සුබ අනාගතයකට පාර කපන සංවර්ධන ක්‍රියාදාමය

සුබ අනාගතයකට පාර කපන සංවර්ධන ක්‍රියාදාමය

සේද මාවතේ හොඳම නැව් තොට සැලසුම් කරද්දී...

සංවර්ධනය යන වචනය අද සෑම තැනක ම, සෑම දෙනාගේ ම මුවින් පිටවනු අපට ඇසී ඇත. කොළඹට, බස්නාහිරට පමණක් සීමා නොවූ රට පුරා ඈත පිටිසර ගම්මානවල ජීවත්වෙන අහිංසක ගැමි ජනතාව වෙත පවා මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යා යුතු යැයි සියලු දෙනා පවසති. සමාජයේ කොතෙකුත් තැන එවැනි කතිකා ගොඩ නැගුණද එම කාර්යය නිසිලෙස ඉටු වූයේ නම් නැත.

මේ සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ සමස්ත රටවැසියන් වෙත එක සේ ගලා යෑමේ යුගයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත එම යුගය ඇරඹිණි.

සංවර්ධනය ගමට ගෙන යෑමේ ප්‍රධාන කාර්යයේ මෙහෙයුම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවැරී ඇත.

“ගම නැඟුම”, “ජාතික සවිය”, ගැමි දිරිය, සමෘද්ධි වැනි වැඩසටහන් සියල්ල මෙන් ම දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි පුනරුත්ථාපන අධිකාරිය හදබිම අධිකාරිය පවා අද දවසේ ක්‍රියාත්මක වන්නේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නායකත්වයෙනි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අප රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වනවිට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් 25 ම පවත්වා අවසන් ය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මේවා පැවැත්වූයේ ඒ ඒ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ පළමුවැන්නා වන දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ සංවිධානයෙහි, මෙහෙයවීමෙනි.

දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස 25 ම සංවර්ධන කමිටු රැස්වීම් සඳහා ඒ ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අමතරව අඩුම තරමේ පිට දිස්ත්‍රික්කවල ඇමැතිවරු 4 දෙනෙකුවත් සහභාගි කරවා ගත යුතු යැයි ජනාධිපතිවරයා තීරණයකට එළැඹ තිබේ. එම තීරණයට ඇමැති මණ්ඩලයේ පවා අනුමැතිය ලැබිණි.

ජනාධිපතිතුමා සෑම පළාතක ම සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචනය කිරීමේ රැස්වීම්වලට ගත වූ කාලයේ සහභාගි වී ඇත. මීට මාස තුනකට පෙර කිළිනොච්චියෙන් ඇරඹී ඒ වැඩපිළිවෙළ ඉකුත්දා නිමා කළේ උතුරු පළාතේ රැස්වීම වවුනියාවේදී පවත්වමිනි. මේ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලින් රටට, ජනතාවට අත්වූ යහපත කතිකා කිරීම මේ ලිපියේ අරමුණය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වල දී ප්‍රධාන අංශ 3 ක් ඔස්සේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතිකා කැරේ. පළමුවැන්න යටතේ ජනතාව ගේ ජීවන තත්ත්වය නංවාලීමේ ව්‍යාපෘති, ඒවා ක්‍රියාත්මක කිරීම, මතුවන ගැටලුවලට විසඳුම් ලබාදීම ක්‍රියාත්මක ය.

දෙවැන්න රටේ, ගමේ නගරයේ මූලික යටිතල පහසුකම් නංවාලීම පිළිබඳය. තෙවැන්න අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීම ගැන ය.

මේ අයුරින් කතිකා කරන ජනතාව ගේ අතමිට සරු කිරීමේ වැඩපිළිවෙළේදී රජයේ මූලික වැඩපිළිවෙළ තුනක් ගැන අවධානය යොමු වේ. සමෘද්ධි ව්‍යාපාරය, ජාතික සවිය, ගම නැඟුම, ගැමි දිරිය ඒවා වේ. මේවායේ පරිපාලන කටයුතු සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ ගැමි දිරිය ව්‍යාපෘතියට පවරා තිබේ.

ඔබ අප කවුරුත් දන්නා පරිදි මෙරට කුඩා වුවත්, විවිධ ස්වභාවික හා සෞන්දර්යාත්මක සම්පත්වලින් බහුල දර්ශනීය රටකි. මෙහි දේශගුණික ස්වභාවික සම්පත්වල විවිධාංගිකරණයක් දැකිය හැකි ය. අප රට ඇතුළත පැය පහක, හයක ගමන් කාලයකින් පසු ලොව ඕනෑ ම බිමක තිබෙන දේශගුණික තත්ත්වයන් අප පුංචි රටෙන් දැක බලා ගැනීමට පුළුවන්කම ලැබේ. එය අප රට ලැබූ මිල කළ නොහැකි දායාදයකි.

අප රටේ දිස්ත්‍රික්කයෙන්, දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන දේශගුණික තත්ත්වයත්, ස්වභාවික සම්පත් විවිධාකාර ය. එමෙන් ම මානව සම්පත් විෂයෙහිද විවිධාකාර වෙනස්කම් දැකිය හැකි ය. එබැවින් කොළඹ ශීත කාමරයක සිට රටේ සෑම දිස්ත්‍රික්කයකම පවතින ගැටලුවලට සාර්ථකව විසඳුම් සෙවිය නොහැක.

දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට එක ම අංශයේ වුව ප්‍රශ්නවල වෙනස්කම් දැකිය හැකි ය.

ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරියටම ගෙන යන බැසිල් රාජපක්ෂ ඇමතිවරයා

උදාහරණයක් ලෙස ගතහොත් පොළොන්නරුව, අම්පාර වැනි දිස්ත්‍රික්කවල ජීවත්වන ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න, හම්බන්තොට හෝ පුත්තලම හෝ ජීවත්වෙන ගොවීන්ට නොතිබෙන්නට පුළුවනි. වැසි ජලයෙන් ගොවිතැන කරන දිස්ත්‍රික්කයක ජනතාව වෙත ඉහළ ජලධාර ව ගොවිතැන් කරන ජනතාවට ලබාදෙන විසඳුම් නොගැලපේ.

හේන් ගොවිතැන කිරීමට පාරම්පරිකව කටයුතු කරන පිරිස් වෙත බලපත්‍ර ලබාදීම වේගවත් කළ යුතු අතර, මැද රට ජීවත් වන ජනතාවට වී ගොවිතැනට වඩා එළවළු හා පලතුරු බෝග වගාවට ඉඩකඩ පහසුකම් හා අනෙකුත් සේවා ලබාදිය යුතු ය. මෙවැනි දේ අවබෝධ කර ගැනීමට කොළඹ ශීත කාමරවල සිට කළ නොහැකිය. එසේ නම් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්විය යුතුය. ඒවාට වැඩි වශයෙන් රජයේ මැති ඇමැතිවරු ප්‍රධාන දේශපාලන අධිකාරියේ සහභාගිත්වය තිබිය යුතු ම ය.

දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු කිරීමට දිරිය ලබාදීමේ දී සැබෑ ලෙස ම එම දිස්ත්‍රික් වාසීන් ගේ ප්‍රශ්න මැනැවින් හඳුනා ගැනීම වටින්නේ ය. එමෙන් ම වගාවට සුදුසු බෝග, පොහොර සහනාධාරය නිසිලෙස ලබා දිය යුතු ය. පශු අස්වනු තාක්ෂණය හඳුන්වා දිය යුතු ය. අස්වැන්නට හොඳ වෙළෙඳපොළක්, ගොවි ජනතාවට හිමිකර දිය යුතු ය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල දී මේවාට නිසි විසඳුම් ලබා දේ. ගොවිතැන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය උපදේශනාත්මක දිරිය, කලට වේලාවට ජලය වැනි දේ ගොවීන්ට ලබාදිය යුතු ය. ඒ නිසා ම කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවි සංවිධාන ජාලය එකට අත්වැල් බැඳගත යුතු ය. ඒ සඳහා කළ යුත්තේ, සියලු ම ගොවි සංවිධානවල නව යෝජනා වැඩි වශයෙන් කතිකා කර ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රදානය කිරී ම ය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී රජය එවැනි දේට විශේෂයෙන් කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ වැව්, අමුණු සහ මහා පරිමාණ වැව් හා ජලාශ ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවලට මුදල් ලබා දේ. කෘෂිකර්මාන්ත අංශයේ පමණක් නොව කර්මාන්ත හා සේවා අංශවල ද දියුණුවට සාර්ථක සහ මහජන උපයෝගිතා යටිතල පහසුකම් නංවාලිය යුතු ම ය. ගමේ නගරයේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා මාර්ග, විදුලි බලය, ජලය, පාලම්, වැව් අමුණු, පාසල්, රෝහල්, දුරකථන සේවා වැඩි දියුණු කිරීමට අතිවිශාල මුදලක් ආයෝජනය කොට වැඩසටහන් ක්‍රියාත්මක ය.

ග්‍රාමීය ජනතාව ගේ ජීවන තත්ත්වය නැංවීමට ඔවුන්ට සහනාධාර ලබා දෙන අතරම ක්‍රමිකව දියුණුව කරා පිය මැනීමට අවශ්‍ය ව්‍යවසායකත්වයන් දියුණු කිරීම, ඊට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට බැංකු ණය ලබාදීම යනාදිය ද සමෘද්ධි ව්‍යාපාරය හා සෙසු මේ අංශ පාලනාධිකාරිය භාර ආයතන විසින් ලබා දේ.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල දී සිදුවූ තවත් ඉතා ම වැදගත් ම කාර්යය සේ අප දකිනුයේ, සෑම සංවර්ධන යෝජනාවක් ම ජන සභාව හරහා පහළ සිට ඉහළට ආ ඒවා වීම ය.

ගමේ ජනතාව ගේ මූලික අවශ්‍යතා සපුරාලන යෝජනා සාකච්ඡා කොට, අනතුරුව ගමේ පිරිස අනුමත කළ එම යෝජනා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට යොමු කැරේ. එහි දී ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර අනුමැතිය ලබා ගැනීම සිදු වේ. දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේ දී මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලබා දී ඇති මුදල් හිඟ නම් අතිරේකව පවා මුදල් ලබා දේ.


:

සංවර්ධනයේ නව පිටුවක් පෙරලුනේ මහින්ද රාජපක්ෂ පාලනයන් සමගයි...

මේ වසර අවසාන වීමට පෙර මෙම වසරේ ජනතාව අනුමත කළ යෝජනා ක්‍රියාත්මක කොට ජනතාවට ප්‍රතිලාභ ලැබීමට ඉඩ හැරිය යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා නිතර ම ප්‍රකාශ කරන්නෙකි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල දී විසඳුම් ලබා දෙනුයේ, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල දී විසඳුම් ලබාගත නොහැකි ජාතික මට්ටමින් තීන්දු ගෙන විසැඳිය යුතු ප්‍රශ්නවලට ය.

 මෑතක දී නිමා වූ නුවරඑළිය දිසා රැස්වීමේ දී අපූර්ව ප්‍රශ්නයක් පැන නැඟුණි. එනම් මේ දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ගවල නඩත්තුව හා හිමිකාරිත්වය කිසිම රාජ්‍ය ආයතනයකට පැවැරී නොතිබීම ය.

මෙරට මාර්ග පද්ධතිය ජාතික මාර්ග, පළාත් සභා මාර්ග, පළාත් පාලන ආයතන විසින් පාලනය කරන මාර්ග ලෙස හැඳිනගෙන තිබේ. මෙසේ වූවත් නුවරඑළියේ ඇතැම් මාර්ග පාලනය මෙකී ආයතන තුනෙන් එකකටවත් හිමි වී නොමැත. මේ ප්‍රශ්නය ඇසූ සැණින් බැසිල් රාජපක්ෂ මහතා ඊට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දෙන්නැයි දේශපාලන බලධාරින්ට, රජයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

අප රටේ හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, මාතලේ, මොනරාගල යන දිස්ත්‍රික්ක ඇතුළු තවත් කිහිපයක වල් අලි ප්‍රශ්නය දක්නට ලැබේ. ජනතාවත්, වල් අලියනුත් අතර පවතින ගැටුම, ගැටුමක් ලෙස නොව සහජීවනයක් ලෙස සිතා ප්‍රශ්නවලට පිළියම් යෙදීමට මේ රැස්වීම්වලදී තීරණය කැරිණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වල් අලින්ට ආහාරය සඳහා රජයේ ඉඩම්වල ආහාර බෝග වගා කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇරඹීමට තීරණය කෙරුණි. පුත්තලමේ හා කුරුණෑගල දිසාවේ වල් අලින්ට ගම් වැදීමට නොහැකි වන සේ අලි වැට ඉදිකිරීමටත්, මොනරාගල දිසාවේ අලි වැට ඉදිනොකොට තව ටික කලක් කරුණු අධ්‍යයනය කොට විසඳුම් ලබාදීමටත් තීරණය කැරිණි.

කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත්, වෙළෙඳාම් වැනි අංශවල වැඩි වශයෙන් නියැලීමට අඩු ආදායම්ලාභී පවුල්වල පිරිස් යොමු කිරීමටත්, ඒ සඳහා ලබා දෙන මූල්‍ය සහනයන් වැඩි කිරීමටත් තීරණය ගැනිණි.

සංවර්ධනය සිදුකරන්නේ යැයි පවසමින් පාරිසරික හා ස්වභාව සෞන්දර්ය නසා දැමීමට ඉඩ නොතැබීම, එවැනි දේ සිදුවන්නේ නම් වැළැක්වීම මේ කමිටුවල දී සිදු වූ සේවාවකි.

ජනතාවගේ ප්‍රශ්නවලට, ජන සභා හරහා ම විසඳුම් සාකච්ඡා කොට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය රටට හඳුන්වා දී ඇත. එසේ නොමැතිව කොළඹ සිට ජනතා ප්‍රශ්නවලට හරි අවබෝධයකින් තොරව විසඳුම් ලබා දීමේ ක්‍රමවේදයට තිත තබා ඇත.

මෙය රටටත්, ජනතාවටත් සුබ අනාගතයක් ඇති කිරීමේ මඟවනු නොඅනුමානය.


සබැඳි පුවත්