ශ්‍රී ලංකාවේ දුම්වැටි දැන්වීමේ ආදර්ශය තායිලන්තයේත් ක්‍රියාවට නැංවුවා

ශ්‍රී ලංකාවේ දුම්වැටි දැන්වීමේ ආදර්ශය තායිලන්තයේත් ක්‍රියාවට නැංවුවා

තායිලන්ත සෞඛ්‍ය ඇමැති කියයි

දුම්වැටි අසුරණවලට රූපමය අවවාදය ඇතුළත් කිරීමේ ශ්‍රී ලංකා ආදර්ශය අනුව යමින් තායිලන්තය ද එය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කර තිබෙන බව තායිලන්ත සෞඛ්‍ය ඇමැති ප්‍රාජිත් සින්තාවනරොන් මහතා ප්‍රකාශ කළේය.

ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවලට ඉමහත් තර්ජනයක් ලෙස පවතින දුම්කොළ කර්මාන්තයට එරෙහිව කටයුතු කිරීම පහසු කාර්යයක් නොවන බව පැවසූ ඇමැතිවරයා දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කර ඇති බවත් පැවැසීය.

තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ‍ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනැමූ දුම්කොළ විරෝධී ජගත් විශිෂ්ටතා සම්මානය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාර දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (03) පැවැති උත්සවයට එක්වෙමිනි.

දුම්කොළ භාවිතයෙන් ජනතාව ‍ගලවා ගැනීම උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන පුද්ගලයන් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සම්මානය වාර්ෂිකව ප්‍රදානය කරන අතර දුම්වැටි අසුරණවලට රූපමය අවවාද ඇතුළත් කිරීම නීතිගත කරමින් ඇමැතිවරයා පසුගිය වසරේ කරන ලද මෙහෙවර ඇගයීමක් වශයෙන් මෙම සම්මානය ප්‍රදානය කර ඇත.

සෞඛ්‍ය සේවය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීමක් වශයෙන් අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය පිරිනැමූ සම්මානය ද කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩබ්ලිව්. කේ. හිරිඹුරේගම මහතා ඇමැතිවරයා වෙත පිරිනැමුවේය.

දුම්කොළ විරෝධී ජගත් විශිෂ්ටතා සම්මානය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළ ජනාධිපතිවරයා සිය සුබපැතුම් ද පිරිනැමුවේය. උලෙළේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා විසිනි.

දුම්කොළ භාවිතය නිසා ලොව පුරා වසරකට මිනිසුන් මිලියන 6ක් පමණ මිය යන බව මෙහිදී ප්‍රකාශ කළ තායිලන්ත සෞඛ්‍ය ඇමැති ප්‍රාජිත් සින්තාවනරොං මහතා මෙම ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට ලොව සෑම රටක්ම දැඩි වෙහෙසක් දරන බවත් ඒ අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් කීවේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය අවම කිරීමට අප්‍රහිත ධෛර්යකින් යුක්තව කටයුතු කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ දුම්කොළ විරෝධී ඒකකයේ ප්‍රධානී ආමන්දෝ පෙරූගා මහතා ප්‍රකාශ කළේය.

දුම්වැටි අසුරණවලට රූපමය අවවාද ඇතුළත් කිරීමට ඇමැතිවරයා කළ මෙහෙවර අගය කළ පෙරූගා මහතා, ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තයෙන් එල්ල වූ විවිධ අභියෝග හමුවේ ඇමැතිවරයා ඒ වෙනුවෙන් නොබියව දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කළේය.

ලෝකය හමුවේ විශාල තර්ජනයක්ව පවතින දුම්කොළ කර්මාන්තය නිසා සෑම තප්පරයකටම වරක් මිනිසෙක් මිය යන බව කී ඒ මහතා, ශ්‍රී ලංකාවේ ද මෙම උවදුරින් වාර්ෂිකව 12000ක් පමණ මිය යන බව පැවැසීය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂයත් මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා