දේශයට අභිමානය එක් කළ ගමෙන් උපන්මහින්ද චින්තනය

දේශයට අභිමානය එක් කළ ගමෙන් උපන්මහින්ද චින්තනය

මනුෂ්‍ය රූපකාය උපතින් උරුම වූ සැවොම මිනිසුන් ලෙස හැඳින්වුව ද මනුෂ්‍යත්වයෙන් පිරිපුන් හදවත් ඇති උත්තම ගණයේ මිනිසුන් සමාජයේ පහළ වීම විරලය. එවන් දුර්ලබ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ උත්පත්තිය ඔවුන් උපන් සමාජයත්, රටත්, අභිවෘද්ධියට පත්වීමට ප්‍රබල හේතුවක් වන්නේ ය.

මහින්ද රාජපක්ෂයන් ද මේ සමාජ යථාර්ථය සත්‍යයක් බවට පත්කළ ශ්‍රේෂ්ඨ පුරුෂයකු වී හමාරය.

සමාජ මෙහෙවරට ස්වකීය ඡන්මයෙන් ම ආගන්තුකයෙකු නොවු එතුමා සිය පියා කළ සද්කාරය අඛණ්ඩව, ඊටත් වඩා ප්‍රබලාකාරයෙන් රට තුළ නොමැකෙන සේ සනිටුහන් කරන්නට සමත්වූයේ එතුමන් තුළ වූ නොසැලෙන අධිෂ්ඨානයත් කැපවීමත් සහ නිර්ව්‍යාජ වූ ගැමිකමත් නිසාමය.

එතුමන් නායකත්වය සැපයූ සෑම කාර්යයක්ම ජයග්‍රහණය කර ඇත්තේ මේ නිර්ව්‍යාජ මිනිසා තුළ වූ නිහතමානිකමත් කැපවීමත් නිසාමය.

මහින්ද චින්තනයට දිර්ඝ ඉතිහාසයක් ඇත. මහින්ද රාජපක්ෂ නම් වූ යුග පුරුෂයාණන් තුළ “ මහින්ද චින්තනය” ජනිත වූයේ අද ඊයේක නොව “ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යන කියමන සපථ කරවමින් නායකත්වයක ලක්ෂණ කුඩා අවදියේ සිටම දක්නට ලැබිණ.

එතුමන් දේශපාලනයට පිවිසි දා පටන්ම මහින්ද චින්තන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක විය. (රට පාවා නොදීම, බලය වෙනුවෙන් කුමන්ත්‍රණය නොකිරීම මෙන්ම ජාතික මමත්වය, එඩිතර බව, අවංකත්වය , මිත්‍රශීලීත්වය, මානවහිතවාදිභාවය, පරාර්ථසේවය යනාදි ගුණාංගයන් මහින්ද රාජපක්ෂයන් විසින් උපතින්ම ගෙන එන ලද දායාදයන්ය.)

එසේම මේ රටේ ජනතාව හිතන පතන ආකාරයත් රට ගමන් කරන ආකාරයත් ඔවුන්ගේ බලාපොරොත්තුත් එතුමා මැනවින් වටහා ගත්තේ මීට දශක ගණනකට පෙරය.

යාපා පටුනේදී ජාතික ධජය ඔසවමින්

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස එදා යාපනයේ නල්ලූර් කෝ්විලට ගිය අවස්ථාවක්

බෙලිඅත්ත මහජන මන්ත්‍රීවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 1970 ජුනි මස 14 වෙනි දින, හත්වැනි පාර්ලිමේන්තුවේ පළමු වන රාජාසන කථාවට ස්තූති යෝජනාව ඉදිරිපත් කරමින් ඉහත කළ ප්‍රකාශය එතුමාගේ නොසැළෙන චින්තනයට කදිම සාක්ෂියකි.

“ මේ රටේ පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නොකරයි. ධනේෂ්වර වාදය අනුමත නොකරයි: සියලු සූරාකෑම් අනුමත නොකරයි : ඔවුන් 1970 දි තුනෙන් දෙකකටත් වඩා වැඩි ආසන ගණනක් ලබා දී සමගි පෙරමුණ අති ණඵශිෂ්ට ජයග්‍රහණයකට පත්කළේ මේ නිසාය.

මහජනතාව සමගි පෙරමුණ කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රේණුවක තරමින් පවා නොසැලෙන සේ ඔවුන්ගේ අපේක්‍ෂාවන් ඉෂ්ඨ කිරීමට රජය බලාගනිතියි ඔවුන් බලා සිටිති. ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමි කුමන්ත්‍රණකාරි : අධිරාජ්‍යවාදි : ධනවාදි බලවේග සුළුවෙන් තැකිය යුතු නොවේ.

ඒ සෑම බාධකයක් ම බිඳ දමමින් සමාජවාදය කරායන ගමන සහතික කරවීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව මේ ගරු සභාවේ දී ප්‍රකාශකර සිටිනවා.”

තමා බලයට පත්කළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර දීමේ කෘතවේදීත්වය ප්‍රකට කළ දේශපාලන නායකයන් සිටියේ නම් අතලොස්සකි. පසුගිය දශක 30ක් පුරාවට අහිමි කළ ජනතාවගේ නිදහස බලාපොරොත්තුව ඉටු කරන්නට කිසිම දේශපාලන නායකයෙකුට නොහැකි වූ අතර එය ස්ථිරව ඉටුකළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් පමණි.

එතුමා සතුවූ රුහුණේ ගැමිකමත් වීරත්වයත් මෙන්ම නොසැලෙන ස්ථිර දැක්ම මේ ජනතා ජයග්‍රහණයේ පදනම විය.

මෙයට දශක දෙකකට පමණ ඉහත දී මා හඳුනාගත් මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාණන් තුළ දක්නට ලැබූ නිහතමානිකමේ ගති සොබාව එතුමා රටේ රාජ්‍ය නායකයා ලෙස වඩාත් කාර්යයබහුල වුවත්, ඒ නිහතමානීකමේ ගති ලක්ෂණ එතුමන් කෙරෙන් අඹමල් රේණුවක තරම් හෝ අඩු නොවීම ඇත්තෙන්ම පුදුම සහගතය.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම විපක්ෂ නායකවරයකු ලෙස ද කටයුතු කළ යුගයේ මෙතුමා මාධ්‍යවේදීන් සමඟ ඉතාමත් සුහදව කටයුතු කළේය. ඉතාමත් මිත්‍රශිලී ලෙස ඔවුන් සමඟ නොවෙනස්ව සිටියේය.

වත්මන්හි එතුමා රටේ ජනාධිපතිවරයා වුවත් පැරැණි මාධ්‍යවේදින් සමඟ ඇතිකරගත් සුහදතාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන ඒමට තරම් නිහතමානී විය.

මහින්ද රාජපක්ෂ මැතිඳුන් දේශපාලඥයින් අතර පරිණත දේශපාලඥයකු වන්නා සේම මාධ්‍යවේදීන් අතර කෘතහස්ථ මාධ්‍යවේදියකු ද වන්නේය. ඉලෙක්ට්‍රොනික වේවා මුද්‍රිත මාධ්‍ය පිළිබඳ හෝ වේවා එතුමන් තුළ පවතින පරිණතභාවය තවකෙනකුට සම කළ නොහැකි තරම් බව මා පවසන්නේ ලද අත්දැකීම් තුළින්ය. විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ කාලවකවානුවේ දී වරෙක විපක්ෂයේ මාධ්‍ය කටයුතු මෙහෙයවන ලැබුවේ ද එතුමන් විසින්මය. එතුමා ඉතා සාර්ථකව එම කර්තව්‍යය ඉටු කළේය. මහින්ද රාජපක්ෂයන් මාධ්‍යවේදීන්ට පරමාදර්ශි චරිතයකි. සංවේදි මනසකින් යුත් එතුමන් සැබෑම කලාකරුවෙකි. එතුමන් රටට මෙන්ම කලා ලොවට ද මිණි පහනක් බඳුය.

තමා ගැන නොව තමාගෙන් රටට ඉටුවිය යුතු යුතුකම ගැන පමණක් සිතන මෙතුමා තුළ වූ බෞද්ධ චින්තනය මෙන්ම දේශියත්වයට ඇති ඇල්ම කිසිදා නොවෙනස් වන්නකි.

තම රටේ ආහාර ඇඳුම් පැළදුම් මෙන්ම මව්බිමේ අගය හිස් මුදුනින්ම පිළිගත් මේ අව්‍යාජ නායකයා නිසා මුළු රටම අලුත් දේශීයත්වයකට මුලපුරා ඇත. අපේකම ගැන අපේ රට ගැන කථාකරන ශ්‍රී ලාංකිකයන් බිහිව ඇත්තේ අපේ රට ගැන හිතා කටයුතු කරන රාජ්‍ය නායකයා නිසාමය.

රටේ ජනතාවට යම් පීඩාවක් වන විට ඊට නොබියව පෙරමුණ ගැනීමේ ශක්තිය එතුමා ප්‍රකට කළේ තනතුරු නිල නාම ලැබෙන්නටත් පෙරය.

ජන විඥානය හඳුනා ගැනීමේ අසීමිත හැකියාවකින් හෙබි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දමිළ ජනතාවගේ හද ගැස්ම තේරුම් ගැනීමට අපහසුවූයේ නැත. උතුර ප්‍රධානකොට පැවති මෙම ත්‍රස්තවාදි උවදුර මුලිනුපුටා දැමීමේ දැඩි උවමනාවක් සෙසු ජනකොටස් වලට මෙන්ම දමිළ ජනතාවටද විය. මෙය මනා ලෙස අවබෝධ කොටගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවි අමෝරා සිටි ත්‍රස්තවාදීන්ට සාමය සඳහා ආයාචනා කර සිටියේය. එහෙත් ඔවුහු සිරිත් පරිදි සාමය වෙනුවට යුද්ධයම තෝරා ගත්හ.

රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමෙන් පසුව නිදහස බුක්ති විඳීන ජනතාව අතරට උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ද එක්වී ඇති බව අමතක නොකළ යුතුය. මුලතිව් සහ කිලිනොච්චියේ ජනතාව පවසන්නේ “ මහින්ද රාජපක්ෂ අවර්කල් ඔරු දෛවම්” යනුවෙනි. එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවිකෙනෙකු බවයි.

අපව අපා දුකෙන් මුදාගත් උත්තමයා සැබෑ මහා වීරවරයකු බවයි ඔවුන් පවසන්නේ. දෙමළ ජනතාව වෙනුවෙන් එතුමා දෙමළ බසින් ජනතාව ඇමතීම දෙමළ ජනතාව හදුන්වන්නේ එය තම හදවතටම ඇමතීමක් හා සමානවය. “ මක්කල් සේවෙයි මහේෂන් සේවෙය” යනුවෙන් එතුමන් වව්නියාවේ දී පවසන ලද රුවන් වැකිය දෙමළ ජනතාවගේ හදවත් තුළ රන් අකුරෙන් ලියැවී ඇත. එනම් මහජන සේවය දෙවියන්ගේ සේවය යන්නයි. මේ උදාර නායකයාණන් ගැන පැවසීමට තවත් අටුවාටිකා කුමකට ද?

මහින්ද රාජපක්ෂයන් තුළ ඇති නායකත්ව ගති ලක්ෂණ දැඩි කැපවීම ශ්‍රී ලාංකීක ජන විඥානය පිළිබඳ ගැඹුරු හා නිවැරැදි අවබෝධය ඒ හැමට වඩා එතුමන් කෙරේ වූ ජනතා විශ්වාසය එකී සාර්ථකත්වයේ පෙර නිමිති වේ. ඒ මගම පංචබල කේන්ද්‍ර පිලිවෙත යටතේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග ආයතනික ව්‍යුහය දැනටමත් සකසා අවසන් ය. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවන ධුර කාලයේ යෝධ ආර්ථික පිම්මකට දැමූ ශක්තිමත් අඩිතාලමක් වේ. මෙහිලා තවත් කරුණක් සඳහන් කිරීම වටී. පසුගිය කාල වකවානුව තුළ ජාත්‍යන්තර දේශපාලන තලයේ එතුමාගේ ප්‍රතිරූපය අතිශය වැදගත් ලෙසින් ඉස්මතු විය.

ඉන්දියාව, චීනය, පකිස්තානය, ඉරානය ඇතුළු බොහෝ රටවල ප්‍රසාදයට පාත්‍රව සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින වර්ධනය වෙමින් පැවතීම අප ලක්වැස්සන්ට ආශිර්වාදයකි. අප ජයගත යුතු ආර්ථික සංග්‍රාමයෙන් ජය ලබා ගැනීමට එය අපට මහත් පිටිවහලක් වනු නොඅනුමානය.

නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව ලෝකයේ සමෘද්ධිමත් රටක් බවට පත්කිරීම එතුමාගේ අධිෂ්ඨානයයි. එයද ජයගනු සහතිකයි.

මිනිසුන් අතරින් උපන්
මිනිසුන්ගේ දුක හඳුනන
සැබෑ මානවවාදි
අතිගරු ජනපතිතුමනි
ඔබතුමන්ට චිරං ජයතු !

සීලරත්න සෙනරත්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්