ඇෆ්ගනිස්තානයට පරාජයවූ ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමියි

මැද පෙළ ක්‍රීඩකයෙක් බ්‍රසීල ජාතික පුහුණුකරු සමග ගැටුමක

ඇෆ්ගනිස්තානයට පරාජයවූ ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමියි


ඇෆ්ගනිස්තාන පිලේ මොහොමඩ් රෆීල් නරඹන්නන් මවිත කරමින් කෝනර් පහරකින් ලබාගත් ගෝලය දැල තුලට යන අයුරු. ඡායාරූප-ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මකවූ ඇෆ්්ගනිස්තානය සමග තරගයෙන් ගෝල් 3-1ක පරාජයක් ලැබීය.

තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් අනිවාර්යෙන්ම ජයගතවූ මේ තරගයේදී ශ්‍රී ලංකාවට සතුටුදායක ප්‍රථීපල අත්නොවීම හේතුවෙන් තරගයක් ඉතිරිව තිබියද අවසන් පූර්ව වටයේ බලා‍පොරොත්තු අහිමි කර ගැනීමට සිදුවිය.

මෙතෙක් සහභාගීවූ තරග දෙකෙන්ම ශ්‍රී ලංකා පිල පරාජයවීම මෙයට හේතුව වේ.

මේ අතර ඊයේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ මැද පෙල ක්‍රීඩක චතුර ගුණරත්නට බ්‍රසීල ජාතික පුහුණුකරු ලබාදුන් උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් තරගය නිමාවී බහින් බස්වීමක් ඇති විය. පුහුණුකරු සමග එකට එක කියමින් හැසිරීම පිළිබඳව කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන්ගේ දෝෂ දර්ශනයටද ක්‍රීඩකයා ලක්විය.

ශ්‍රී ලංකාව හා ඇෆ්්ගනිස්තානය අතර කත්මන්ඩු නුවර හැල්චොක් සන්නද්ධ හමුදා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතා හොඳින් මුල් භාගයේ තරගයට අවතීර්ණවූ අතර දෙවැනි භාගයේදී ඇෆ්්ගනිස්තාන ක්‍රීඩකයින් හමුවේ පසුබැසීමට ලක්වූහ.

එය මනාව ඔප්පු වූයේ දෙවැනි භාගයේ වැඩිම වේලාවක් ඇෆ්ගන් ක්‍රීඩකයන් තුළ පන්දුව රැදී තිබීමය.


පරාජයේ වේදනාව දරාගත නොහැකිව ලතවෙන ශ්‍රී ලංකා පුහුණුකරු

තරගයේ 36වැනි මිනිත්තුවේදී මොහොමඩ් ෆසාල් ඉදිරියට ගෙන එන පන්දුව ඇෆ්්ගනිස්තාන ගෝල් රකින්නා සීමාවෙන් ඉවතට පැමිණ රැක ගැනීමට උත්සහ ගනිද්දී උපක්‍රමශීලීව ගෝලය වෙත සෙමින් තල්ලුකර 1-0ක් කරමින් කණ්ඩායම නිවැරදි මාවතකට යොමු කළේය.

තරගයේ පළමු භාගයේදී ශ්‍රී ලංකාව එලෙස ඉදිරියෙන් සිටියද විවේක කාලයේදී ක්‍රීඩාගාරයේදී සැකසූ නව සැලැස්මක් අනුව දෙවැනි භාගයේ ආරම්භයේ සිටම ආරක්ෂාව නොව ආක්‍රමණය හා දැඩි ප්‍රහාර ගැන ඇෆ්්ගන් ක්‍රීඩකයෝ විශ්වාසය තබා තිබුණු අයුරු දක්නට ලැබුණි.

කඩි ගුලක් ඇවිස්සුනාමෙන් දෙවැනි භාගයේදී ක්‍රීඩා කළ ඇෆ්්ගනිස්තාන ක්‍රීඩකයෝ තරගයේ 55වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් ලබාගත්තද එය අසාර්ථකවීමෙන් ආපස්සට නොගියහ. ගෝල් රකින්නාගේ සීමාව ඇතුළතදී මොහොමඩ් සමීර්ගේ අතේ පන්දුව වැදීමෙන් එම දඩුවම් පහර පිරිනැමුණි.

ගෝල් රකින සුජාන් පෙරේරා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වමින් එම ගෝලය වැලැක්වීම ශ්‍රී ලංකාවට තවත් ධෛර්යයක් කරගත යුතු වුවද, 62 වැනි මිනිත්තුවේදී ඇෆ්්ගනිස්තාන පිලේ මොහොමඩ් රෆීල් නරඹන්නන් මවිත කරමින් කෝනර් පහරක් ගෝලය තුලටම යොමු කළේය.

76 වැනි මිනිත්තුවෙදී යාර 30 සීමාවේ සිට හරූන් ෆුක්රුඩීන් එල්ල කළ ලෝක මට්ටමේ සුපිරි පහරින් ගෝල් 2-1ක් ලෙස ඇෆ්්ගනිස්තානය ඉදිරියට පැමිණියේය.

ගෝලය ලැබූ ෆුක්රුඩීන් ක්‍රීඩාංගණය වටා දිවගොස් ප්‍රීතියෙන් ඉපිල යන තම සතුට පළ කළේය.8 6වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලේ ක්‍රීඩකයින් නොමඟ යවමින් ඇෆ්්ගනිස්තානයේ හස්මතුල්ලා තවත් ගෝලයක් රැස්කර අවශ්‍යම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

කෙසේවුද ශ්‍රී ලංකා පුහුණුකරු ක්ලෝඩියෝ සිල්වේරා පැවැසූවේ දෙවැනි පරාජයෙන් ලද මේ තත්ත්වය මත ඉදිරියේදී පාපන්දු සම්මේලනය තමා පිළිබද කුමන තීරණයක් ගත්තද එය සතුටින් භාර ගැනීමට සදානම් බවයි. “මේ ක්‍රීඩකයින් තවමත් තරුණ අවධියේ සිටින අය.

අපට වඩා ඇෆ්්ගනිස්තානයේ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළා. අපේ ක්‍රීඩකයින් දක්ෂ වූවත් පළපුරුද්ද අතින් ඇෆ්්ගන් ක්‍රීඩකයින් ඉදිරියෙන්” බ්‍රසීල ජාතික පුහුණුකරු පැවැසීය. ශ්‍රී ලංකාව හා භූතානය අතර පළමු වටයේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතය.

මාලදිවයිනට තවත් දැවැන්ත ජයක්

මාලදිවයින හා භූතානය අතර ඊයේ රාත්‍රියේ නිමාවූ තරගයෙන් මාලදිවයිනට ගෝල් 8-2ක විශිෂ්ට ජයක් අත්විය. මාලදිවයින් නායක අලි අෂ්ෆාක් ගෝල් 4ක් වාර්තා කිරීමට සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා