ඇතැම් පක්ෂවල ප්‍රතිපත්තිය වාද වපුරා රට බේද භින්න කිරීමයි

ඇතැම් පක්ෂවල ප්‍රතිපත්තිය වාද වපුරා රට බේද භින්න කිරීමයි

- ඇමැති ඩලස් අලහප්පෙරුම

මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවු එකම ප්‍රකාශනය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පේරුම මහතා පැවසීය.

අනෙක් සෑම පක්ෂයක්ම සිය ප්‍රකාශන මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් කරමින් ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙමින් බවද හෙතෙම කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට වු පොරොන්දු මේ වන විටත් ඉටුකර ඇති බව පවසන ඒ මහතා ඉතිරියද ඒ අයුරින්ම ඉටු කරන බව පැවසීය.

ඇතැම් පක්ෂ සිය මැතිවරණ ප්‍රකාශන හරහා ජාතිවාදය, ආගම්වාදය වැපිරීමට උත්සාහ ගනිමින් සිටින බවත් එවැනි දේ කර යළි රට බේදබින්න නොකරන ලෙසත් ඇමැතිවරයා කීවේය.

දෙමළ ජාතික සන්ධානය මෙවර මැතිවරණ ප්‍රකාශනය මඟින් උතුරු නැ‍ඟෙනහිර එක්කාසු කරන්නැයි යෝජනා කර තිබෙන බවත් ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා කියා සිටියේ තවමත් තමන් එම ප්‍රකාශනය අධ්‍යනය නොකර ඇති බවත් එම නිසා ඒ ගැන යමක් කීමට නොහැකි බවය.

කවුරු කුමන දේ ප්‍රකාශ කළද මෙරට යළි දෙකඩ කිරීමට වත්මන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ඉඩ නොදෙන බවත් මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනාතාවට බෙදාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවුඩයේ එය සඳහන් කර ඇති බවත් අලහප්පේරුම මහතා ප්‍රකාශ කළේය.

එම නිසා විපක්ෂයේ පක්ෂ නිකුත් කරනු ලබන මැතිවරණ ප්‍රකාශන ගැන ඒ තරම් තැකීමට අවශ්‍ය නැති බවද කීවේය.

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩි. ජේ සෙනවිරත්න, ඩිලාන් පෙරේරා මහත්වරුන්ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා