිවුණේ 2006දීයි.

මේ වන තෙක් වසර හතටම වැඩි වි තිබෙන්නේ රුපියල් 6600යි. වුඩිම රත්රන් උගස් කර තිබෙන්නේ පසුගිය වසරේදී .ඒ රාජ්‍ය සේවකයාට ජීවත් වීමටබැරි නිසයි.විදුලි, ජල බිල දෙගුණයක් වෙලා. 2005දී ගෑස් ටැංකිය රුපියල් 600යි. අද කීයද?.

පත් කළ මන්ත්‍රි ජේ ආර් පී සුරියප්පෙරුම මහතා මලසුනට පැමිණියේය.

ග්‍රාමිය කටයුතු පිළිබද ජ්‍යේෂ්ඨ ඇමති ආතාවුද සෙනෙවිරත්න මහතා:-මේ යෝජනාව ගෙනාවේ රාජ්‍ය සේවකයාට ඇති ආදරයට නෙමෙයි. යෝජනාව ගෙන එමින් එජාප ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කිව්වා තැපල් ඡන්දය එජාපයට දේන්න කියලා. එජාපය කවදත් වැඩකරන ජනතාව සමඟ සිටියේ නැහැ.

පත්කළ මන්ත්‍රි අනුර දිසානායක මහතා (ප්‍රජාස):- අප රටේ රාජ්‍ය සේවාව ස්ථාවරව පවත්වාගෙන යායුතුයි කියනස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය සේවයෙන් ජනතාවය සිදුකරන සේවාවේදී රාජ්‍ය සේවය තෘප්තිමත්ව පවත්වාගෙන යාමේ වගකීම රජයට තිබෙනවා.

රජයේ සේවයට බදවා ගැනිමේදී සුදුසුකම් සැලකිල්ලට ගත යුතුයි.ග්‍රාම සේවක පුරප්පාඩු 4445ක් බදවා ගැනිම සඳහා තිබුණු විභාගයෙන් පසුව බදවා ගන්න සංවිධායකවරුන්ට යොමු කරලා.

ජෝන් සෙනෙවිරත්න මහතා:- ග්‍රාමසේවා විභාගයේ ප්‍රතිඵල විභායෙන් අනතුරුව වෙබ් අඩවියට ඇතුළත් කළා. පුවත්පත් මගින්ද ප්‍රකාශ කළා. මේ විභාගය පැවැත්වුයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම් කරගෙනයි.

අනුර දිසානායක මහතා :- ග්‍රාමසේවක තනතුරු දේශපාලන තනතුරු බවට පත් කරන්නයි මේ රජයට අවශ්‍ය වි තිබෙන්නේ.අද තනතුරු වල සිටින්නේ ශ්‍රි ලංනි පක්ෂයේ පාක්ෂියනුත් නෙමෙයි.

කටුකන අයයි. මේ අය තමයි නිලධාරින් පවා පාලනය කරන්නේ . වැටුප් හදන්නේ. මේ වගේ රාජ්‍ය සේවයකින් රටට වැඩක් තිබෙනවාද?.

මුදල් හා මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා:- රටේ මුදල් චක්‍රය බලා නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාමික ගෙවීම් සඳහා උපරිම සහනයක් දෙන්න ජනාධිපතිතුමා ප්‍රධාන මේ රජය බැඳී සිටිනවා.

පාට, පක්ෂ භේද නොබලා උපාධිධාරීන් සියලුදෙනාට රජයේ රැකියා ලබා දුන්නේ වත්මක් රජයයි. 2006දී උතුරු නැඟෙනහිර ප්‍රදේශවල උපාධිධාරීන්ටත් රැකියා දුන්නා. 2006දී උපාධිධාරීන් 50000කුත් මෙවරදී උපාධිධාරීන් 53000කුත් බඳවා ගෙන තිබෙනවා. කාලෙන් කාලෙට වැටුප් තල වෙනස් වෙනවා. ඉහළ වැටුප්තලවලින් මෙන්ම පහළ වැටුප්තලවලින්ද ඇතැම් පිරිස් විශ්‍රාම ගන්නවා.

මේ තත්ත්වය තුළ වර්ෂයෙන් වර්ෂයට ඒ ඒ වැටුපට විශේෂ දීමනා එකතු කරනවා.වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වැටුප් තල පහසු තලයකට ගේන්න කටයුතු කරමින් සිටිනවා.

වඩා හොඳ සේවයක් ලබා දෙන්න අපි කැප වුණත් එයට වෙනත් අභියෝග ද පවතිනවා. වාර්ෂිකව ජීවන වියදම් දීමනාව වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 19430කි. ජීවන වියදම් දීමනාවත් වැඩි කරමින් රාජ්‍ය සේවකයාට වැඩි පඩියක් ලබා දෙන්න කටයුතු කරනවා.

පත්කළ මන්ත්‍රී ආර් යෝගරාජා මහතා (එජාප):- ආගම්වාදය මේ රටේ නැවත පැතිරෙමින් තිබෙනවා. ජාතිවාදය නැවත මේ රටේ පැතිරෙමින් තිබෙනවා. ඒවාට රජය ඉඩ දෙනවාද?

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ‍්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා:- විපක්ෂය ගෙනා යෝජනාව පරස්පර වීරෝධීයි. පොදු ව්‍යාපාර කාකර සභාවේ මමත් සාමාජිකයෙක්. අපි පොදු ව්‍යාපාර කාරක සභාව තුළින් නිර්දේශ කළේ ගණකාධිකාරීවරුන්ට වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් පමණයි. සමස්ත රජ්‍ය සේවය පිළිබඳ එහිදී නිර්දේශ කළේ නැහැ. ගෘහ ආදායම වියදම ගැනත් විපක්ෂය කතා කළා.

2012- 2013 වසරවල ගෘහ වියදම රුපියල් 40,887යි, වියදම 46,287යි. ඒ ගැන විපක්ෂය කතා කළේ නැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා (එජාප):- 17 වැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පොලිස් කොමිසම පිහිටුවා පොලීසියට සුවිශේෂී තැනක් ලබා දුන්නා. නමුත් අද ඒ ඒ කොමිසම්වලට පත් කරන්නේ ජනාධිපතිතුමාගේ ඒජන්තවරුයි. පොලිසියේ සියයට 75ක් ස්වාධීනව සේවය කරනවා. නමුත් ඔවුන්ගේ වැටුප් තල ඉතා අඩු මට්ටමක තිබෙන්නේ. ආරක්ෂක හමුදාවන්වලට වඩා පොලිසියේ වැටුප ඉතාම පහළයි.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානයක මහතා :- සේවක අර්ථ සාධක අරමුද කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. ඒවා ස්ථාපනය කළේ අපියි. එජපි ආණ්ඩු විසින් නොවෙයි. කාර්යාල කාර්ය සහායකයකුගේවත් වැටුපක් වැඩි කිරීමට එජාපය කටයුතු කළේ නැහැ. නමුත් අපි රාජ්‍ය සේවාව පුළුල් කළා.

අද රජයට පක්ෂ මාධ්‍ය තිබෙන්නේ දිනමිණ, ඩේලි නිවුස්, රූපවාහනිය හා ස්වාධීන රූපවාහනිය පමණයි. නමුත් ඊට අමතරව මාධ්‍ය ආයතන ගුවන් විදුලි නාලිකා කොතරම් තිබෙනවාද? රාජ්‍ය සේවකයන්ට වැටුප් දීමනා වැඩි කර තිබෙනවා.

රැකියා වියුක්තිය අද අඩු කර තිබෙනවා. රාජ්‍ය සේවයේ සුදුසුකම් සැපිරූ 17,000 අධික පිරිසකට අපි වාහන බලපත්‍ර ලබා දී තිබෙනවා. අපි රාජ්‍ය සේවයට ඇගිලි ගහන්නේ නැහැ. පත් කිරීම්, ප්‍රධානීන් පත් කරන්නේ ශ්‍රීලනිපයෙන් නෙවෙයි. නමුත් එජාප රජයන් රාජ්‍ය සේවය දේශපාලනීකරණය ලක් කළා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා (එජාප):- නුවරඑළිය දිස්ත්‍රික්යේ සිටින ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුම් නිර්මාණය වෙලා. එම දිස්ත්‍රික්කයේ ප්‍ර දේශීය ලේකම් කොට්ඨාස පහක් තිබෙනවා. නමුත් ඒ එකක වත්

දෙමළ කතා කරන ප්‍රා දේශීය ලේකම්වරයෙක් නැහැ. රාජය සේවයට දෙමළ නිලධාරීන් බඳවා ගැනිම් ප්‍රමාණවත් නැහැ.

කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා:- ජෝන් අමරතුංග මහතා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන්ද? වයඹ, මධ්‍යම ඡන්ද වෙනුවෙන් එජාපය ඉදිරිපත් කර තිබූ ප්‍රකාශන මා කියවූවා. ඒ එකකවත් රාජ්‍ය සේවය ගැන සඳහන් වෙන්නේ නැහැ.

තැපැල් ඡන්ද ලං වෙන කොට රාජ්‍ය සේවකයා ගැන කතා කිරීමක් පමණයි. එජාපය තරම් රාජ්‍ය සේවයට කොකා පෙන්නපු ආණ්ඩුවක් තවත් නැහැ. පුද්ගලික අංශයටත් අද වැටුප් වැඩිවී තිබෙනවා. ඒ නිසා වැඩ වර්ජන අවම වෙලා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- රාජ්‍ය සේවයට මේ ආණ්ඩුවෙන් මොනවාද ඉටු කර තිබෙන්නේ. රාජ්‍ය සේවකයා ගැන මීට වඩා සිතිය යුතුයි. උපාධිධාරීන් රාජ්‍ය සේවයේ සේවය කරනවා. ඔවුන්ගේ වැටුප් ප්‍රමාණවත් නැහැ. පෞද්ගලික අංශයේ සේවය කරන උපාධිධාරීන් වැඩි වැටුප් ලබනවා. උපාධිධාරීන්ට වෘත්තීමය භාවයක් හා අභිමානයක් ලබාදිය යුතුයි.

ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා:- මහින්ද රාජපක්ෂ රජය තරම් රාජ්‍ය සේවකයන්ට සැලකූ වෙනත් කිසිදු රජයක් නැහැ. වසර තිහක යුද කාල සීමාවේ රාජ්‍ය සේවකයා ජීවත්වුණේ තැති ගැන්මෙනුයි. මොකද තම ජීවිතය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුවේවි යයි ඔවුන් බියෙන් හිටියා.

දශක තුනක යුද්ධය අවසන් කිරීමත් සමඟ රාජය සේවකයා තම සේවය මෙන්ම පවුල් ජිවිතයත් සතුටින් ගතකරනවා. එජාපය මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගෙනයි.

නියෝජ්‍ය කාතානයක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහාතා (එජාප):- සියලු රජයේ සේවකයෝ රජයේ කාර් භාරය හොඳින් බලා සිටිනවා. යාපනය ප්‍රදේශයට සාමය අවශ්‍ය නිසා හමුදාව ඉන්න බව ලොකුගේ ඇමැතිවරයා කිව්වා. හමුදා නිලධාරීන් ආණ්ඩුකාර තනතුරට පත් කර දෙමළ ජනතාව පීඩාවට පත් කරනවා. දෙමළ ජාතික ප්‍රදේශිය ලේකම්වරුන් කීදෙන් ඉන්නවාද?

සෙනෙවිරත්න මහතා:- මේ වන විටත් පත් කිරීම් සිදු කර තිබෙනවා.

සේනසිංහ මහතා:- මේ රටේ මැති ඇමැතිවරුන් පිරිසක් සුඛෝපභෝගී ජීවත ගත කරනවා. රජයේ සේවකයා හඳුනා ගන්න පුළුවන්. බෑගය කැඩිලා, සාර්යේ වාටි ඉරිලා, සපත්තු කැඩිලා, මේ අය ගැන කතා කරන්න කවුරුත් නැහැ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා:- තම සේවවාන් ඉටු කර ගැනීමට එන ජනතාවගේ ගැටලු වලට ඇහුම්කන් දී ඔවුන්ගේ කදුළු පිස දැමීමට තරම් සානුකම්පිත සිතක් රාජ්‍ය සේවකයා තුළ තිබිය යුතුයි.

ශක්තිමත් රාජ්‍ය සේවයක් මඟින් පොදු මහජනතාවට සේවය කිරීම ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන රජයන් විසින් අතීතයේ මෙන්ම වර්තමානයේත් සිදු කරනවා. 2004 වසරේ ලක්ෂ 08ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව අද වන විට ලක්ෂ 14දක්වා වැඩි වෙලා. මේ වසරේ පමණක් උපාධිධාරීන් 51,000කට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබාදී තිබෙනවා. ඔවුන් ස්ථිර කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා.

රාජ්‍ය කළමනාකරණ සේවයට පසුගිය වසරේදී 5062ක් බඳවා ගත්තා. භාෂා පරිවර්තක සේවයට 212ක් බඳවා ගත්තා. කාර්යාල කාර්ය සහායක, රියදුරු ආදී වෘත්තීන් සඳහා 1600කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගනු ලැබුවා. ඉංජිනේරු සේවා අංශයට ඉංජිනේරුවන් 139ක් බඳවා ගනු ලැබුවා. ග්‍රාම නිලධාරීන් 4000ක් සඳහා පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ ළඟදී පැවැත්වුණා. කළමනාකරණ සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා මේ වසරේ 2826ක් බඳවා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට දෙමළ පරිපාලන නිලධාරීන් 43ක් බඳවා ගත්තා. 1980 ජූලි වැඩ වර්ජනය අපට අමතක කරන්නට බැහැ. එජාලය විසින් සෝමපාල සහෝදරයා ඝාතනය කළා. සේවකයින් 40,000ක් ගෙදර යැව්වා. මේ නිසා දරු පවුල් ලක්ෂ 2ක් අනාථ වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී රාජය පරිපාලන චක්‍ර ලේඛන 44/90යටතේ සුළු වන්දියක් ලබාදී රාජ්‍ය සේවකයින් විශාල ගණනක් විශ්‍රාම යැව්වා.

2001 - 2004 පාලන සමයේදී යළි පුබුදමු වැඩසටහන යටතේ ලක්ෂ 08ක් වූ රාජ්‍ය සේවය හකුළුවාලීමට සැලසුම් කළා. කළමනාකරණ සේවා චක්‍රලේඛ 2001/16 යටතේ රාජය සේවයට බඳවා ගැනීම් සම්පූර්ණයෙන් නතර කළා.

රාජ්‍ය අංශය සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදී අහිංසක විශ්‍රාම වැටුප අහිමි කළා. පාඩු ලබන රාජ්‍ය ආයතන අඩු වටිනාකම්වලට තම හිතවන්ට ලබාදිමට එජාපය සැලසුම් කළා. රාජ්‍ය ආයතන බොහොමයක් පෞද්ගලිකරණයට යෝජනා කර තිබුණා.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ 2012 අය වැය මඟින් රාජය සේවකයන්ට සහන රැසක් ලබා දුන්නා. රාජ්‍ය සේවයට හා ආරක්ෂක අංශවලට සියයට 10ක් වැටුප් වැඩි කිරීම, මාණ්ඩලික සේවකයින්ට සියයට 10 වැටුප් වැඩිකිරීම, ඇතැම් රාජ්‍ය සේවකයින්ට ගමන් දීමනා ලබාදීම ඉන් කිහිපයක්. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා ක්ෂේත්‍ර මට්ටමින් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට මෝටර් බයිසිකල් ලබාගැනීමට සහන ලබාදී තිබෙනවා.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා 2012 වසරට රුපියල් මිලියන 3800ක් ඇස්තමේන්තු කර තිබෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු විශේෂ දීමනා ලබාදී තිබෙනවා.

ඒ වගේම 2013 අය වැය මඟින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලක්ෂ 13ක් ඉක්ම වූ රාජ්‍ය සේවයේ වැටුප් ලබාදීම සඳහා 2013 වසර වෙනුවෙන් රුපියල් බිලියන 366වෙන් කර තිබෙනවා. 2005 වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා වෙන් කර තිබුණේ රුපියල් බිලියන 139ක් පමණයි. රාජ්‍ය සේවකයින්ට මසකට ලබාදෙන ජිවන අංක දීමනාව රුපියල් 1,500කින් වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ වාරිකය රුපියල් 125ක් ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

විවාදය නිමාවිය.

පාර්ලිමේන්තුව ඔක්තෝබර් මස 08 වැනි දින පස්වරු 1.00 යළි රැස්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා