නව ශ්‍රී ලංකාවේ නියමුවා ජනාධිපතිතුමායි

නව ශ්‍රී ලංකාවේ නියමුවා ජනාධිපතිතුමායි

“විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර” නාමෝපලක්ෂිත අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාද්වීපයෙහි විධායක ජනාධිපතිවරයා ලෙස දෙවන වතාවට ද දිවුරුම් දීමට නියමිත මෙම ඓතිහාසික අවස්ථාවෙහි එතුමා පිළිබඳවත් එතුමාගේ කාර්ය සංසිද්ධිය පිළිබඳවත් තැන්පත් නිසල සිතුවිල්ලෙන් යුතුව අවධානය යොමුකිරීම ඉතා වටනේය.

මහින්ද රාජපක්ෂ ජනපති චරිතය විවිධ අංශවලින් ශෝභාමත් වූවකි. මෙරට දේශීය අනන්‍යතාව මැනවින් පිළිබිඹු කෙරෙන එමෙන්ම බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ වටිනා ගුණාංග බොහෝ සෙයින් සිය දිවි මගට සම්බන්ධ කරගත් ජනපි‍්‍රය නායකයෙකු වශයෙන් එතුමා සම්භාවනාවට පාත්‍රව සිටී.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාද්වීපය නිදහස ලබා දෙවන දශකය උදාවත්ම දේශීය සංස්කෘතිය සහ අනන්‍යතාව පාදක කොට ගත් වර්ධනයක් මෙරට දේශපාලන – ආර්ථික - සමාජ - සංස්කෘතික හා අධ්‍යාපනික යන සියලු ක්ෂේත්‍රයන්හිම සිදුවිය යුතු බවට පිළිගත් මතවාදය ප්‍රබල බලවේගයක් වශයෙන් ඉස්මතු විය.

ඒ නිසා මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දේශපාලන සංවිධාන බිහි වූ අතර අභිලාෂවත් දක්ෂතාවකින් හෙබි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රී නිශ්ශංක, පිලිප් ගුණවර්ධන, ඩී. ඒ. රාජපක්ෂ, ටී. බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක වැනි නායකයෝ ජනතා විශ්වාසය දිනා ගනිමින් රාජ්‍ය බලය ලබා ගත්හ. (ඉහත කී ක්ෂේත්‍රයන්හි විවිධ පරිවර්තනයන් සිදු කෙරුණු එම ක්‍රියාදාමය වර්තමානයටද වලංගුව පවතී.)

එකී සමාජ – ආර්ථික සංවර්ධනයන් හා දේශපාලන බලවේගය ද අද අර්ථවත් කරන්නේත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන්නේත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.

ඉතා වැදගත් කාරණය වන්නේ එකී ප්‍රබෝධාත්මක දේශපාලන වර්ධනය වර්තමානයට ගැලපෙන ආකාරයෙන් ප්‍රායෝගික හා ජීවමාන ස්වරූපයෙන් අර්ථවත් කිරීමට ජනාධිපතිතුමන්ගේ මෙහෙය වීම විශේෂයෙන් උපයෝගී වී තිබීමයි.

අතිගරු ජනාධිපතිතුමන් විධායක ජනාධිපති ධුරයට පත්ව 2005 වසරේ සිට මේ දක්වා කළ කාර්ය සංසිද්ධිය කෙරෙහි සත්‍යගරුකවම අවධානය යොමුකරන විට එය ප්‍රශස්ත බව වැටහේ. පසුගිය තිස් වසරක කාලය තුළ රටම ව්‍යසනයට – පීඩාවට – අවිනිශ්චිත තත්වයට පත්කළ කුරිරු භයානක විනාශකාරී ත්‍රස්තවාදය හා යුද්ධය විජයග්‍රහණය කළේ විශ්මිත ආකාරයෙනි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එකී ත්‍රස්තවාදය හා යුද්ධයට බලපෑ හේතු සාධක මැනවින් හඳුනාගෙන පරිණත රාජ්‍යතාන්ත්‍රික ඥානය මෙහෙයවමින් “ආරම්භ – නික්ඛම – පරක්කම” යන න්‍යායට අනුව පටන්ගැනීම – පවත්වාගෙන යෑම – ප්‍රතිඵල අත්කර ගැනීම වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයෙන් සිදු කළේය.

එකී බිහිසුණු යුදමය වාතාවරණය තුළ දීත් රටේ සාමාන්‍ය ජන ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වූ ආහාර - සෞඛ්‍ය - ගමනාගමන – බලශක්ති මෙන්ම සමාජ ශුභ සාධන – අධ්‍යාපන, සන්නිවේදන සේවාවන්ද අඩපණ නොකර පවත්වා ගැනීමට සමත් විය. යුද්ධය නිසා සරණාගත වූ තුන් ලක්ෂ පනස් දහස ඉක්මවූ ලොකු, කුඩා, බාල, මහළු, තරුණ පිරිස දෛනිකව පෝෂණය කළේ සියලුදෙනා ජීවත් කරවීමේ මහා වගකීම පාලකයෙකු ලෙස සිත දරා ගනිමිනි.

සමස්ත වශයෙන් අද රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා ද්විපයෙහි තීරණාත්මක හා හැඩගැසෙන අවධියක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

දැනට ක්‍රමාණුකූල සංවර්ධන ක්‍රියාවලියක් දියත් කරනු ලැබ තිබේ. මහා මාර්ග, කෘෂිකාර්මික, විදුලි හා බල ශක්ති, ඉදිකිරීම්, ගුවන් හා වරාය සම්බන්ධ ප්‍රතිඵල දැනටම ලැබෙමින් පවතී.

ජනතාවගේ සදාචාර හා ආධ්‍යාත්මීය සංවර්ධනය අරමුණු කොට මාහැඟි ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය නායකත්වය තුළින් ලබාදෙන ආදර්ශවත් ආගමික මාර්ගෝපදේශකත්වය බෙහෙවින්ම අගය කළ යුතුය. සෑම පුන් පොහෝ දිනකම නියමිත වේලාවට සපිරිවරින් ධර්ම ශ්‍රවණයෙහි යෙදීම අතිගරු ජනාධිපතිතුමන්ගේ වටිනාම ආදර්ශයකි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කොට ජනතාව “පිළිවෙතින් පෙළ ගැස්වීම” සඳහා අවංක උත්සාහයක් දරමින් කටයුතු කරයි.

සුගති සංඛ්‍යාත මනුෂ්‍ය ආත්මභාවය අර්ථවත් වීම කෙරෙහි බලපාන ධන්‍ය පුණ්‍ය සම්පත්තිය අතිගරු ජනාධිපතිතුමන් ගේ උපතේ සිටම උරුම වී තිබුණි.

වාසනා ගුණයත් උපාධි සම්පත්තියත් (සිත් ගන්නාසුළු රූප ශෝභාව) දර්ශන සම්පත්තියත් (දස්සන සම්පත්ති) සුභාෂිත භාෂිත්වයත් සුකතකම්මකතභාවයත් එතුමා සතු වූ හෙයින් ජන ප්‍රසාදය හා නායකත්වය ගැඹුරු ලෙස තහවුරු කරගැනීමට එතුමා දක්ෂ විය.

ස්වකීය දේශපාලන ගමන් මඟෙහි විවිධාකාරයෙන් මතුවූ සංකීර්ණ අභියෝග සාර්ථකව ජය ගැනීමට ජනපතිඳු සමත් වූහ. “නුවනැ’ති දිවි මඟක ශ්‍රේෂ්ඨත්වය (පඤ්ඤා ජීවීං ජීවීතමාහු සෙට්ඨං) භාවිතය තුළින් අර්ථවත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ධුරය, අමාත්‍ය ධුරය, විරුද්ධ පක්ෂයෙහි නායකත්වය, අග්‍රාමාත්‍ය ධූරය සහ ජනාධිපති අපේක්ෂකත්වය දක්වා පියවරින් පියවර ඉදිරියට ගමන් කිරීමේ දී එතුමාගේ ඥානවන්තභාවයත්, වීර්යවන්ත භාවයත් ශූරවන්තභාවයත් මැනවින් ප්‍රකට විය. (අප්පමන්තො උට්ඨානවතො,සතිමතො ආදී දහම් පද මෙහිලා සිහියට නැඟේ) එතුමා ගම, පන්සල, බත බුලත මැනවින් දැන හැඳින ගත් නිරහංකාර, අව්‍යාජ, සරල දිවිමගක වටිනා නිදසුනක් විය.

මෙරට ගරුතර මහා සංඝයා වහන්සේ මහින්ද රාජපක්ෂ ශූරීන් ගේ මෙම ගමනට හැමවිටම ප්‍රසාදයෙන් යුතුව ආසිරි පැතුවේ ඒ නිසාය. සෙංකඩගල පුර අති සම්භාවිත මල්වතු මහා විහාරය “තුන් කල් බලා” එතුමාගේ ගමන් මගට සෙත් පතන්නට යෙදුනි. එහි සාර්ථකත්වය ඉතා කෙටි කාලයකින්ම ප්‍රකාශ විය.

සාපේක්ෂව - තුලනාත්මකව හා විමර්ශනාත්මකව සිතා බලන විට නව ශ්‍රී ලංකාවේ නියමුවා වන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව පිළිගත යුතු සත්‍යය යි. අද එතුමා නොසැලී - නොපැකිළිව අවංකව එඩිතරව හා කෘතහස්තව රට මෙහෙයවමින් සිටී.

එතුමාට තෙරුවන් සරණයි!
සිරි දළදා සමිඳු පිහිටයි!
සුඛී දීඝායුකො භව.

ආචාර්ය

නියංගොඩ ශ්‍රී විජිතසිරි

සියම් මහා නිකායේ

මල්වතු මහා විහාර පාර්ශවයේ

අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්