අනුහස් ඇති රාජ්‍ය නායකයාට අනුහස් ඇති ග්‍රහ බලයක්

 අනුහස් ඇති රාජ්‍ය නායකයාට අනුහස් ඇති ග්‍රහ බලයක්

මෙන්න අලුත්ම ඡ්‍යොතිෂ අනාවැකි

අනුහස් ඇති රාජ්‍ය නායකයාට අනුහස් ඇති ග්‍රහ බලයකින් දෙවන ධුර කාලය ආරම්භ කිරීමට වාසනාව ලැබී ඇති අද දින ඒ පිළිබඳ ව ඡ්‍යොතිෂයට අනුව කරුණු විග්‍රහ කිරීමත් ඉතා වැදගත් ය. එබැවින් ජනපතිඳුන් මෙතෙක් ආ ගමන, ඒ තුළ සිදුවූ විශේෂී සිදුවීම් සහ රටේ අනාගතය පිළිබඳ ඉන්දියන් එග්සලන්ස් සම්මානලාභී ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් මෙතෙක් ආ ගමන ගැන මුලින්ම යමක් සඳහන් කිරීම යෝග්‍යයි නේද?

”මහින්ද රාජපක්‍ෂ මහතා එදා විපක්‍ෂ නායකයා වන බවත්, 2004 අප්‍රේල් 02 වෙනිදා පැවැති මහ මැතිවරණයෙන් අගමැති වන බවත්, මම ප්‍රකාශ කෙළේ එම සිදුවීම් දෙක වීමට මාස හයකට පමණ පෙර සිටයි. එදා රට තුළ පැවැතියේ බොහොම තීරණාත්මක අවස්ථාවක්. රටේ සියලු ජනතාව තුළ පැවැතියේ ද අවිනිශ්චිත බවක්.

2005 නොවැම්බර් 20 වෙනිදා වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්දරයේ හැටියට ඔහු මේ රටේ රාජ්‍ය නායකයා වී සිටිය යුතුයි. නමුත් අපිට ගැටලුවක් මතු වූවා 2005 ජනාධිපතිවරණය පවත්වයිද? නැද්ද? කියලා. එයට හේතුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත කාලය වූයේ 2006 වසර. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයේ බලයත් සමඟ 2005 ඔක්තෝබර් 07 වෙනිදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගෙන 2005 නොවැම්බර් 17 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වූවා.

ඒ වෙලාවෙත් බොහෝ දෙනෙක් සිතුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරයි කියලා. නමුත් මේ රටේ සිටි බොහෝ ඡ්‍යොතිෂවේදීන් ප්‍රකාශ කෙළේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වන බවයි. ඒ අනුව ම එය සිදුවුණා.

ජනපතිතුමා ජයසිරි මහා බෝ සමිඳුන් ආශීර්වාදය ලබමින්...

ඉදිරි සංවර්ධනයේ සැළසුම්...

ඒ වගේම 2008 අයවැය ඉදිරිපත් කරන වෙලාවෙත් එහි ජය පරාජය ගැන ජනතාව තුළ සැකයක් මතු වුණා. එදා එම අයවැය පරාජය වූවා නම් මේ රටේ යුද්ධය අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. නමුත් ජනාධිපතිතුමාගේ වාසනාවට එදා අයවැය ජයග්‍රහණය කළා.

ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ව සිටි කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයට ගිය අතර එයත් ජනතාවට ප්‍රශ්නයක් වුණා. ඒ කුමක් වුවත් එදා අයවැයත් ජයග්‍රහණය කළා.

ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායම් තමන්ගේ බලය රඳවාගෙන සිටින්නේ අවතැන් වූ ජනතාව ප්‍රාණ ඇපයට තබාගෙන. ප්‍රභාකරන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි නන්දිකඩාල් කලපුවේ අවතැන් පිරිස මී මැසි පොදියක් මෙන් එදා මේ පැත්තට නොආවා නම් අද වනතුරුත් යුද්ධය පවතිනවා.

නමුත් මහා ආශීර්වාද බලයක්, මහා දේව බලයක් හිමි දියසෙන් කුමරු ලෙස හඳුන්වන මේ රාජ්‍ය නායකයා නිසා එදා ඒ අවතැන් ජනතාව එකට එකතු වී පැමිණියා. එය මහා පුදුමයක්.

තවද ලෝකයේ අද තිබෙන තත්ත්වය අනුව එක් පොලිස් ස්ථානයක සිට තවත් පොලිස් ස්ථානයකට අපරාධකරුවෙක් රහසේ රැගෙන යා නොහැකියි. නමුත් කේ. පී. නම් ජාත්‍යන්තර බලවතා රටකින් රටකට ගෙනාවෙ කිසිවෙකුට නොදැනෙන ලෙස. මෙය දේව හාස්කමක්.

මෙවැනි විශේෂ සිදුවීම් රැසක් අතර 2010 ජනවාරි 26 වෙනිදා පැවැති ජනාධිපතිවරණයට ජනාධිපතිතුමාට එරෙහි ව විපක්‍ෂයෙන් සරත් ෆොන්සේකා මහතා තරගයට පිවිසියා. ඒ වෙලාවෙ රට පුරා කටකතාවක් පැතිරුණා ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ ඡන්ද ලක්‍ෂ දහඅටකටත් වඩා ඉහළ අගයකින්.

පළමු වතාවට වඩා දෙවැනි වතාවේ ලැබූ ඡන්ද ප්‍රමාණය ඉහළ යාමට හේතුව වූයේ කාටත් විසඳිය නොහැකි වූ යුද්ධය නිමා කිරීමයි. දෙවෙනි වතාවට වඩා තෙවන වතාවේ ලබන ඡන්ද ප්‍රමාණය වැඩිවීමට හේතු වන්නේ රටෙහි සිදුකරන සංවර්ධන ව්‍යාපෘතීන් බව සඳහන් කළ යුතුයි.

ලොව ප්‍රබල රටවලට යුද්ධය නිමකිරීමට නොහැකි වූ මොහොතක තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වන අපේ රට යුද්ධය අවසන් කළා...”

* ජනපතිඳුන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තිය ඡ්‍යොතිෂයට අනුව කෙසේ වේවිද?

අද දින පෙරවරුවේ ජනාධිපතිතුමා දෙවෙනි වතාවට ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. ඒ වගේම ඊයේ දිනයේ අපේ රටේ අප සැමගේම සිහිනයක් ව තිබූ හම්බන්තොට වරායේ නැව් කටයුතු වැඩ ආරම්භ කළා. මේ වෙලාව වෙනකොට මහා බලගතු රාජයෝගයක් ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පතේ පවතිනවා. එය රාජයෝගවලින් අංක එකේම රාජයෝගය.

සාමාන්‍යයෙන් ඡ්‍යොතිෂය ගැන සුළුවෙන් දන්නා කෙනෙක් වුවත් මේ රාජයෝගය ගැන දන්නවා. එය “හුචක” නම් මහා පුරුෂ යෝගය ලෙස හඳුන්වනවා. ග්‍රහලොව බලගතුම ග්‍රහ ලොව සුබදායක ම ග්‍රහලොව විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති ග්‍රහයා ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ ම ඉන්නවා. ලක්‍ෂයක් දෝෂ භංග කරන ප්‍රබල ම ග්‍රහ යෙදුමක් ගෙන දෙමින් දිග් බලය නම් සුවිශේෂී බලයක් හේතුකොට ගෙන පෙර පින් බලය ගැන පවසන භාග්‍යස්ථානය නමින් හඳුන්වන 9 වැන්නේ තුලා රාශියට අධිපති සිකුරුත් බලගතුව ඉන්නවා. එනිසා අද දින මහා බලගතු ග්‍රහ යෙදුමක් යෙදී තිබෙනවා.

මේ ග්‍රහ තත්ත්වය අනුව දෙවෙනි වරටත් මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම් දෙන අද දින එතුමා උපන් නැකතම යෙදී තිබෙනවා. එය ඉතා බලගතු නැකතක්. ග්‍රහ ගමන් අප කාටවත් වෙනස් කළ නොහැකියි. මේ රටේ රාජ්‍ය නායකයාගේ වාසනාවට ඊටත් වඩා රටේ ජනතාවගේ වාසනාවට මහා විශාල බලගතු ග්‍රහ යෙදුමක් ඊයේ සහ අද දිනට යෙදී හමාරයි. පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා සිට මේ ග්‍රහ යෙදුම ආරම්භ වූවා.

පංච මහා පුරුෂ යෝග හේතුකොට ගෙන ගුරුගෙන් යෙදුණු ලක්‍ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුම හා දිග් බලය නම් බලගතු ග්‍රහ යෙදුම හේතු කොටගෙන පෙර පින් බලය ගැන පවසන 9 වැන්නේ සිකුරු ඉතාම ස්වක්සේත්‍ර හා මූල ත්‍රිකෝණ බලයෙන් සිටීම අනුවත් රටේ පාලන බලය දකුණු පළාතට ගොස් මේ රටේ ඡ්‍යොතිෂවේදීනුත් නොහිතන කාලවකවානුවක් මේ රාජපක්‍ෂ පරපුර රට පාලනය කරනවා. මෙය දශක හැටියටත් සඳහන් කළ නොහැකියි. ඒ ගැන මීට වඩා යමක් සඳහන් කරන්නෙ නෑ. මේ තත්ත්වය කාටවත් වෙනස් කළ නොහැකියි. මෙතෙක් මා කියූ අනාවැකි කිසිත් වැරැදී නෑ. එවගේම නිවැරැදි ම අනාවැකියක් ඒ සඳහන් කළේ.

* ජනාධිපතිතුමාට හිතවත්ව සිටි සරත් ෆොන්සේකා මහතාගේ වෙනස්වීම ගැන යමක් සඳහන් කළොත්?

”ෆොන්සේකා මහතාගේ කේන්දරය හැමෝම දන්නවා. එතුමා ගොඩනඟා ගත් මහා ප්‍රතිරූපය විනාශ වන ග්‍රහ තත්ත්වයක් උදා වුණා. එය අපි මේ වෙලාවෙ විතරක් නෙමේ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදීත් නොබියව ප්‍රකාශ කළා. ෆොන්සේකා මහතාට තිබුණේ ආරක්‍ෂක අංශයේ ප්‍රධානියෙක් වන යෝගයක් පමණයි. රටක රාජ්‍ය නායකයෙක් වී බහුතර ජනතාවගේ සිත දිනාගැනීමේ හැකියාවක් ෆොන්සේකා මහතාට තිබුණේ නෑ.

ශ්‍රේෂ්ඨ වීරයෙක් මෙන් සිට ජීවිතයෙන් සමුගැනීමට සිටි මේ පුද්ගලයා මෙවැනි ප්‍රශ්නයක පැටලුණේ ග්‍රහ අපලත් සමඟ. මෙය ලංකාවේ පමණක් සිදුවු දෙයක් නෙමේ. ලොව විවිධ රටවල මෙවැනි සිදුවීම් වී තිබෙනවා.

ඒ වගේම එතුමා ගොඩනඟා ගත් කීර්තිය, වටිනාකම, විනාශ වන යෝගයකුත් ලැබුවා. නැවත කිසිම වතාවක මෙතුමාගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ...”

* රට තුළ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරිය කෙසේද?

මේ රාජපක්‍ෂවරුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වුණේ යුද්ධය අවසන් කිරීම පමණක් නොවේ. රටේ බහුතරයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කරන බවත්, රටට සමෘද්ධිය උදාකරන බවත් දැන ගත්තා.

ලෝකයේ සමෘද්ධිමත් රටවල් අතර 2009 වසරේ අපි 68 වෙනි ස්ථානයේ රැඳී සිටියා. නමුත් මේ වෙලාව වන විට අපි 59 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ අපි පියවර 9 ක් ඉදිරියට ඇවිත්. ඒ නිසා මේ රට සමෘද්ධිමත් රටක් වනවා කියන එක ගැන නම් මට කිසිම සැකයක් නෑ.

ඒ වගේම රටේ සමෘද්ධිමත් බව පෙන්වන ග්‍රහ තත්ත්වයක් ඊයේ සහ අද යන දෙදින තුළ උදාවෙනවා. ලබන වසරේ මේ දවස් වන විට ලෝකයේ සමෘද්ධිමත් රටවල් 50 අතරට අපි එකතු වෙනවා.

වසර 30 ක් පුරා පැවැති යුද්ධය නිසා සංවර්ධනය අඩාල වූ රටක් මෙවැනි සංවර්ධනයක් ලැබීම සැබවින්ම තුණුරුවන්ගේ ආශීර්වාදය හා දේව බලය හිමි රටේ ජනාධිපතිතුමාගේ වාසනාවට සිදුවූ දෙයක්.

මේ වන විට රට තුළ යෝධ සංවර්ධන ව්‍යාපෘති 20 ක් පමණ ආරම්භ වී හමාරයි. කාලයක් තිස්සේ අඩාල වී තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ගැනීමට මේ විශ්ව කර්ම නායකයාට හැකි වුණා.

ඡ්‍යොතිෂයට අනුව 2012 අගෝස්තු 04 වෙනිදාට පෙර මේ දැවැන්ත ව්‍යාපෘතිවල වැඩ අවසන් වෙනවා. එය අනිවාර්යයි. සිංගප්පූරුවේ ලීක් ක්වාන් යූට මැලේසියාවේ මහතීර් මොහොමඩ් වගේ අයට රට සංවර්ධනය කිරීමට ටික කාලයක් ගතවුණා. මම පැහැදිලිව කියනවා ඊට වඩා කෙටි කාලයකින් අපේ රටේ සංවර්ධනය ඇතිවෙන බව.

එය හිතා ගැනීමත් අපහසුයි. ඒ වගේම ජනපතිතුමාගේ දෙවන ධූර කාලය ආරම්භ වන මොහොතේ ඇති ග්‍රහ තත්ත්වය අනුව විශේෂයෙන්ම භූමි සම්පත් පෙන්නුම් කරනවා. ඒ අනුව සබරගමු, දකුණු, උතුරුමැද යන පළාත්වල ජනතාවට මැණික් හමුවීමත් පෙන්නුම් කරනවා. 2012 අගෝස්තු 04 වෙනිදාට පෙර අනිවාර්යයෙන් ඒ වාසනාව මේ ප්‍රදේශවල ජනතාවට උදා වෙනවා. දැන් සිටම ඒ වාසනාව තිබෙනවා.

* එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ පැවැත්ම කෙසේද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ උත්පත්ති ග්‍රහ තත්ත්වය දෙස බලන විට මෙතුමාට විරුද්ධව ඉන්නෙ 10% ක් 12% ක් වගේ සුළු පිරිසක්. ඒ රට දියුණු වෙනවාට අකමැති අයයි.

දකුණු ආසියාවේ ජන අනුපාතය අනුව එක්සත් ජාතික පක්‍ෂය කියන්නෙ ප්‍රබලම පක්‍ෂයක්. මමත් එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෙක්ගේ පුතෙක්. ඒත් මේ පක්‍ෂය නැවත ගොඩගන්න නම් බෑ. එක්සත් ජාතික පක්‍ෂයේ තිබූ වාසනාවන්ත කාල සීමාව අවුරුදු 60 යි. දැන් ඒ කාලය ඉවරයි. ලෝකයේ සිටින බලගතුම රාජ්‍ය නායකයන් පැමිණ එක්සත් ජාතික පක්‍ෂය දියුණු කරන්න හැදුවත් එය කවදාවත් කරන්න බෑ.

ජනතා විමුක්ති පෙරමුණ ඉතා පහත්ම තත්ත්වයට වැටී හමාරයි. ඒ පිරිසට නැවත ගොඩඒම අපහසුයි. දේව බලයෙන් දේව හාස්කමින් දේව ආශීර්වාදයෙන් බිහිවූ නායකයෙක් අද ඉන්නෙ. එය ජනතාව තේරුම් ගත යුතුයි...”

* ජනාධිපතිතුමාට රට සමෘද්ධිමත් කිරීමට සැමගෙන් ලැබෙන සහයෝගය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් ඡ්‍යොතිෂයට අනුව එය කෙසේද?

ජනාධිපතිතුමා වටා සිටින පිරිසගේ වෙනස්වීමක් කවදාවත් ඇතිවෙන්න බෑ. විපක්‍ෂයේ අයගෙන් තවත් පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවට එකතු වෙනවා. ආණ්ඩු පක්‍ෂය තුළ ජනපතිතුමාට විරුද්ධව අර්බුදයක් කිසිදා ඇතිවන්නේ නෑ.

දියසෙන් කුමාරයාගේ කතාව හරි පුදුමයි. ශ්‍රී ලංකාවේ ජනතාව අනාදිමත් කාලයක සිට බලාගෙන හිටියේ මේ දියසෙන් කුමරුගේ පැමිණීම. රට අගාධයකට වැටුණු මොහොතේ එම අගාධයෙන් රට ගොඩගැනීමට දියසෙන් කුමරු ලෙසින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රට භාර ගත්තා.

අතීතයේදී දකුණු පළාතේ කුඩා ළමයෙක් අඬනකොට ඒ ළමයාගේ ඇඬීම නතර කරන්න දෙමාපියන් මේ දියසෙන් කුමරුගේ කතාව කියනවා. එවිට කිසිත් නොතේරෙන ළමයා ඇඩීම නතර කරනවා.

ඒ ජනතාව පුල පුලා බලා සිටි නායකයා අද රට භාරගෙන හමාරයි. මෙය බෞද්ධ ඉතිහාසයේ සඳහන් වූ සැබෑ සත්‍ය සිද්ධියක්. රුහුණෙන් බිහිවූ නායකයන් රටට වැඩක් කළා. පළවෙනි විජයබා රජතුමා මේ රටේ පාලනය භාර ගත්තෙ ක්‍රි. ව. 1065. එතැන් සිට ක්‍රි. ව. 1120 දක්වා වසර 55ක් රට පාලනය කළා. රට සමෘද්ධිමත් භාවයට පත්කළා. එසේම වත්මන් ජනපතිතුමාත් රට සමෘද්ධිමත් භාවයට පත් කරනවා ස්ථිරයි.

විශේෂයෙන් වර්තමානය වන විට ලෝකයේ සිටින ජනපි‍්‍රයම රාජ්‍ය නායකයින් පස්දෙනා අතරට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් එක්වී සිටින බවත් සඳහන් කළ යුතුයි.

”අනුහස් ඇති රාජ්‍ය නායකයාට අනුහස් ඇති ග්‍රහ බලයකින් දෙවන ධූර කාලය ආරම්භ කිරීමට වාසනාව ලැබී ඇත.”


සබැඳි පුවත්