යුද අත්දැකීම් නොසලකා හදන පිල්ලේ නෝනාගේ වාර්තාව විනිවිද බවෙන් තොරයි

යුද අත්දැකීම් නොසලකා හදන පිල්ලේ නෝනාගේ වාර්තාව විනිවිද බවෙන් තොරයි

තිස් වසරක් පැවති කුරිරු ත්‍රස්තවාදය පිළිබඳ අත්දැකීම් හෝ විධිමත් අධ්‍යයනයක් නොකර සතියක් මෙරට ගත කර නවනීදන් පිල්ලේ මහත්මිය සකසන මානව හිමිකම් වාර්තාවේ විනිවිදභාවය සම්බන්ධව බරපතළ සැකයක් මතුවන බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.

කෝටි දෙකක් පමණ වන මෙරට ජනතාවට ත්‍රස්තවාදය පිළිබඳ ඇත්තේ විවිධ අත්දැකීම් බවත් ඔවුන් සියල්ල අමතක කැර තමන්ට අවශ්‍ය පිරිසක් පමණක් හමුවී සකසන වාර්තාව අපක්ෂපාතී එකක් වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

යටිනුවර පිළිමතලාව ඌරාපොළ ධර්මාලෝක අභයරාජ පිරිවෙන් ශාලාවේ පැවති ජනහමුවකදී අගමැතිවරයා මේ බව කීවේය.

ත්‍රස්තවාදය නිසා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් විශාල පිරිසක් ජීවිත වලින් වන්දි ගෙවූ බවත් ඔවුන්ගේ මානව හිමිකම් අමතක කර මානව හිමිකම් කඩ කිරීමට පාර කැපූ අයගේ මානව හිමිකම් ගැන කතාකරමින් ඒ පිළිබඳ වාර්තා සැකසීම හාස්‍යයට කරුණක් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කෙරෙන මේ දිවයිනට ඕනෑම මොහොතක ඕනෑම අයෙකුට පැමිණ රටේ තත්ත්වය පිළිබඳ කරුණු විමසීමේ අවකාශ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදාකරදී තිබෙන බවද හෙතෙම කීය.

මාවිල්ආරු වලින් ආරම්භ කළ මානුෂිය මෙහෙයුමේ සිට නන්දිකඩාල් දක්වා පැමිණි ගමනේදී ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට ‍ගොදුරුව මියගිය සිවිල් වැසියන් හා රණවිරුවන් පිල්ලේ මහත්මියට අමතක වීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා පැවසීය.

වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක යන මහත්වරුද මෙහිදී කථා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා