‘පිල්ලේගේ ප්‍රකාශයේ කරුණු 6ක් ගැන ස්තූති කළ යුතුයි’

‘පිල්ලේගේ ප්‍රකාශයේ කරුණු 6ක් ගැන ස්තූති කළ යුතුයි’

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ ප්‍රකාශයේ කරුණු 6ක් පිළිබඳ ඇයට ස්තූතිවන්ත වන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, එල්.ටී.ටී.ඊය ම්ලේච්ඡ මිනීමරු සංවිධානයක් බව, උතුරේ ප්‍රතිසංවිධාන කටයුතු , උතුරු මැතිවරණය පැවැත්වීම, යොවුන් පාර්ලිමේන්තුව ආදිය ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන බව ඇමැතිවරයා කියා සිටියේය.

එහෙත් එතුමිය ඉදිරිපත් කළ ඇතැම් කරුණු රජය පිළිනොගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

නවනීදන් පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවීම තුළින් ද රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පණිවිඩය ලෝකයාට ලබාදෙන බවද අලහප්පේරුම මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ කීවේය.

රජයේ අධිකාරියක් හෝ ඒකාධිකාරියක් ගැන පෙන්වීමට ඇතමුන් උත්සහ කළද, වත්මන් රජය එවැන්නක නිරත වන්නේ නම් පිල්ලේ මහත්මියගේ පැමිණිම වැළැක්වීමට හැකිව තිබුණ බව හෙතෙම පැවසීය.

ඇමැති මර්වින් සිල්වා මහතා විසින් තමන් නවිනීදන් පිල්ලෙයි මහත්මිය විවාහ කර ගැනීමට කැමති බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවයා කියා සිටියේ එකී ප්‍රකාශය පිළිබඳව පෞද්ගලිකවත්, ඇමැති මණ්ඩලය වෙනුවෙන් තමන් කනගාටුව ප්‍රකාශ කරන බවයි.

නවනීදන් පිල්ලෙ මහත්මිය තමාගේ මෑණියන්ට වඩා වයසින් අඩුවන්නේ වසර දෙකක් වැනි කෙටි කලක් පමණක් බවත් , එවන් කෙනකුට එවැනි යෝජනාවක් කිරීම අනුමත නොකරන බවත් ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා