උතුරු නැඟෙනහිරින් 80%ක් රනිල් එදා එල්ටීටීඊයට බාර දුන්නා

උතුරු නැඟෙනහිරින් 80%ක් රනිල් එදා එල්ටීටීඊයට බාර දුන්නා

 ඇමැති එස්.බී.දිසානායක

මුස්ලිම් ලෝකය විනාශ කළ ඇමරිකාවත් එක්ක හිට ගත්ත රනිල්ට අපේ මුස්ලිම් ජනතාව එකතු වන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයෙන් පලස්තීන ජනතාවට පහර දෙන විට මෙන්ම අමෙරිකාව ඉරාකයට පහර දෙන විටත් ඊට විරුද්ධව නැඟී සිටි නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද දිසානායක මහතා කීවේය.

මුස්ලිම් ලෝකයේ සමූල ඝාතනයක් කරන අමෙරිකාවත් එක්ක එකතු වෙන්න මේ රටේ මුස්ලිම් ජනතාවට අයිතියක් නැතැයි ද ඒ මහතා කීවේය.

මහනුවර හාරගම පැවැති ජන හමුවකට සහභාගී වෙමින්ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදි දිසානායක මහතා මෙසේද කීවේය.

ඉරාකය, ලිබියාව අමුමිනී පාරේ ගඳ ගහන කුණු වන සොහොන් පිටි බවට පත් කළේ අමෙරිකාවයි. එවැනි තත්ත්වයක් යටතේ අමෙරිකාවත් එක්ක හිටගත්ත රනිල් වික්‍රමසිංහත් එක්ක අපේ මුස්ලිම් ජනතාව හිටගන්නේ කොහොමද?

අද මරණ බිය නැහැ. පාසලට දරුවා යවන්න බය නැහැ. කෝච්චියක යන්න බය නැහැ. ඒ මරණ බය ඉවත් කරගෙන අපි නිදහසේ ජීවත් වෙනවා. ඔවුන්ගේ විකල්ප ඊලාම් රාජ්‍යය මහා බිතාන්‍යය හදලා ඉවර බව අමතක කරන්න එපා.

පසුගිය දවස්වල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු යාපනයෙන්, මඩකළපුවෙන්, පේරාදෙණියෙන් සහ සබරගමුවෙන් ඇවිත් දෙමළ භාෂා සංවර්ධනය පිළිබඳ වැඩමුළුවකට යන්න මගෙන් උදව් ඉල්ලුවා. මම අත්සන් කරලා දුන්නා .

මේ හතර දෙනා ඊලාම් සමුළුවකට සහභාගී වුණා කියලා මට දැන ගන්නට ලැබුණා. අවස්ථාව ලැබුණු පළමුවෙනි මොහොතේම නැවත මේ රටේ යුද පිටියක් කරන්න අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල සිටින කොටි සූදානමින් සිටින බව අමතක කරන්න එපා. එහෙම තිබෙද්දි අපි රනිල්ට මේ රට බාර දෙන්න හදන්නේ.

එදා රනිල් තාවකාලිකව උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් සියයට 80ක් එල්.ටී.ටි.ඊයට බාර දුන්නා. එල්.ටී.ටී.ඊ සමඟ සාම සාකච්ඡා අත්සන් කළා. මේ ගිවිසුම අත්සන් කරන්න රනිල්ට ප්‍රභාකරන් වවුනියාවෙන් එහාට යන්න දුන්නේ නැහැ.

ප්‍රභාකරන් කිලිනොච්චියේ ඉදලා රනිල්ට කිව්වේ වවුනියාවට ඇවිත් පාර අයිනේ මේසයක් තියාගෙන අත්සන් කරපන් කියලයි. එහෙම තමයි කළේ. එහෙම කරලා නෝර්වේ නියෝජියන් අතේ තමයි කිලිනොච්චියට ඇරියේ. අපි ඒ ප්‍රභාකරන්ගේ රාජධානියේ අද යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කෘෂිකර්ම පීඨය ගොඩ නඟමින් ඉන්නවා.

මේ ශ්‍රී ලංකාවද එක්සත් ජාතික පක්ෂයට දෙන්න හදන්නේ. එදා තාවකාලික ව උතුරු නැඟෙනහිර ප්‍රභාකරන්ට භාර දෙන කොට, උතුරේ දෙමළ ජනතාව, එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු මෙන්ම, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සියලු දෙනා රනිල්ට කිව්වා මුස්ලිම් ප්‍රදේශ දෙන්න එපා කියලා. රනිල් ඒවා ඇහුවේ නැහැ. රනිල් ප්‍රභාකරන්ට ඒවා දුන්නා. ‍‍රටේ සංවර්ධනය වේගයෙන් වැඩි වේගෙන යනවා.

දැන් අපි වේගයෙන් නැගිටින්න උත්සහ කරනවා. එසේ නැගිටින කොට සංක්‍රාන්ති අවධියේ ජීවන බර ජනතාවට තදින් දැනෙනවා. ජීවත් වෙන්න බැහැ. ‍ඉවසුවා ඇති . මේ රජය පෙරළමු ආදී නොයෙක් කතා කියනවා.

නමුත් ජනතාව හොදින් දැනුවත් වෙලා ඉන්නවා. අද උගත් තරුණයාගේ ශක්තිය තේරුම් ගත්ත රාජ්‍ය නායකයෙක් රාජ්‍ය පාලනය කරනවා. සියලු දෙනා මේ අවස්ථාවේ රජය සමඟ එක්ව කටයුතු කළ යුතු වෙනවා. එසේ රජය ශක්තිමත් කිරීමෙන් රටේ අනාගතය ශක්තිමත් කළ හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂ ස්වර්ණමාලී, පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා