ප්‍රතිපත්තියක් නැති එජාපය ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැහැ

ප්‍රතිපත්තියක් නැති එජාපය ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැහැ

- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය විවිධාකාරයි. අද ඔවුන් තැන තැන මානව හිමිකම් ගැනත් කතා කරන්නට පටන් ගෙන තිබෙනවා. නමුත් එදා මේ රටේ තරුණයන් මරා දැමූ ආකාරය ජනතාවට හොඳින් මතක තිබෙනවා යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගලදී පැවැසීය.

වයඹ පළාත් සභා අපේක්ෂක අසංක නවරත්න මහතාට සහයෝගය පළ කිරීම සඳහා කුරුණෑගල පැවැති එ.ජ.නි.ස. රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.

අද එක්සත් ජාතික පක්ෂය උතුරට ගිහින් එකක් කියනවා. වයඹට ඇවිත් තවත් එකක් කියනවා. කඳුරටට ගිහින් වෙන එකක් කියනවා. ඒ අයටම ප්‍රතිපත්තියක් නැහැ. එවැනි පක්ෂයක් ජනතාව විශ්වාස කරනනේ කෙසේදැයි නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රශ්න කළේය.

ජාත්‍යන්තර වශයෙන් මේ රට පාවා දෙන්නට කටයුතු කළ ර‍ටේ රණවිරුවන්ව පාවා දෙන්නට කටයුතු කළ පක්ෂයකට ජනතාව කවදාවත් ඡන්දය දෙන්නේ නැහැ. ‍රටේ උපාධිධාරීන්ට රැකියා දුන්නේ මේ රජයයි. අධ්‍යාපනය නංවාලීමට කටයුතු කළේ මේ රජයයි. මහින්දෝදය විද්‍යාගාර දහසක් අද රටපුරා ඉදිවූයේ රජයේ වැඩපිළිවෙළ මතයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මහා සංවර්ධනයක් අද දක්නට ඇත්තේ වත්මන් රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළ තුළිනුයි. ජනතාවට ලැබී ඇති සහනද විශාලයි.

යුද බියෙන් ඔවුන් නිදහස් කළේ මේ රජයයි. කළ ගුණ දන්නා මේ රටේ ජනතාව කිසිදිනක මේ රජය අමතක නොකරන බව ද නාමල් රාජපක්ෂ මහතා එහිදී කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා