සැමට සෙවන දෙන මහා වනස්පතිය

සැමට සෙවන දෙන මහා වනස්පතිය

“අපේ අතිගරු ජනාධිපති තුමාණන්ට” “අපේ ආදරණීය මහින්ද මහත්තයාට” නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කරමු. එතුමා ගේ ජීවන මගේ උපන් දිනය ද ජනතා සේවයේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවැනි යුගයේ උපන් දිනය ද යෙදී තිබෙන්නේ එක ම ළඟ එකට සමීපව එකට එක්ව වීමත් මේ පැතුමට හේතු කාරණා වන්නේ ය. එතුමාට එසේ අප සුබ පතන්නේ රටට ජාතියට ලෝකයට එතුමා කළ මෙහෙ ය මෙන් ම කරන්නට තව බොහෝ දේ ඇති නිසා ය. ලෝක නායක තලයේ ඉතා ම උසස්, ඉහළ ම තැනට අප දිවයින ඔසවා තැබීම නිසා ය. ප්‍රදේශවාදයෙන්, දූපත් මානසිකත්වයෙන් අප රට ගලවා ගෙන ජාත්‍යන්තර තලයේ උසස් තැනකට කැඳවා ගෙන යෑම නිසා ය.

එතුමා ගැන කියවී ඇති දේ බොහෝ ය. එමෙන් ම නොකිය වී ඇති දේ ද එසේ ම ය. කියන්නට ඇති දේත්, කිව යුතු දේත් තව කොතෙකුත් ඇත. මේ උත්සාහයේ දී අප ගැන ද කියන්නට වෙයි. එසේ නොකීවත් එතුමා ගැන කියන විට අප ගැන නිකම්ම කියවෙයි. පරසතු මදාරා අතපත ගාන දෙව්වරුන් ළඟ ද සුව ඳ රැෙඳයි ජාතික පුෂ්පය වූ නාමල මෙන් ම අනෙකුත් සුවඳවත් මල් අත දරා සිටින්නන් කෙරේ ද සුවද දැවටෙයි. හඳුන් හරයක් කර තබා ගත් චන්දන අරටුවක් අත දරා සිටින්නා ද එසේ පුස්ඹ ගසයි.

මේවා ගත සිත දවටා නෙගෙන ආශ්වාදයෙන් පමණක් පිම්බී කෙසේ කරන්නද? රාජපක්‍ෂ වතගොත සොයන්නටත් ඒවා ලියා දන්වන්නටත් අප මහන්සි ගන්නා විට රාජපක්‍ෂ ගැත්තෙකු වන්දි භට්ටයෙකු ලෙස හතුරන්ගේ අවමන්වලට අප ගොදුරු කරන්නට වළි කෑ පිරිස් දැන් අඩු වී ඇත. අප ගත් උත්සාහයන් ද හේතු කොටගෙන සාහිත්‍යයක් බිහිවීමට මං පෙත් විවර වී ඇත.

ආදරණීය මහින්ද මහත්තයා

අතිගරු ජනාධිපතිතුමා ගේ දෑත් ශක්තිමත් කරන්නට යැයි කියා ගෙන පැමිණි අයත් එතුමාට ජීවය ලබා දෙන්නට යැයි කියාගෙන පැමිණි අයත්, එතුමා ගේ ප්‍රතිරූපය ගොඩ නගන්නට යැයි කියාගෙන පැමිණි අයත් බොහෝ ය. එතුමා දැන් ඉන්න තැනට ඇදගෙන ආවේත්, තල්ලු කරගෙන ආවේත්, උස්සාගෙන ආවේත් වඩා හිඳුවා ගොඩ නගාගෙන ආවේත් රැකබලා ගත්තේත් තම තමන් යැයි වගාඩම්බර දොඩන්නන් ප්‍රලාප කියන්නන්, පුරසාරම් දෙසා බාන්නන් වැහි වැහැලා ය. ඒ හැමෝ ම තම තමන් එතුමාට ලබා දෙනවා යැයි, ලබා දුන්නා යැයි කියන සියලු දේ ලබා ගත් හා තව දුරටත් ලබාගන්නා අය වෙති. ඒ ඇත්තෝ සදා නොනිමෙන දොළොස් මහේ පහනට තෙල් බිඳුවක් එකතු කරන අය නොවන්නෝ ය. ඒ පහනෙන් තෙල් අරගෙන තම තමන් ගේ පහන් පත්තු කරගන්නා අය වන්නෝ ය.

එතුමා ගේ දෑත් දෙපා පමණක් නොව මුළු ශරීරයම මුළු ආත්මයම ගත සිත එහෙම පිටින් ම ශක්තිමත් ය. ඒවායේ අඩු පාඩුවක් කීමට තිබුණේ ම නැත.

අපේ ආදරණීය මහින්ද මහත්තයා තනතුරු සොයා වැඩ නොකළේ ය. නායකයෙක් වෙන්න පිඹුරු පත් හදාගෙන ඒවා ඔතාගෙන පතාගෙන හිතා මතා වැඩ නොකළේ ය. එතුමා බොහෝ දේ ගෙනාවේ ජන්මයෙනි. ඒ සියල්ල වැඩී ගියේ මවු පිය සහෝදර සෙනෙහසිනි. නිර්ව්‍යාජ ගැමියන් ගේ ආශිර්වාදයෙනි. මනුස්සකම උතුරා ගිය ළෙන්ගතුකම උරුමයෙන් ලද ගුණ යහපත්කම එතුමාගේ ගමන් මඟ තීරණය කළේ ය. මේ මල් වට්ටියට අත ගසා දායක වූවෝ බෙහෝ ය. පින් රැස්කර ගත්තෝ ද එසේ ය. එය නොනැසෙන සත්‍යයකි.

කළුවර, නා, පනා, හඳුන්, කොස්, දෙල්, බුරුත වැනි වූ හරවත් පලවත් සුවඳවත් වෘක්ෂයන් ද බෝ, නුග, වැනි අතු පතර විහිදී ඇටුවන් බැසි වෘක්ෂයන් ද එකතු වූ මහා වනස් පතියක් සේ එතුමා ගේ රුව ගුණ වරුණ වැඩී ගියේ ජනතා සේවය නිසාවෙනි. ප්‍රශ්නයක දී තමා ඉදිරිපත්ව දුන් සාර්ථක පිළිතුරු ගත් ක්‍රියාමාර්ග කැපවී ඉටු කළ මෙහෙවර මෙතුමා මේ ගමන් මගට ගෙනාවේ ය. ඒ එතුමාට ආවේණික වූ එතුමා ගේම ක්‍රමවේදයකට අනුව මෙහෙය වූවකි. ඒවා අනාගතයේ තමා ලබා ගත යුතු තනතුරු ප්‍රශංසා කීර්තිය පතාගෙන එයට සැලසුම් හදාගෙන න්‍යාය පත්‍රයකට කටයුතු කිරීමෙන් ලද්දක් නොවේ.

එතුමාට දර්ශනයක් තිබුණි. ක්‍රියාමාර්ග තිබුණි. ඒවා කාගේවත් න්‍යාය පත්‍ර නොවී ය. වැඩසටහන් නොවී ය. “මට සහාය දෙන්න යැයි මා සමඟ එකතු වන්න යැ”යි කාටවත් ආරාධනා කළේ නැත. කැඳ වූයේ ද නැත. උදව් උපකාර ඉල්ලුවේ ද නැත. පිංසෙණ්ඩු වූයේ ද නැත. එතුමා ගේ ගමන් මගේ නිවැරැදි බව, නිවැරැදි දිශාව තේරුම් ගත් පිරිස් එකතු වූයේ එය ජය මාවතක නැඹුරුවක් දුටු නිසා ම ය.

එතුමා ගැන කියන්න පටන්ගන්න කොට ම අප ගැන කියන්නට වීමෙන් වැලකී සිටින්නට අපට නොහැකි වන්නේ මට දැනෙන්නේ මා දන්නේ කොහොමද කෙසේ ද යන්න කියන්නට සිදුවන නිසා ය. රාජපක්‍ෂවරුන් ගේ සේවය ගැන සොයා බලා බොහෝ දේ ලියා කියා ඇති නිසා අප ගැන එතුමන් ලා ගැන අපේ ඇති සම්බන්ධය ද බොහෝ අයගේ ප්‍රශ්න කිරීම්වලට විචාරයන්ට හේතු වෙයි. මා ඒ පරපුරේ සමීප ඥාතියෙකු දැයි අසන ප්‍රශ්නයට දිය යුතු දිය හැකි එකම උත්තරය ‘නැත’ යන්නයි.

මුළු දිවයිනේ ම මෙන් ම ලෝකයේ ම ජාතී වර්ණ කුල ආදී වර්ග භේදයක් නැතුවම පැතිරුණු විශාල ඥාති පරපුරක් රාජපක්‍ෂ පරපුරට හිටි නිසාත් ගම් ප්‍රදේශයේ පාරම්පරික පැවත එන්නන්ගෙන් පැවත එන නිසාත් අපේ ද ඥාතිකමක් තිබෙන්නට ඉඩ ඇත. එතුමලා ට අපගේ ඇති ලේ ඥාතිකම නම් එතුමාලාගේ ජාතික මෙහෙවරේ දී අප ප්‍රදේශයෙන් පටන්ගෙන ලෝකයට ම විහිදී යන ලෙස ඉටු කළ හා ඉටු කරන මහජන සේවාවෙන් අප පෝෂණය වන නිසා ය. ආශ්වාදය ලබන නිසා ය.

අපේ ආරණීය මහින්ද මහත්තයා හා අප සමකාලීන සමීප මිතුරන් දැයි අසන පැනයට පිළිතුර ද නැත යන්නයි. අපත් එතුමන්ලාත් සම මට්ටමෙන් අප විසින් සලකනු ලැබූ මිතුරු කමක් නොවී ය. එතුමා හා එතුමන් ලා ගැන අප තුළ තිබුණේ ගෞරවනීය ළෙන්ගතු කමකි.

ආදරණීය බැඳීම

ආදරණීය බැඳීමකි. අප කටයුතු කළේ එසේ ය. එය එසේ වුවත් එතුමා අපට සැලකුවේ එතුමාගේ මිතුරෙකු ලෙස යැයි අපට දැනුණ බව සඳහන් කරන්නේ ද එතුමාගේ නිහතමානී කමට ගුණ ගරුක බවට ගෞරවයක් වන නිසා මය.

ලෝකයේ ඉහළ ම නායකයන්ටත් ඉහළින් සිටින අපේ මහින්ද මහත්තයා අපේ අතිගරු ජනාධිපතිතුමා ය. ඒත් එතුමා එදා සිට වසර 40 කට වැඩි කලක් ළඟින් සිට දැන හඳුනාගත් අර අපේ මහින්ද මහත්තයාම ය. හරබර ගැඹුරු සාකච්ඡාවකට, රාජ්‍ය නායක සාකච්ඡාවකට විද්වත් ප්‍රාමාණික බුද්ධිමත් සාකච්ඡාවකට නායකත්වය දෙමින් මුලසුන ගෙන සාකච්ඡා කොට නැගී සිට එයින් මිදී පැමිණි වහාම එතුමා අප ඒ කාලයේ දැන හඳුණාගත් අපේ මහින්ද මහත්තයා ම අපට දකින්නට හැකි ය.

 අපේ මහින්ද මහත්තයා එතුමා ගේ ආදරණීය මවුපිය සහෝදර, සහෝදරියන් ජීවත් වූ මැදමූලන වලව්ව (ඒ කාලයේ අපේ වැඩි හිටියෝ කීවේ එහෙම) පිහිටියේ අප ජීවත් වූ හැදී වැඩුණ ගමට ගම් මුලාදෑනි කොට්ඨාස ලෙස දැක්වූ ගම් දෙකකට යාබඳවයි. එතැන් සිට ම මැදමූලන නිවසේ සිට අපේ මහින්ද මහත්තයා ගේ මහප්පා, ලොකු තාත්තා වූ ඩී. එම්. රාජපක්‍ෂ මැතිතුමාගේ දූ දරුවන් ජීවත් වූ වීරකැටිය කොන්දගල බංගලාව පිහිටියේ තවත් ගම් කීපයක් දුරට ගිය තැන දී ය.

ඩී. ඒ.. රාජපක්‍ෂ මැතිතුමාද එතුමා ගේ අවෑමෙන් අපේ මහින්ද මහත්තයා ද එතුමන්ලා පදිංචි ගම අයිති මුල්ගිරිගල ආසනයට යාබඳ දුරින් පිහිටි බෙලිඅත්ත නියෝජනය කළෝ ය. අප නිවසට මැදමුලන නිවසට වඩා දුරින් පිහිටිය ද කොන්දගල බංගලාව සමඟ අපේ වැඩිහිටියන් වඩාත් සමීප සම්බන්ධතා දැක්වූයේ එය අපට අයත් මුල්ගිරිගල ආසනයේ නියෝජිතයා වූ දිවංගත ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමා නිසා ය.

මවකගෙන් ලබන සෙනෙහසට මිලක් තිබේද...

ඒ එසේ වුවත් අපේ වැඩිහිටියෝ මේ ඩී. ඇම්. හා ඩී. ඒ. යන අයියා මලෝ පවුල් දෙක වෙන් වෙන්ව දෙකක් වශයෙන් නො සැලකුවෝ ය. ඒවා අප මෙන් ම අපේ වැඩිහිටියෝ ද අපේ ම ලෙස සැලකූ හ. ගත සිත මෝරා වැඩී සිටින්නේ මෙන්න මේ සුන්දර වටපිටාව හා පරිසරය ඇසුරේ ය. අප රාජපක්‍ෂවරුන් ගැන දන්නේ විශේෂ පර්යේෂණයකින් හෝ විමර්ශනයකින් හෝ නොව ඉබේටමය. ඒ සියල්ල අපේ වන්නේ ද එසේ ය.

අපේ ගමට ඇළ දොළ ගංගා නොවී ය. පොළොව යටින් උඩට ඉබේ මතු වී ගලා ගිය ‘මිද්දෙනිය බිබුල’ අප ගම මැදින් ආරක් - (දියපාරක්) ලෙස ගලා බැස්ස ද ගිලීීී පිහිනා නාන්න එය ප්‍රමාණවත් නොවී ය. අවුරුදු 14 - 15 තරමේ ළා බාල ගැටවර කොළු නඩයක සාමාජිකයෙකු වු අප නිවාඩු දවස්වලට ගිලී පීනා නාන්න යන්නේ මැද මූලන පසුකර වීරකැටියේ බුද්දියාගම කොන්දගල නිවසට සමීප උඩුකිරිවිලටයි. නාගෙන එන කොට අපට බඩගිනි දැනුණ ම පුරුද්දක් වශයෙන් මැදමුලන වලව්වට යන්නෙමු.

මහසාලේ මහ බත් මේසේ නොවරදවාම කෑම තියෙන වග අප දන්නේ පුරුද්දෙනි. බයිසිකල්වල නැගී යන අප ඒ නිවසේ මිදුලේ පොල් ගහකට බයිසිකල් හේත්තු කර අප කුස්සිය පැත්තෙන් ඇතුළුවීම ද කරන්නේ පුරුද්දට ය. ඒ යන එන සමහර දවස්වලට අපේ මහින්ද මහත්තයත් චමල් මහත්තයත් අනෙකුත් ඇත්තනුත් එතුමන්ලාගේ පියාණන් වන ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාත් මිනිසුන් පිරිවරා ගෙන කතා බහ කර කර සිටිනවා ද අනන්තවත් දැක ඇත.

පන්සලේ මහ නායක හාමුදුරුවන්ට දක්වන ගෞරවයෙන් යුතුව අප වහා ම කා බී පිහිටවන්නේ අපේ මහින්ද මහත්තයාගේ ළෙන්ගතු හිනාවට ද ලක්වෙමිනි. ඒත් අප සමඟ යන කොලු නඩය ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමෙන් මිස වෙන මිතුරු කමක් පයුරු පාසානමක් නොපතාම බැහැරට ඉගිලෙයි. අප නඩය කුස්සිය පැත්තේ කරක් ගසන කොටම ඒ දකින අපේ මහින්ද මහත්තයා ගේ ආදරණීය අම්මා වූ පාලටුවේ මැතිනිය තම දරුවන්ට දක්වන ළෙන්ගතු කමින්ම කියන්නේ “හොරගල් අහුලන්නේ නැතුව ඔය ඉතින් ආව වැඩේ පටන් ගන්න” කියාලයි. ඒ කියන්නේ ඔය තියෙන දෙයක් කාපල්ලායි යන හැඟීමෙනි.

අපේ මහින්ද මහත්තයා ඇතුළු දූ දරුවන් සියල්ලන්ට ම ලැබෙන්නේ මේ මවුගුණ පිය ගුණ දායාදයන් ය. එතුමන්ලා ගේ ගමන් මඟට පිවිසුම හා හැරවුම ලැබෙන්නේ ඒ ජීවයෙනි.

අපේ මහින්ද මහත්තයා ගේ ගමන්මගේ කව්රුත් දන්නා ඓතිහාසික කොළඹ කතරගම පාද යාත්‍රාව ගැන නොකියමි, හැළි වළන් තලා, බෙර තම්මැට්ටම් ගෙන වීදි බැස කළ ජන ඝෝෂා ගැන නොකියමි. මිනිස් දම්වැල් , දේව කන්නලව්, මවු පෙරමුණු මානවහිමිකම් සංවිධාන ක්‍රියාකාරකම් වීදි සටන් ගැන නොකියමි. ඒ ඒවා අඩුවෙන් තක්සේරු කරනා නිසා නොවේ. කව්රුත් දන්නා ඉතිහාසයට එක් වූ ප්‍රසිද්ධ දේ ඒවා වන නිසා ය.

අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ඇති වූ ව්‍යාකූ®ල තත්ත්වය තුළ පැවැති 1960 මාර්තු මැතිවරණයේ දී ඩී. ඒ . රාජපක්‍ෂ මැතිතුමා එතුමාගේ ඥාති පුත්‍ර ලක්‍ෂ්මන් රාජපක්‍ෂ අයියාගේ ද පෙරැත්ත හා පෙළඹවීම ඇතුළුව මහජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට එක්වූ විට එය පියා විසින් නොකළ යුත්තක් සේ දක්වා තර්ක කර රණ්ඩු කර අමනාප වී අවුරුදු 15 ළාබාල තරුණ අපේ මහින්ද මහත්තයා කෑමත් නොකාම නින්දට ගිය බව ඩී. ඒ. මැතිනියගේ වචනවලින් පවසා ඇත. (1976 ඩී. ඒ. 9 වැනි ගුණ සමරු වේ “අභිනන්දන ග්‍රන්ථය)

එහෙත් 1960 ජූලි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තම පියා බෙලිඅත්තට තරඟ කරන විට, අපේ මහින්ද මහත්තයාගේ ඥාති සහෝදරයා වූ ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමා මුල්ගිරිගලට තරඟ කරන විට ඒ රැස්වීම් බලන්නට අපේ පියා සමඟ ගිය විට අපේ මහින්ද මහත්තයා දුව පැන කතා බහ කරමින් ක්‍රියාශීලි වනවා අපට මතක ය. එතුමා ගේ නිවැරැදි තෝරා ගැනීමත්, දේශපාලන ක්‍රියාකාරිත්වයත් අරඹන්නේ එතුමාගේ වයස අවුරුදු 15 දී ය. එතුමාගේ නාමල් පුතු ක්‍රීඩාවෙන් පටන්ගෙන තාරුණ්‍යයට හෙටක් අරඹන්නේ ද එසේම වූ ළාබාල වයසේ දී ය.

1970 මැයි මැතිවරණයෙන් අපේ මහින්ද මහත්තයා ශ්‍රී ලංකාවෙන් ම ළාබාලම මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වී 1970 ජුනි 14 රාජාසන කථාවේ ස්තුති යෝජනාවට හරබර අනාගත දැක්ම සහිත දේශනය එක් කළේය. එවකට විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රශංසාත්මක අනාගත අපේක්‍ෂා සහිත සුබ පැතුම් හිමිකර ගත් කථාවෙන් පසු අපේ කාලයේ වීරයා බවට අප හිත් තුළට මහින්ද මහතා ඇතුළු විය.

1970 ඔක්තෝබර් 01 වන දින මිද්දෙනිය නගරයේ ප්‍රසිද්ධ මහා සභා රැස්වීමක් ශ්‍රී ලංකා තරුණ සංවිධානයේ සභාපති වශයෙන් මා විසින් සංවිධානය කරන ලදී. විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් එම රැස්වීමේ විශේෂ දේශනය ගරු ධීවර අමාත්‍ය ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමා ගෙනි. මුලසුන දරමින් අප දිරිමත් කරමින් ඓතිහාසික සහයෝගය බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ මහින්ද මහත්තයාගෙනි. ඉන් පෙර දුටු තැන සිනාසී වචනයෙකින් දෙකකින් සීමා වූ කථාවකින් වෙන් වූ අප දේශපාලන වශයෙන් ළෙන්ගතු වන්නේඑතැන් පටන් ය. අතිගරු ඇමැති තුමා ජේර්ජ් රාජපක්‍ෂ මැතිතුමා වූ අතර ළෙන්ගතු ආදරණීය මන්ත්‍රීතුමා වූයේ අපේ මහින්ද මහතා ය.

සර්වකාලීන තීන්දු

කුඩා දරුවන්ගේ ජනප්‍රිය රාජ්‍ය නායකයා

අපේ ආණ්ඩුවට අවුරුද්දක් වත් ගත වෙන්නට පෙර ළඳුරු වයසේ ආණ්ඩුවට තර්ජනය කරමින් 1971 සාධාරණ හේතුවක් නැතුවම තරුණ ශිෂ්‍ය කැරැල්ලක් කිසිදා ඇත්දැකිනැති ආකාරයේ භීෂණ අත්දැකීමකට අප ලක් විය. කැරැලි කරුවන් ගේ වෙඩි පහරින් අපේ ගමේ පොලිසියේ රාලහාමි කෙනෙකු ද මිය ගියේ ය. දිස්ත්‍රික්කයේ පොලීසි බොහොමයක් වසා දැමිණි. භීෂණය රජ විය.

ප්‍රදේශයේ ගොවියන් ගේ නිපයුම් අළෙවියට නැවතත් පිටතින් පැමිණි වෙළෙන්දෝ නො ආවෝ ය. මේ නිසා පිටතින් සමූපකාරයට වෙළෙඳ සැල්වලට එන ආහාර බඩු බාහිරාදිය නොගෙනාවෝ ය. සමූපකාර වෙළඳසැල් කැරළිකරුවන් මෙන් ම ඔවුන්ට සහාය දුන් අය ද ඒ අයගේ නමින් වෙනත් අය ද කොල්ලකෑවෝ ය. ඇඳිරි නීතිය නමින් නීතියක් ද හදිසි නීතිය නමින් තවත් නීතියක් ද ක්‍රියාත්මක විය. පැසී තිබුණ කුඹුරුවල ගොයම් කපා පාගා ගැනීම් අත්හිටු විය. පාසැල් ගමන ද අඩාල විය. අමු සොහොනක් ද පාලු පිට්ටනියක් ද තොවිලයක් නටා අවසන් වූ නිවසක් සේ ද මුළු ප්‍රදේශයම මූසල විය.

අපේ මහින්ද මහත්තයා කොළඹ ආවේ ය. තම පියාගේ ද හිතවතෙකු වූ මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මැතිතුමා ද සමඟ එවකට වෙළඳ ඇමැතිව සිටි ටී. බී. ඉලංගරත්න මැතිතුමා හමු විය. එතුමා සමඟ තර්ක කොට විශාල පරිශ්‍රමයකින් ඇති තරම් ආහාර බඩු භාණ්ඩ සතොසෙන් ණයට ලබා ගත්තේ ය. ලොරි හා ආරක්ෂාව හමුදාපති පොලිස්පති හමුවී ලබාගෙන එක් දිනකින් ලොරි පෙරහැරකින් බඩු ගෙනවිත් ලොරි සියල්ල ජංගම වෙළඳ සල් බවට පත්කොට බඩු බෙදාහැරී ය.

පීඩාවට පත් අහිංසක ජනතාවට මෙන් ම පීඩාකාරී කැරළිකරුවන් අතට ද ඒවා යන බව දැන දැන ම ඒ වැඩය හරියට මෙහෙයවීය. බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති වූයේ ද අපගේ මතකයේ හැටියට අපේ මහින්ද මහතා ය. බැසිල් රාජපක්‍ෂ මහතා විලී ගමගේ මහතා ජස්ටින් දිසානායක මහතා ආදීන් ද අපේ මහින්ද මහතා ගේ ක්‍රියාකාරිත්වයේ සෙන්පතියෝ වූහ.

කොටි ත්‍රස්තවාදීන්ගේ කුරිරු යුද්ධයෙන් පිඩාවට පත් ජනතාවට ආහාර හා අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය යැව්වේ කොටින්ට ද ඒවා ලැබෙන බව දැන දැන ය. එදා කළ දේ අදටත් වලංගු වන සර්ව කාලීන තීන්දු තීරණ ගත්තේ ජන්මයෙන් ලද පුරුද්දක් ලෙස ය. වර්තමාන කැබිනට් අමාත්‍ය ලේකම් රජරට විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය ආචාර්ය විලි ගමගේ මහතා එදා බෙලිඅත්ත විවිධ සේවා සමූපකර සමිතියේ මිල දී ගැනීම් භාර නිලධාරියා ය.

කැරළිකරුවන් ගේ විනාශයත් එයින් ජනිත කළ සමාජ තුවාල වණ කැළල් ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලවේග විදේශ වෙළඳාම් හා නියඟය සාගතය ආර්ථික අවපාත ජනිත කල වාතාවරණය – යහපත් චේතනාවෙන් ප්‍රගතිශීලි රජය ගත් තීරණ වල කෙටි කාලීන පීඩනය කරුණු විකෘතිකර දැක්වීම බොරු ප්‍රචාර ආදී වූ නොයෙකුත් හේතූන් නිසා දේශීය විදේශීය විජාතික බලවේගවල අනිටු මෙහෙයවීම් නිසා ජනිත කළ අයහපත් රැල්ලෙන් ජනතාවාදී ආණ්ඩුවට හිමිවූයේ අන්ත පරාජයකි.

ඇති වූ තත්ත්වය තුළ අපේ මහින්ද මහත්තයා 1977 මැතිවරණයෙන් පරදින බව දැනුණත් එතුමා දිනන බවට ඔට්ටු අල්ලා පැරදි මංගල මුද්ද පවා අහිමි කරගනිමින් ඇඳිවත පමණක් රැකගෙන විලී ගමගේ සහ පවුලේ සාමාජිකයින් සියල්ලෝ ම කොළඹ බලා සම්ප්‍රාප්ත වූහ.

මේ ආසන්නයේ දිනක දී තම දේශපාලන උදව්කරුවෙකු ගේ ඥාතියෙකු ගේ මළ ගෙදරකට රාත්‍රියේ ගොඩ වූ අපේ මහින්ද මහත්තයා දේශපාලනය සහ වර්තමාන තත්ත්වය ගැන කතාබහක යෙදුණෝ ය.

විලී ගමගේ සමූපකාරයේ මුදල් ගසා කෑ බවත් පුත්තලමෙන් සිමෙන්ති ගන්න ගත් රුපියල් 80,000 පවා හොරකම් කළ බවත්, ඒ වගේ සමීප පිරිස ගේ නොමනා ක්‍රියා නිසාත් අපේ මහින්ද මහත්තයා පැරදුණ බව ඒ මළගෙදර ප්‍රධානියා ඇතුළු දෙතුන් දෙනෙකුගේ ප්‍රකාශයන් විය.

විලී ගමගේ මහතා ගැන හොඳින් දැන සිටි අපේ මහින්ද මහතා තම සටන් සගයාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ඉදිරිපත් වූයේ මළ ගෙදරක් බව පවා අමතක කොට දණ්ඩෙන් පහර කෑ නාගරාජයෙකු ලෙස යැයි අර්ථ දැක්විය හැකි ය. කිපී පිටවී පැමිණිය ද එය එතුමා අමතක නොකළේ ය. චෝදනා බරපතළ නිසා ඇත්ත සොයන්න වහා ම පසු දින ම ක්‍රියාත්මක විය. සිදුවී තිබුණේ මැතිවරණය ආසන්නයේ මුදල් පුත්තලම සිමෙන්ති සංස්ථාවට බැඳ තිබුණත් ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොවුණු නිසාත් පැවැති දේශපාලන වාතාවරණය නිසාත් භාණ්ඩ සැපයීමේ පමාවක් සිදු වී තිබෙන බවය.

අපේ මහින්ද මහත්තයාගේ හැටි එහෙම ය. චෝදනා නැගූ® අය නිරුත්තර කරමින් සිමෙන්ති තොගය කඩිනමින් ලැබුණි. මන්ත්‍රීකම අහිමි වූ එතුමා නීතීඥයෙකු ගේ භූ®මිකාවේ සේවය ආරම්භ කළේ ය. අපරාධ නඩු මෙන්ම සිවිල් නඩුකටයුතුවල දී මැදිහත් විය. නීතියට වඩා එහි දී එතුමා මුල්තැන ලබා දුන්නේ යුක්තියට හා සාධාරණයට ය.

1987 ප්‍රේමදාස අගමැති යුගයේ දේශපාලන පදනමින් මිනීමරු චෝදනාවක් අපට එල්ල විය. අප ගම් ප්‍රදේශයේ ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරයා ඇතුළු කීප දෙනෙකුට එකම ස්ථානයේ දි කිසිවෙකු විසින් වෙඩි තබනු ලැබීමෙන් බරපතළ තුවාල සිදු විය. තුවාලකරුවන් කට උත්තර ගැනීමට පවා නොහැකි මට්ටමට අසාධ්‍ය වී සිටියේලු. දේශපාලන බලය ද සහිතව පොලීසිය ක්‍රියාත්මක විය. තුවාල කරුවන් ගේ ඥාතීන් ඇසූ දුටු සාක්ෂි ලෙස පැමිණිලි කර අප ප්‍රධාන විත්තිකරු කර තිබුණි.

කාර්යබහුල ජනපි‍්‍රය නීතීඥයෙකු වූ අපේ මහින්ද මහතා හමුවීමට තංගල්ලේ පදිංචි නිවසට යෑමට නොහැකි වූයේ අප අයත් පොලිස් බල ප්‍රදේශය වූයේ තංගල්ල වූ නිසා ය. දුරකථනයකට සම්බන්ධ කර ගැනීම ද අපහසු විය. තංගල්ල වලස්මුල්ල තිස්සමහාරාමය, හම්බන්තොට, රත්නපුර, ඇඹිලිපිටිය ආදී උසාවිවල එතුමා කාර්යබහුල රාජකාරියේ විය. මානව අයිතිවාසිකම් ආදි මානුෂික මෙන්ම දේශපාලන ක්‍රියාමාර්ග නිසා ද එතුමා කාර්ය බහුල විය.

නීතීඥ ඩෙමිව් බණ්ඩාර මැතිතුමා ගේ සහාය ලබා ගැනීමට චමල් රාජපක්‍ෂ යෝ හමුවීමු. එතුමා ගේ ලිපියක් සමඟ බණ්ඩාර නීතීඥ මහතා හමුවීමට ගිය ද නොහැකි විය. කරකියා ගත හැකි දෙයක් නොවූයෙන් අන්දමන්දව කොළඹ බලා පිටත් වීමට පාරේ අයිනේ සිටින අප අසලින් වාහනය නවත්වා අප හමුවට පැමිණියේ රත්නපුර උසාවියට ගොස් ආපසු පැමිණෙන අපේ මහින්ද මහතා ය. තොරතුරු විමසා ඇත්ත තේරුම් ගත් එතුමා පස්වරු 3.00 පමණ වුවත් එතුමා ද මා මෙන් ම දිවා ආහාරය ගෙන නො තිබුණි. එතුමා ගේ වාහනයෙන් ම ඇඹිලිපිටියේ සිට තංගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට අප කැඳවා ගෙන විත් අපට යුක්තිය ඉටුකර දීමට ක්‍රියා කළේ ය. පොලිස් විමර්ශනයෙන් පසු නඩු පොතෙන් අපේ නම ඉවත් විය.

අප ඒ වන විටත් සමීප මිතුරෝ නොවූහ. අසාධාරණයට ලක් වූවන්ට පිහිට වන්නේ එසේ ය. ඒ එතුමාගේ හැටිය. වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්ද අමරවීර මැතිතුමා ගේ ඥාති සහොදරයින් තුන් දෙනෙකුත් විශ්වවිද්‍යාලයට තේරී ඇතුළත් වීමට දින ලැබී තිබූ පුතෙකු හා උසස් පෙළ විභාගයට සූදානම්වන පුතෙකුත් මිනී මැරුම් චෝදනාවකට රිමාන්ඩ් සිරගත කොට තිබුණි. සිද්ධිය වී තිබුණේ මීගස්ආරේ ඇළේ නාන්න ගිය කොලු ගැටව් අතර ආරවුලක් වී ගුටි බැට හුවමාරු කරගෙන එක් අයෙකු ඇළට තල්ලු කර දැමීමේ දී ඇළේ ගලක හිස වැදී තුවාල වී මිය යෑමය.

මාතර චුල්පත්මේන්ද්‍ර දහනායක හම්බන්තොට ටෙනිසන් එදිරිසූරිය හා කොළඹ නීතීඥයින් පවා මුණගැසෙන්නට චූදිතයින්ගේ ඥාතීන් ගොස් තිබුණි. රුපියල් 25,000, 30,000 වැනි ලොකු ගාස්තු ඉල්ලා තිබුණිද (මේ 1984 පමණ කාලයේ සිදුවීමකි) අපේ මහින්ද මහත්තයා සොයා මේ අය නොපැමිණියේ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාට විරුද්ධව තදබල ලෙස දේශපාලන කටයුතු පෞද්ගලික මට්ටමින් ම කර ඇති නිසා ය. අපේ මහින්ද මහතාට නඩුව බාරදුන්නේ ඔවුන්ට වෙන කළ හැකි දෙයක් නොවූ බැවිනි. ඉඩ කඩම් දේපළ විකුණා නඩු කියන්නට සූදානම් වූ ඔවුන්ට ඇප ලබා ගැනීමට අපේ මහින්ද මහත්තයාට දුන් රුපියල්1500 හැර කිසිදු මුදලක් දුන්නේ නැත.

යුක්තිය හා සාධාරණය

චූදිතයන් අතර ඉගෙන ගන්න ළමයි දෙදෙනෙකු සිටි නිසා තොරතුරු විමසනවිට තම පියාට දේශපාලන හා පෞද්ගලික වශයෙන් හතුරුකම්කර සිටි පවුලක අය බව දැන දැනත් එතුමා කටයුතු කළේ ය. හිතා මතා කළ මිනීමැරුමක් නොවූවත් බලවත් සාක්ෂි 05 ක් තිබුණි. තරුණයින් ගේ අනාගතයත් යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටි එතුමාගේ විචක්ෂණශීලි බව ව්‍යක්ත දක්ෂ බව ප්‍රදර්ශනය කරමින් දින 05 ක නඩු විමසීමෙන් පහළ උසාවියෙන් ම නඩුව කෙළවර වූයේ චූදිතයින් සියලු දෙනාම නිදොස් කොට නිදහස් වීමෙනි.

නීතීඥ ගාස්තු කෙසේ වෙතත් දැනට සමාජයේ ආර්ථික අතින් දී ඉහළ තත්ත්වයක සිටින නීතිය ඉදිරියේ එදා වැරදිකරුවන් වීමට සිටි ඒ අය දේශපාලනමය වශයෙන් හෝ කළගුණ සැලකුවා දැයි අපේ මහින්ද මහතා මෙන්ම අපි ද නොදනිමු. ඒ එතුමා ගේ හැටිය. අපේ මහින්ද මහතා කටයුතු කළේත් කරන්නේත් එසේ ය.

අපූර්ව ආකාරයේ වූ නඩත්තු ඉල්ලූ නඩුවක පැමිණිල්ලක් එතුමාට ලැබුණි. පැමිණිලිකාරිය වසර 3 ක් 4 ක පිරිමි දරුවෙකු සිටින තරුණ මවකි. ඇය දහම් පාසල් ශිෂ්‍යාවකව සිටියද තමන්ට දහම් පාසැලේදී ඉගැන්වූ තරුණ භික්ෂුවක දරුවාගේ පියා බව පැවසුවාය. ගණුදෙණුවූ ඇය ඉදිරිපත් කළ ලිපිවලින් විවාහ පොරොන්දුවක් තිබූ බව අධිකරණයේ දී පහසුවෙන් ඔප්පු කළ හැකි මට්ටමක විය.

නඩුව අධිකරණයට යොමු නොකොට චූදිත භික්ෂුව වෙන දවසක තනිව කැඳවා විමසුවේ ය. ඔහු පීතෘත්වය පිළි නොගත්තේ ය. ඒත් මුදලින් වන්දියක් ගෙවා නඩු මගට නොගොස් භික්ෂුත්වය රැක ගනිමින් සමාජය ඉදිරියේ නිර්දෝෂි වීමට කැමැත්ත භික්ෂුවගෙන් පළවිය. අපේ මහින්ද මහතා ගේ පරිණත විචක්ෂණ දැනුමත් ලද අත්දැකීම් සම්භාරයත් නිසා දරුවාගේ පියා මේ භික්ෂුව බව සැක හැර දැන ගත්තේ ය.

 

මේ ලෙන්ගතුකමට ජාති භේදයක් නැත

ප්‍රසිද්ධියේ සංඝ සමාජය අප කීර්තියට පත්වීම වළක්වා ගැනීම නඩු මගට අධිකරණයට යෑමේ දී නොහැකි වන බව එතුමා බරපතළ ලෙස අවධාරණය කර ගත්තේ ය. දෙපාර්ශවය වෙන වෙන ම කැඳවා කාමර දෙකක රඳවා එක් වරම දරුවා ද සමඟ තිදෙනා එක විට එක ම ස්ථානයේ එතුමාගේ නීතීඥ කාමරයේ මේසය අභියස දී මුණ ගැස්විය. පියා දුටු සැනින් වෙන කිසිදාක මුණ ගැසී නොතිබුණ ද පියාට අත දික් කොට සතුටින් සිනාසී පියාගේ ඇඟට පණින්නට පෙරත්ත කරන්නට විය. නිරුත්තර වූ මව සහ දරුවාද පියා ද වෙන්ව ගියහ.

කම්පනය

එකඟතාවක් හෝ කතිකාවතක් නොවීය. සති දෙක තුනක් ඇතුළත එක් දිනක දී දරුවා වඩා ගත් කඩවසම් පියෙකුත් අම්මා කෙනෙකුත් තමා මුණ ගැසෙන්නට එන බව අපේ මහින්ද මහත්තයා දුටුවේ ය. උපැවිදි වී සිව්ර හල කලිසම් ෂර්ට් හැදි කඩවසම් තාත්තා ද සතුටින් පිරීගිය ආරණීය දරුවා ද මව ද බුලත් හුරුලු දී අපේ මහින්ද මහත්තයාට කෘතඥතාව පුද කළේ ය. එදින ඒ තිදෙනාට දිවා ආහාරය හා තෑගි භෝග ද අපේ මහින්ද මහතාගේ නිවසෙනි. ඒ පියා අද සාර්ථක ජීවිතයෙන් මිදී විශ්‍රාම සුවයෙන් ගත කරන හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකි. අම්මා ද විශ්‍රාමික ගුරුවරියක වේ. දරුවන් සමාජයේ ඉහළ තැන්වල සේවයේ ය. අපේ මහින්ද මහත්තයා එසේ ය. එතුමාගේ හැටි එහෙම ය.

1989 දී එතුමාගේ තංගල්ලේ නිවසට බෝම්බ ප්‍රහාරයකි. නාමල් පුතු වසර 3 ක බිලිෙඳකි. යෝෂිත පුතු කිරිබොන අත දරුවාය. (ඒ දරුවන්ට එදා ඇති වූ කම්පනය වසර ගණනාවක්ම පැවතුණි) මේ ආරංචිය එතුමා දැන ගත්තේ රත්නපුර ප්‍රදේශයේ තම පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ රැස්වීමේ සංවිධායක කටයුතු භාර ප්‍රධානියා වශයෙන් කටයුතු කරද්දී ය.

 තම දරුවන් හා ආදරණීය බිරිඳ ආරක්ෂිත ස්ථාන කරා යැවීම රත්නපුරයේ සිට ම ඉටුකළ එතුමා පක්ෂයේ හා පක්ෂනායිකාව ගේ කටයුතු වගකීම් හරි හැටි ඉටුකිරීමෙන් අනතුරුව පැමිණියේ, තම පණටත් වඩා ආදරය කරන දරුවන් හා ආදරණීය බිරිඳ මෙන් ම පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් එතුමා ගරු කළේ ය. අපේ මහින්ද මහතා ගේ හැටි එසේ ය. ඒ එතුමාගේ හැටි ය.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ට අවලාද නගද්දීත් දේශපාලන හතුරුකම් කරද්දීත් එහි ක්‍රියාකාරිකයින් පොලිස් අත්අඩංගුවට ගත්විට ඒ අයගේ විරුද්ධත්වය පවා නොසලකා නීති උපදෙස් ලබා දෙමින් නීති රැකවරණ සලසා දුන්නේ ය. ප්‍රාදේශීය නායකයකු ඇතුළු 16 දෙනෙකු රහස් සාකච්ඡාවක් පවත්වද්දී අගුණකොළපෑලැස්සේ දී අත්අඩංගුවට ගැනීමේ දී එතුමා ක්‍රියාකළ ආකාරයත් ඒ අයට රැකවරණය ලබා දුන් ආකාරයත් ප්‍රශංසනීය වේ. ඒ උදව් කරන්නේ දේශපාලන වාසි තකා ආත්මාර්ථකාමීත්වයෙන් සට කපට ලෙස බවට ජ. වි. පෙ. අවලාද නැගීය. ඒත් නොමඟ ගිය අය රැක ගැනීමට එතුමා ක්‍රියා කළේ ය. අපේ මහින්ද මහත්තයාගේ හැටි එසේ ය. ඒ එතුමා ගේ හැටි ය. 15 වෙනි පිටුවෙන්

භීෂණය තදින් පැවති දිනවල පහන් දැල්වීම තහනම් ය. ගුවන් විදුලිය රූපවාහිනිය තහනම් ය. 1989 භීෂණ සමයේ කැළෑ නීතිය රජ කරවූ උම්මත්තක වාමාංශික ළදරු වලිප්පු කාරයින් ගේ නියෝග එසේ ය.

තංගල්ලේ කාල්ටන් නිවැසියන් ද එවකට වූයේ ආදරණීය දරුවන් හා බිරිඳගෙන් තොර ආරක්ෂාව පතා පැමිණි තරුණයින් ද කීප දෙනෙකු ය. සමාජ මෙහෙවරකට තංගල්ලෙන් දුර බැහැරක ගිය අතර මහින්ද මහතා වෙහෙසී රාත්‍රී පැමිණියේ තම කාමරයට වී නිදා ගැනීමට ය. රූපවාහිනියේ ශබ්දය වසා රූප පමණක් බලමින් එතුමා ගේ ඇඳේ හරහට සිටි කෙනෙකුට හොඳටම නින්ද ගොස් තිබුණි. එතුමා ඇඳ ඇතිරිල්ලක් ගෙන ඇඳ පාමුල එලාගෙන ඇඳ සිටි සරම පොරවා ගුලි ගැසී බිම නිදා ගත්තේ ය. ඇඳේ නින්ද ගොස් සිටි අය විශේෂ මිතුරෙකු හෝ ඥාතියෙකු නොව ආරක්ෂාව හෝ දේශපාලන උදව් පතා පැමිණ සිටි නේවාසිකයෙකි.

තමන්ගේ නින්දටත් තමාගේ විවේකයටත් වඩා අනුන්ගේ නින්ද හා විවේකය ගැන සිතූ එතුමා සංවේදී වූයේ එසේ ය. ඒ අපේ මහින්ද මහතා ගේ හැටිය. ඒ එතුමා කටයුතු කරන්නේ එසේ ය.

1985 අතුරු මැතිවරණය රාජ්‍ය මර්දනය හා ත්‍රස්තවාදය උපරිමයෙන් මුදා හැරිය එකකි. වෙඩි තැබීම් ගණනාවක් සිදු විය. වලස්මුල්ලේ හොරේවෙල චන්ද මධ්‍යස්ථානයට පිටතින් පැමිණි මැර පිරිස් විසින් ඡන්ද පෙට්ටි ලියාපදිංචි ප්‍රමාණයටත් වඩා පිරවීය. ආණ්ඩු නොවන විපක්ෂ අපේක්‍ෂකයාට ඡන්ද 14 කි.සිදුවී තිබූ කලබලයකින් දෙදෙනෙකු මිය ගොස් ය. නිරපරාදේ තම ආධාරකරුවන් කොටුකර ගැනීමටත් ඝාතනය කර භීෂණය වැපිරීමටත් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර තිබුණි.

මේ අපේ ඉදිරි අනාගතය...

 තම හිතවතුන් හා ආධාරකරුවන් ආරක්ෂා කරමින් තමා පරිත්‍යාගයෙන් ම ඉදිරිපත්ව හිරභාරයට පත් විය. මාස 4 ක් වැලිකඩ හිරගෙදර අවම පහසුකම්වත් නොමැතිව ය. ආදරණීය අම්මා මේ නිසා දැඩි කම්පනයෙන් රෝගාතුර විය. අම්මා ජීවතුන් අතර සිටිය දී බලන්නට එන්නවත් ඉඩක් ලබා නොදුනි. නඩුව විභාග විය. ගොතන ලද සාක්ෂි බොරු බව ඔප්පු විය. බොරු සාක්ෂිකරුවන් හිරගෙට නියම වෙමින් මෙතුමාගේ නිදොස් බව ඔප්පු විය. එතුමා හිරගෙට යැවීමට බොරු සාක්ෂි කියූ අය අදාල කාලයටත් පෙර නිදහස් කර ගැනීමට එතුමා මැදිහත් වූයේය.

ඒ අපේ මහින්ද මහත්තයාගේ හැටිය. එතුමා කටයුතු කරන්නේ එසේ ය.

ළමා කාලයේදීම පවුලේ සියල්ලන් අතරේදීත්, පාසලේදීත් හා යහළු යෙහෙළියන් ඇසුරේදීත් පොදු ජනතාව අතරේදීත් ප්‍රමුඛතාව එතුමාට හිමිවූයේ එතුමාගේ කැප වී කටයුතු කළ පරිත්‍යාගශීලි සංවේදී මානවවාදී ඉදිරිපත් වීම නිසාවෙනි. ආදරය කරුණාව ගරුත්වය මේ නිසා එතුමාට නිතැතින්ම උරුම විය. මෙය කුසල් බලය හා පිං මහිමය ලෙස අර්ථ ගැන්වේ.

අරගලය කොතැනද එතුමා එතන ය. වීදිය, මාවත ඒ කොතනත් ජනතාවාදී එතුªමා විය. තමාට පෙර රට එතුමා හැමදා ඇදහූ ධර්මතාව වූයේ ය. යුක්තිය හා සාධාරණය එතුමාගේ අවිය විය. යහපත් සියල්ල එතුමා සතු වන්නේ මේ ගමන් මග ඔස්සේ ය.

ඔහු ජනතා සේවයට විදුදය සරසවියට ද පැමිණියේය. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හොඳ හිත එතුමාට නිතැනින්ම හිමි විය. විශ්ව විද්‍යාල ඉතිහාසයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය බිහි විය. ආරම්භක සභාපති තනතුර එතුමාට හිමි වූයේ කිසිඳු තරඟයක් නොමැතිවම ය. කීර්තිමත් වෘත්තීය සමිති නායක බාලා තම්පෝ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ඒ සංවිධානයේ නායකකම එතුමාට ලැබුණේ එතුමාගේ නෛසර්ගික උරුම ගුණ සමුදාය නිසාවෙනි.

තම ආදරණීය පියා දිවංගත වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රීලනිප ය. බෙලිඅත්ත ආසන සංවිධායක තනතුර එතුමාට හිමිවූයේ එතුමාගේ ඉල්ලීමක් අනුව නොවේ. තම ආදරණීය චමල් අයියාට ලැබිය යුතු එම තනතුර චමල් අයියාගේ යෝජනාවෙන් හා පරිත්‍යාගයෙන් ද ප්‍රදේශයේ ජනතාවගේ ඒකමතික ඉල්ලීමෙන් ද ජෝර්ජ් රාජපක්ෂ තම ඥාති සහෝදරයාගේ සහයෝගයෙන් ද එතුමාට එම තනතුර ලැබුණි. සියලු බලවේග ජයගනිමින් ආරම්භයේදීම හිමි තැන උරුම විය. පක්ෂයේ උප ලේකම් තනතුරේ සිටි ආරිය බුලේගොඩ මැතිතුමා වෙනත් මගක් ගනිමින් අස් වූ විට ඒ තනතුර කිසිදු අයදුම් කිරීමකින් තොරව එතුමා කරා පැමිණියේය.

1970 දී විශ්වවිද්‍යාල සගයින්ගේ ද සියලු වාමාංශික සංවිධාන සහයෝගයෙන් ද එතුමා ළාබාල ම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත විය.

1976 දී හම්බන්තොට දේශපාලන අධිකාරියේ සභාපති තැන්පත් ජෝර්ජ් රාජපක්ෂ අමාත්‍යතුමා දිවංගත විය. එම හම්බන්තොට දිසා ඇමැතිකම තරම් බලතල හා වගකීම් ඇති එකී තනතුරු එතුමා කරා ආයේ ය. 1971 හා 1988, 89 රාජ්‍ය ත්‍රස්තවාදයත් වාමාංශික ළදරු වලිප්පු සුළු ධනේෂ්වර ශිෂ්‍ය හා තරුණ කැරැල්ලත් නිසා ජනිත වූ භීෂණය සමයේ ජනතාව විඳී දුක් ගැහැට සමහන් කරන විමුක්තිකාමියා ලෙස එතුමා වගකීම් ඉටු කළේය. ඒ නිසා මානව හිමිකම් පිළිබඳ මධ්‍යස්ථානය තංගල්ලේ කාල්ටන් හි පිහිටු විය. ප්‍රධානියා නියමුවා හා ප්‍රධාන විධායකයා වූයේ එතුමා ය.

පීඩනයට, අසරණභාවයට පත් මවුවරුන්ගේ පෙරමුණ බිහි කළේය. ප්‍රධාන නියමුවා එතුමා ය. පාර්ලිමේන්තු මානව හිමිකම් සංවිධානයක් ප්‍රථම වරට බිහි වූයේ මෙතුªමාට එහි ප්‍රධාන ලේකම් ධූරය හිමි වෙද්දී විපක්ෂ නායක ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සභාපති තනතුර හිමි වෙමිනි. මේ තුළින් ජනතාව ගේ හඬ ජිනීවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලෝක ප්‍රජාව දක්වා විහිදී ගියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කම නියෝජ්‍ය උප සභාපතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ආදී වූ තනතුරු ද ලැබුණේ එතුමා නාමයෝජනා මගින් ඉල්ලීම් කරමින් හෝ රහසේ හෝ ප්‍රචාරක කටයුතු දියත් කරමින් නොවේ. පක්ෂයේ සමහර බලවතුන්ගේ සහයෝගය නොලැබෙද්දී විරුද්ධවාදීන් කුමන්ත්‍රණය කරද්දීත් එතුමාගේ උපේක්ෂා සහගතත්වය මගින්ම එතුමා ජයග්‍රහණය ලැබී ය. කාලයක් තිස්සේ පෙරුම් පුරමින් සමහරුන් යම් යම් දේ අපේක්ෂා කළද ඒවා ඔවුන්ට නොලැබෙද්දී එතුමා නිසි දේ නිසි අයුරින් ලද්දේ ය.

විපක්ෂ නායකකමද අගමැතිකමද, අතිගරු ජනාධිපතිකම ද එතුමා කරා පැමිණෙන්නේ අනෙකුත් සියල්ල ලැබුණ පරිද්දෙන් ය. සටන් ආරක්ෂා කිරීම, සටන් සගයන් රැක ගැනීම හරියට අකුරට කරමින් තාන්න මාන්න හා බලය සඳහා පාවාදීම පිළිකුල් කළේ ය. ඒ අපේ මහින්ද මහතත්තයාගේ හැටි ය. එතුමාගේ හැටි එසේ ය. එතුමාට ලැබුණ දේ ද එසේ ය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා මහින්ද විජේසේකර ශිෂ්‍ය නායකයා වැනි හිතවතුන් 1971 දී අත්අඩංගුªවට පත්වූ දේශපාලන රැඳවුම් කරුවන් බැලීම මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පවා තහනම් කර තිබිය දී තම නායිකා සිරිමාවෝ මැතිනියගේ රොස්මීඩ් නිවසේ උඩු මහලේ පියගැට පෙළ අහුරා වාඩි වී සත්‍යග්‍රහයක් කරමින් තම සගයන්ගේ සුවදුක් බලන්නට යන්නට ද ඔවුන්ගේ නිදහස පතා කටයුතු කරන්නට දැක් වූ පරිත්‍යාගශීලී කැපවීම එතුමාගෙන් ආනගත ගමන් මග හෙළි කළේය. වර්ණවත් කළේ ය. මේ සිද්ධිය දැනගත් එතුමා ගේ ඥාති සහෝදර අමාත්‍ය ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමා එතුමාගෙන් විමසුවේ කොහොමද මහින්ද ඔබ ඔය ප්‍රාතිහාර්ය පාන්නේ කියා බව එවකට ප්‍රකට රහසක් විය. ඒ එතුමාගේ හැටිය. අපේ මහින්ද මහත්තයා එසේය.

මේ නිසා එතුමාගේ ප්‍රතිරූපය ගොඩනගන්නට කිසිවෙකුට හෝ වෙහෙසීමේ උවමනාවක් නැත. එතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට හැකි වෙනත් සමතෙක් නැත. එතුමා ශක්තිමත් ය. බලවත් ය. අපරාජිත ය.

චිරං ජයතු ! අපේ අතිගරු ජනාධිපතිතුමනි ඔබ තුමාට නිදුක් නීරෝගී ආයු බල සැප වර්ණ හා ජය !


සබැඳි පුවත්