ඉතිහාසය අලුතින් ලියූ මහින්ද යුගය

ඉතිහාසය අලුතින් ලියූ මහින්ද යුගය

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ගේ පළමු වන පදවි ප්‍රාප්තිය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය. කුරුඳුවතු සංස්කෘතියේ බලවතුන්, ධනවතුන් හා රදලයන් අතර පාලනය වෙමින් පැවති දේශපාලන බලය ඈත පිටිසර ගම්මානයේ ගොවි සංස්කෘතියේ ගැමියකු අතරට පත්වීම එම සුවිශේෂ වූ ඓතිහාසික අවස්ථාව ලෙස හැඳින්විය හැකි ය. රටක මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් ගැන අසන්නට ලැබෙන්නේ ද ඉතාමත් කලාතුරකිනි.

ගමේ ඉපිද, ගමේ පාසලේ හා පන්සලේ ඉගෙන, වෙල් ඉපනැල්ලේ ඇවිද, ගැමි ඇසුර ලැබ, ගැමි සුවඳ විඳි දේශපාලනයට පිළිපන් මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹට පැමිණ උසස් අධ්‍යාපනය ලබා නීතිඥ වෘත්තියට පිවිසිය ද කිසිම විටෙක අතීතය අමතක කළේ නැත. ගැමියා, ගොවියා, කම්කරුවා ඔහුගේ සදාකාලික මිතුරෝ වූහ. හාමුදුරුවෝ, පූජකයෝ, වැඩිහිටියෝ ජීවිතයට ශක්තිය ලබා ගත් අනුශාසකයෝ වූහ. ලේඛකයෝ, කලාකරුවෝ සහෘදයෝ වූහ.

මහින්ද රාජපක්‍ෂ මහතාණන් ගේ දේශපාලන ගමන් මඟ සුසැෙඳන්නේ මේ මහා පෞරුෂයන් හා බැඳුණු ජාතික හා සංස්කෘතික බලවේග සුසංයෝගයෙනි. මෙහි ඇති බලය හා ශක්තියත් ආශීර්වාදයත් මැනවින් උකහා ගත් මේ තරුණ දේශපාලනඥයා එමඟින් තම දේශපාලන ජීවිතය ආලෝකමත් කර ගැනීමට නිරතුරුවම ක්‍රියා කළේ ය. එයින් බැහැර වීමට ඔහු කිසි විටෙකත් ක්‍රියා නොකෙළේ ය. මහින්ද රාජපක්‍ෂ මහතාණන් ලැබූ සියලු ජයග්‍රහණයන්ට ශක්තිය වූයේ මෙම ප්‍රතිපත්ති ගරුක පිළිවෙත බව මම විශ්වාසය පළ කරමි.

පක්‍ෂ ප්‍රතිපත්තිය හා විනය ඔහු අකුරටම ආරක්‍ෂා කළේ ය. දේශපාලන ජීවිතයේ මොන අන්දමේ මදි පුංචිකම් ලැබුණ ද ඒ කිසිවකින් කලකිරීමට පත් නොවූයේ ය. තමනට පැවරුණ සෑම වගකීමක් ම අවංකවත් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් ඉටු කිරීම තම ප්‍රතිපත්තිය කර ගත්තේ ය. ඒ නිසා දේශපාලනඥයකුට වැඩි ජනපි‍්‍රයතාවක් දිනා නොගත හැකි අමාත්‍යාංශ පවා ලැබූ අවස්ථාවන් හි දී තම නිවැරදි දේශපාලනය ඔස්සේ දක්‍ෂ ලෙස ක්‍රියා කිරීමෙන් වඩාත් ජනප්‍රසාදය දිනා ගත්තේ ය.

පසුගිය සමයේ එතුමන්ට පැවරූ කම්කරු හා ධීවර වැනි අමාත්‍යාංශ අති දක්‍ෂ ලෙස හැසිරවීමටත් එමඟින් විශාල ජාතික සේවාවක් ඉටුකිරීමටත් එතුමා සමත් වූයේ ය. අවංකව හා කාර්යක්‍ෂමව වැඩ කිරීමෙන් හා පක්‍ෂයේ ආරක්‍ෂාව හා උන්නතිය වෙනුවෙන් ද කළ විවිධ මෙහෙවර නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තුළ පමණක් නොව පොදුජන එක්සත් පෙරමුණේ ම සාමාජිකයන් අතර ද මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි ගොඩනැගුණේ අසීමිත විශ්වාසයකි. රටේ රාජ්‍ය නායකත්වයට සුදුසු ම තැනැත්තා ඔහු බව අවිවාදයෙන් ම පිළිගැනෙන්නට පටන් ගත්තේ ය. ඔහු අභිභවා යන තවත් නමක් නොමැති තරමට විශ්වාසය හා බලාපොරොත්තුව තහවුරුව පැවතියේ ය.

2004 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වත් ම පොදුජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකත්වය මහින්ද රාජපක්‍ෂ මහත්මාට නිතැතින් ම පිරිනැමෙන්නේ ප්‍රගතිශීලී කඳවුරේ සියලු දෙනා ගේ ම බලාපොරොත්තුව මල්ඵල ගන්වමිනි. ප්‍රතිගාමීන් ගේ සියලු බලවේග ඒකරාශී වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට කඳවුරු බැඳගත් අයුරු ජනතා මතකයෙන් ඈත් වී නැත. ආගම දහම අදහන දේශීය දේ අගය කරන පොදුජන යුගයක උදාව නොරිස්සු මේ බලවේග කෙතරම් වලි කෑව ද දේශප්‍රේමී ජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කළේ ය. එය රටේ වාසනාව පිණිස හේතු වූයේ ය. එසේ නොවන්නට අද මේ රට පවතින්නේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ ය.

ජනාධිපතිතුමා පුංචි හපනෙක්ගේ කුසලතාවන් අගයමින්...

ජනාධිපතිතුමා මැතිවරණයේ දී ජනතාවට දුන් ප්‍රතිඥාව නම් පළමුකොට ත්‍රස්තවාදය රටින් තුරන් කරන බව ය. බලයට පත් දිනයේ සිට ම ඒ සඳහා අවශ්‍ය විධි විධාන සලසමින් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස හමුදා සේවයේ පුහුණුව ලබා සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කර ගත්තේ ය. ත්‍රස්තවාදය තුරන් කළ හැකි සියලු ම සැලසුම් ඔහු දැන සිටියේ ය.

 ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ ද යුද හමුදාවේ සේනාංක භාර දක්‍ෂ රණවිරුවන් ගේ හා වීරෝදාර සෙබළුන් ගේ පූර්ණ අනුග්‍රහය ලබමින් ආරක්‍ෂක ලේකම්වරයා සිය වගකීම හා කාර්ය භාරය ජනාධිපතිතුමන් වෙනුවෙන් ඉටු කළේ ය.

කිසි ම රාජ්‍ය නායකයෙකුට හෝ ආරක්‍ෂක ලේකම්වරයෙකුට හෝ හමුදාපතිවරයෙකුට හෝ කළ නොහැකිව, තිස් වසරක් පුරා පැවති බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධය දෙවසරක පමණ කාලයක් තුළ දී මේ රටින් මුලිනුපුටා දැමීමට හැකි වීම ජනාධිපතිතුමා සිය පාලන සමයේ දී කළ විස්මයජනක කාර්යය ලෙස හැඳින්විය හැකි ය.

ජන්මයෙන් උරුම කරගෙන තිබූ ජාති හිතෛෂී භාවය, එඩිතරකම හා අධිෂ්ඨාන ශක්තිය සියලු ජයග්‍රහණයන් ගේ මූල සාධක වූවාට සැකයක් නැත. එපමණක් නොව නිවැරදි නායකත්වය, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ නිවැරදි අවබෝධය හා මැදහත් විදේශ ප්‍රතිපත්තිය ද ප්‍රබල ශක්තියක් විය. රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මොන ම බලවතෙකුට වත් යටත් නොවී නිවැරදි තීරණවලට එළඹ වැඩ කළ හැකි වූයේ ඒ නිසා ය.

දශක තුනක් මුළුල්ලේ ආර්ථික වශයෙන් ද සංස්කෘතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ඇද වැටී පැවති මේ රට යළි ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා, මහින්ද චින්තනය මගින් ප්‍රකාශිත යෝජනා අද එකින් එක ක්‍රියාත්මක වෙමින් පවතී. ආගමික නායකයන් හමුවේ සාකච්ඡා කෙරෙමින් එම ආගම් දහම් තුළින් රටට සමාජයට ඉටුවිය යුතු සේවා කාර්යක්‍ෂමව ඉටුකිරීමට රජයෙන් ඉටු විය යුතු කාර්ය භාරය නොමඳව ලබා දීමට ප්‍රතිඥා දී ඇත. රටේ සමාජයේ සදාචාරයට බරපතල අභියෝගයක්ව පවත්නා මත් උවදුර දුරු කරලීමට ආගම ධර්මයේ මඟපෙන්වීම සේ ම රාජ්‍ය නීතිය ද එක සේ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා ඇත. මහින්ද චින්තනය මගින් ප්‍රකාශිත මතට තිත ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

සදාචාර විරෝධී මෙම දූෂිතයන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව ද විනාශ කිරීම සඳහා විවිධ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපාරයක යෙදී සිටී. ත්‍රස්ත උවදුර මර්දනය කළාටත් වැඩි ව්‍යායාමයක් මේ කාර්යය සඳහා යෙදවීමට සිදු වී තිබේ. මොන අන්දමේ භෞතික සංවර්ධනයක් වුව ද ඇතිකිරීමටත්, ඒ සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳීමටත් ජනතාව ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයට පත් කළ යුතු ය. ජනාධිපතිතුමා ගේ දැඩි අවධානය මේ වෙනුවෙන් යොමු වීම භාග්‍යයකි.

දසක තුනකට ආසන්න කාලයක් ආර්ථික සංවර්ධනයට නිසි පියවර ගැනීමට පැවති බාධක නිසා රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති නොවී ය. එහෙත් ලෝකයේ බලවත් රාජ්‍යයන් හා ආසියාවේ ඇතැම් රාජ්‍යවල පවා ආර්ථිකය බිඳ වැටී විවිධ දුෂ්කරතාවලට මුහුණපාද්දී ශ්‍රී ලංකාව ඒ තත්ත්වයෙන් මුදාගැනීමට සමත් වීම මවිතයට කාරණයකි.

යුද්ධය පවතිද්දී පවා රට යහපත් ස්ථාවරයක පිහිටා පවත්වාගෙන යා හැකි වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ දූරදර්ශී බුද්ධිමත් පාලනයත්, නිවැරදි ආර්ථික කළමනාකාරීත්වයත් නිසා ම බව කිව යුතු ය. අද දක්වා ම යහපත් ආර්ථික ස්ථාවරත්වයක් යටතේ රට පවත්වාගෙන යෑමට සමත් වී සිටින අයුරු මහ බැංකු වාර්තාවන්ගෙන් අනාවරණය වේ.

ජනාධිපතිතුමන් ගේ ප්‍රථම පදවි ප්‍රාප්තිය තුළින් යුද්ධය නිමා කොට සාමය උදා කර නිදහස් නිවහල් රටක් නිර්මාණය කර දීමට වැය කළේ ය. එතුමන් ගේ දෙවන පදවි ප්‍රාප්තිය සමඟ එක ම අභිප්‍රාය වී ඇත්තේ රට ආර්ථික වශයෙන් සංවර්ධනයට පත් කිරීම ය. හම්බන්තොට වරාය ඉදිකෙරුණේ එම අරමුණ ජය ගැනීමට ය. ලෝකයා මවිතයට පත් කෙරෙමින් මහින්ද චින්තනය ඔස්සේ ගොඩබිමක ඉදිකරනු ලැබූ අසිරිමත් ගොඩවායේ වරායට ජනාධිපතිතුමන් ගේ උපන් දිනය වන නොවැම්බර් 18 වෙනිදා පළමු නෞකාව පිවිසෙනු ඇත.

ඉන් පසුව සේද මාවතේ ගමන් කරන සෑම නෞකාවක් ම සිංගප්පූරුවට නොව හම්බන්තොට වරායට පෝලිමේ සේන්දු වනු ඇත. එමඟින් රටට ලැබෙන මහා ධනස්කන්ධය අයවැයේ සමතුලිතභාවය පවත්වාගෙන යෑමට පමණක් නොව රැකී රක්ෂා සුලභ වී බඩු මිල පහළ වැටීමටත් හේතු වනු ඇත. එපමණක් නොව වරාය ආශි‍්‍රත මුළු දකුණු පළාතේ ම ජන ජීවිතයේ නව පිබිදීමක් හා සංවර්ධනයක් උදාකරනු ඇත.

සමඟ ම දැන් නිමා වෙමින් පවත්නා දකුණේ මත්තල නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද වරායට නොදෙවෙනි ආර්ථික සම්පතකි. වසරක් ඇතුළත ප්‍රථම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට පිවිසෙනු ඇත. මෙම ගුවන් යානාවලට සේවා සැපයීම තුළින් ද දහස් ගණනින් සංචාරකයින් ගේ පැමිණීම තුළින් ද මුළු රටේම ආර්ථිකයේ හා පොදුජන ජීවිතයේ ද විශාල සංවර්ධනයක් මේ තුළින් අපේක්‍ෂා කෙරේ.

රටක දියුණුව පිළිබිඹු කරන ප්‍රධාන සාධකයක් වන්නේ මාර්ග සංවර්ධනය යි. මහින්ද රාජපක්‍ෂ යුගයේ රටේ මහාමාර්ග පද්ධතියේ සිදුවන්නේ සුවිශේෂ සංවර්ධනයකි.

කොළඹින් පටන් ගන්නා සෑම මහාමාර්ගයක් ම යාපනය, තිස්සමහාරාමය, මන්නාරම, අනුරාධපුර, බදුල්ල ආදී වශයෙන් සෑම නගරයක් කරා ම මනා තාක්ෂණයෙන් නිර්මාණය වූ සුවිසල් මාර්ග පද්ධතියක් ඔස්සේ ගමන් කිරීමට විධිවිධාන සලසා ඇත. එපමණක් නොව සෑම ගම්බද මාර්ගයක් ම පාහේ කොන්ක්‍රීට් ආවරණයක් මගින් ආවරණය කොට පහසුවෙන් ගමන් කිරීමට විධි විධාන සලසා ඇත. මේ අන්දමට මාර්ග පද්ධති සංවර්ධනය වීම නිසා ජනතාව ගේ සේවය කාර්යක්‍ෂම කිරීමටත් කලට වේලාවට භාණ්ඩ ප්‍රවාහනයටත් ගමනාගමනේ යෙදෙන හැම කෙනෙකු ගේ ම මානසික සුවයටත් හේතු වන්නේ ය.

මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසුව අදිටන් කර ගත් අගනා ප්‍රාර්ථනාවක් වූයේ රට සහලින් හා භව භෝග සම්පතින් අනූන කිරීම ය. ගොවි සංස්කෘතියක් යටතේ හැදුණ වැඩුණු එතුමා එහි ආශ්වාදය හා වටිනාකම මැනවින් අවබෝධ කොට ගෙන සිටියේ ය. ඉතිහාසය තුළින් ම මේ රටට දායාද කළ කෘෂිකර්මය දියුණු කොට බත බුලතින් පිරිපුන් රටක් ගොඩනැගීම එතුමාගේ සිහිනය විය.

 ඒ සඳහා සියලු වැව් පොකුණු සංවර්ධනය කොට අත්හැර දමා තිබූ සියලු කුඹුරු යළි වගා කිරීමට ජනතාව පෙළඹවූයේ ය. මොරගහකන්ද වැනි මහා ජලාශ ඉදිකොට ඓතිහාසික යෝධ ඇළ යළි පිළිසකර කර, ජල සම්පත රැක ගැනීමටත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමටත් එතුමා අරමුණු කොටගෙන සිටින්නේ ය. එතුමන්ගේ බුද්ධිමත් ක්‍රියාමාර්ගයන් නිසා අද රට සහලින් ස්වයංපෝෂිත වී ඇත. නිෂ්පාදනයේ නිරත ගොවියාට නිසි ගෞරවය මෙන් ම සාධාරණ මිලක් දිනා ගැනීමට ද අවස්ථාව උදා වී ඇත්තේ ය.

රටක දියුණුව සංවර්ධනය පිළිබිඹු වන තවත් සාධකයක් වන්නේ විදුලියයි. පසුගිය කාලපරිච්ඡේදය තුළ රට මහත් අපහසුතාවයකට පත් කළේ විදුලි පද්ධතිය යි. නියඟයන් ඇති වන සෑම අවස්ථාවක ම විදුලිය කපා හැරීම සීමා කිරීම පිළිවෙත ලෙස පැවතියේ ය. මේ නිසා කර්මාන්ත හා කාර්යාල සේවා ඇණ හිටියේ ය. ගෙදර දොර ඉවුම් පිහුම් ටික පවා කර ගැනීමට බාධා උදා විය. කිසිදු උත්සවයක් පින්කමක් පවා නිසි පරිදි පැවැත්වීමට බාධා උදා වූයේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා ගේ පාලන සමය තුළ දී මේ අවාසනාවන්ත තත්ත්වය උදා වීමට ඉඩ නුදුන්නේ ය.

වැස්ස හිඟ වුවත් කිසිම විටක විදුලිය කපා හැරියේ නැත. ඒ සඳහා විධිමත් විධිවිධාන සලසා විදුලිය ලබා දුන්නේ ය. ඒ අතර රටේ ස්ථාවර විදුලි පද්ධතියක් සඳහා නොරොච්චෝලේ, කොත්මලේ විදුලි බලාගාර ඉදිකෙරෙමින් පවත්නා අතර නොබෝ දිනකින් ඒවායේ සේවය රටට ලබා දීමට අවස්ථාව උදාවනු ඇත.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්