ජන මූල නායකයා

ජන මූල නායකයා

මෙරට අධ්‍යාපනයෙන් හුස්ම ගන්නා දේශපාලන විචාරකයින් සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව අතර තිබෙන පැහැදිලි කිරීම් නිවැරදිව භාවිතාවට ගන්නවද යන්න ගැටලුවකි. අද ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාව විචාරය කෙරෙන්නේ පාක්ෂික අරමුණිනි.

අප කියවා ඇති අතීත ශ්‍රී ලංකාවේ දේශපාලනය එනම් 1950 ගණන්වල සහ 1900 මුල් කාලීන ලංකා දේශපාලන ව්‍යාපාරය, ජාතික ව්‍යාපාරය, 56 දේශපාලන විප්ලවය ආදිය සමාජ විද්‍යාත්මක විග්‍රහයන්ට නතුව ඇත. අද මෑතකාලීන දේශපාලන ඉතිහාසය ලෙස අප විසින් කියවනු ලබන්නේ මේ විචාරණයනුයි. එවැනි සමාජ විද්‍යාත්මක දේශපාලන දැක්මට අනුව වර්තමාන දේශපාලනය දැකීම මගේ උත්සාහයයි.

එතැනදි වර්තමාන නායකත්වය දේශපාලන විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ අර්ථගත කර ඇති ආකාරය විමසමු. මෙය ඇතැම්විට සමාජ විද්‍යාඥයෙක් විසින් කළ යුතු ගැඹුරු කරුණක් වුව ඔවුන් මේ විග්‍රහයට නොබට හෙයින් කලාකාරයෙක් සහෘදයෙක් ලෙස මම එකී විග්‍රහයට එළැඹෙමි.

සමාජ විද්‍යාත්මකව නායකත්වය විග්‍රහ කෙරෙන්නේ කෙසේ ද? එතැනදි අපට Charismatic Ledership යන සංකල්පය අපට හමුවෙයි. “අනුහස් සහිත නායකත්වය” යැයි අපට සිංහලට නැඟිය හැකියි. මෙවැනි අනුහස් සහිත නායකත්වයක් මෙතෙක් ලෝකයේ බිහිව ඇත්තේ කුමනාකාරයට ද? එවැනි නායකයින් පහළ වන්නේ ජනතා නායකත්වයෙන් වීම විශේෂිතයි. ඒ ජනතාවගේ ඇති කැමැත්ත ඇල්ම මත පදනම්වයි.

අතීත දේශපාලනය

මෙවැනි අනුහස් සහිත නායකයන්ගෙන් මුදුන් පෙත්තේ සිටින්නේ ආගමික නායකයිනුයි. එකී ආගමික නායකත්වයේ අනුගාමිකයෝ සිය ශාස්තෘ වරයාණන්ට දක්වන්නේ අනුහස් සහිත සම්බන්ධතාවකි. මෙම ආගමික නායකත්වයට ඇති බැඳියාව දේශපාලන නායකත්වයන්ට සම්බන්ධ වූ දුර්ලභ අවස්ථාවන් දැකිය හැකියි. ලෝක දේශපාලනය ගත්විට මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, පිදෙල් කස්ත්‍රෝ, මේ සඳහා කදිම නිදසුන්ය. මේ අය බිහිවන්නේ ජනතාවාදීවයි. ජනතාව විසින් ඔවුන්වෙත අනුහසක් ප්‍රදානය කරනු ලබනවා. මෙන්න මේ අනුහස ශ්‍රී ලංකාවේ දේශපාලනය හරහා ගොඩනැඟෙන අයුරු අපට විග්‍රහ කළ හැකියි.

මෙරට අතීත දේශපාලනය කොහොමත් අනුහස් සහිත නායකත්වයකින් හෙබි වූවක්. උදාහරණයක් ලෙස වැඩවසම් සමාජය ලෙසින් හඳුන්වනු ලැබූ සමාජය තුළ රජවරුන් සහ වැසියන් අතර පැවැතියේ අනුහස් සහිත සබඳතාවකි. රජ්ජුරුවන් සැලකුවේ දෙවියන් තන්හි තබාය. ආසියාතික රටවල මෙකී ක්‍රමවේදයට පැවතියේ ලොකු නෑදෑකමකි. 1815 අපේ රටේ සිදුවන ප්‍රබල විපර්යාසයන්ට තුඩු දෙන්නේ ද මෙම අනුහස් සහිත නායකත්වයේ සිදුවෙන වෙනස්කම් බව පැහැදිලිය.

1739 ශ්‍රී ලංකාවේ රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් රජු ලංකාවේ එතෙක් සාම්ප්‍රදායිකව පැවත ආ ජනතාවගේ බලාපොරොත්තු තුළින් ඔසවා තබන අනුහස් සහිත නායකත්වය බිහි කරන්නා වූ ක්‍රමවේදය අත්තනෝමතිකව වෙනස් කරනු ලබනවා. අපේ ඉතිහාසයේ මේ කාරණාව පිළිබඳ සැඟවී ගොස් තිබෙන්නක්. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයන් විසින් ඔහුගෙන් පසු රාජ්‍ය උරුමය සඳහා සිය බිරිඳගේ සහෝදරයා වූ විජය රාජසිංහ රාජ්‍යත්වයට පත්කරනු ලබනවා. ඔහු මලබාර් දේශයෙන් මෙරටට පැමිණි අයෙක්. තවත් අයුරකින් ප්‍රකාශ කළහොත් ඔහු සිය විදේශීය බිරිඳ ගේ සොහොයුරායි.

අපේක්ෂිත නායකත්වය

ගම අමතක නොකළ නායකයා...

හොඳම දේ දරුවන්ට...

මෙතැන් සිට මෙරට මෙකී අනුහස් සහිත නායකත්වය පිළිබඳ ගැටලු පැනනැඟෙනවා. මෙතැනින් එහාට රජකම් කරන සියලු රජවරුන් ශ්‍රී ලාංකීය රජවරුන් නොවේ. විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ මොවුන් සියල්ලෝම මලබාරයේ උපත ලද අයයි. ඔවුන් මෙරට රජවන්නේ බලහත්කාරයෙන්. කීර්ති ශ්‍රී රාජසිංහගේත් රාජාධි රාජසිංහගේත් පියා හැඳින්වෙන්නේ නරනප්පා නායක්කර ලෙසින්. එනම් උග්‍ර ව්‍යාපාරිකයෙක්. මෙම ජාත්‍යන්තර ව්‍යාපාරිකයා විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය පැහැරගෙන ඔහුගේ දරුවන්ව රජ කළා.

ඉහත නම්වලින් මෙරට රජවන්නේ ඔහුගේ දරුවන්. කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවන්නේ මේ අයයි. මෙහෙයින් එතෙක් ලංකාවේ පුරවැසියන් සිය රජවරුන් කෙරෙහි පැවැති අනුහස් සහිත නායකත්වය සිඳගත්හ. මොවුන් මේ රාජ්‍යත්වයන්ට විරුද්ධ වූහ. එහෙත් මේ රජවරු උපක්‍රමශීලී ලෙස බෞද්ධ ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා විශාල ශාසනික සේවයක නියුතු වූහ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ විශාල වශයෙන් බෞද්ධ වෙහෙර විහාර කෙළේය. එහෙත් ඔවුන්ගේ අභ්‍යන්තරය නායක්කර් වංශිකයි. මලබාර් දේශිකයි. හිංදු ආගමිකයි. මෙකී භේද භින්නතාව මධ්‍යයේ සිටියේ අපේ නිළමේ වරුන්ය. මේ හේතුකොටගෙන නිළමේවරු සහ රජවරු අතර ගැටුම් ඇතිවන්නට වීය.

මේ ආකාරයෙන් අපේ රජෙක් අපට අහිමි වී යැයි යන සංකල්පය නොඑසේ නම් මේ ඉන්නේ අපේ රජවරු නොවේ යන කහට අපේ සිත් තුළට කා වැදී තිබිණි. එකී ජනතා කහට ලොකු පැල්ලමක් බවට පත්ව විදහා දැක්වෙන්නේ නිළමේ වරුන්ගෙනි. මේ තත්ත්වය ශ්‍රී වික්‍රම රජ්ජුරුවන්ව සුද්දන්ට පාවා දෙන තැනට අපේ ජනතාවට රජවරුන්ව එපා වූයේය. 1739 සිදු වූ මෙකී අනුහස් සහිත නායකත්වයේ අඩුව පිරවීමට මෙරට ජනතාව අවස්ථාව උදාවනතුරු නොඉවසිලිමත්ව විසුයේය.

1815 දී මේ රට සුද්දන්ට බදු දීමත්, සමඟ විවිධ ආණ්ඩුකාරවරුන් මේ රට පාලනය කෙළේය. අප යටත්විජිත ජාතියක් බවට පත්වීමත් මෙරට ආඩම්බරකාරකම් සියල්ල බොඳවී යන්නටත් වීය. එහෙත් අපට අහිමි වූ අපේක්ෂිත නායකත්වය, අපේ නායකත්වය නොඑසේනම් අපේ රජෙක් අපට දියව් යන්න මෙරට සමාජය විසින් ගෙන එනු ලබන්නේය. ඒ බව අපේ ජනකවි වල පවා විදහා දැක්වෙන අවස්ථා අපට හමුවෙයි.

අනේ කූඹියනේ
තොපිටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාමද අප තැවෙන්නේ

රජෙක් ලැබුණෝතින්
පෙරහැර කරඤ්ඤං
කැවුම් කිරිබත් උයඤ්ඤං
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං

(කුංකුනාවේ හිමි)

මේ වූ කලී මහාත් වූ බලාපොරොත්තුවක සටහනකි. එකී අපේක්ෂාර්ථයම සමාජ විද්‍යාවේ ඇතැම් තැනෙක දියසේන කුමාරයා පහළ වනතුරු බලාසිටින බව දක්වා ඇත. මෙකී සමාජීය උවමනාවට ජනශ්‍රැති වේද ඇසුරු කිරීමේ දී මෙතේ බුදුන් පහළ වනතුරු බලා සිටිනවා යයිද අපේ රජෙක් පහළ වනතුරු සිටිනවා යයිද හමුවේ.

1739 අපේ රජතුමා අහිමි වී යාමත් 1815 අනුන්ගේ රජතුමා අත්අඩංගුවට ගැනීමත් සමඟ අපේ රජෙක් බිහිවනතුරු 1948 වනතුරු අපේක්ෂා පෙරදැරිව සිටියේය. එහෙත් 1948 බිහි වූ රජවරු වූ කලි කට පුරා අපේ යැයි කිව නොහැකි අයයි.

ජනතා අවශ්‍යතා සොයා ජනතාව අතරට...

මොකද 1815 පටන් 1948 දක්වා සුදු ආණ්ඩුව විසින් මෙරට කොම්ප්‍රදෝරු ධනපති පංතියක් ගොඩනැඟීමයි. එනම් තමන්ගේ කොන්ත්‍රාත් ඉටුකර දෙන්නා වූ ස්වදේශීය කොට්ඨාසයකුයි. කටවහරට අනුව ඔවුන් හැඳින ගන්නේ “කළු සුද්දන්” ලෙසිනි. එහි අර්ථය කළු හම ඇති සුදු හිත ඇත්තායි. ඔවුන් මෙරට ඔවුන්ගේ අධ්‍යාපනය පිහිටුවනු ලැබුවේය. ඒ සියල්ල උපක්‍රමශීලීවය. කෝල්බෲක් හා ;ඩානමෝර් ආණ්ඩුක්‍රම වාර්තාවන් තුළ මෙලෙස දක්වා ඇත.

“අපි මෙරට අධ්‍යාපනය බිහිකොට සුදු මතවාද සහිත අධ්‍යාපනයක් පිහිටුවා සුදු හිත ඇති කළු මිනිසුන් මෙහෙ හදමු.”

එවිට ඔවුන්ගේ පරිපාලන වියදම් අවම කරගත හැකිය. ඒ සඳහා සුදුසුම උපක්‍රමය වන්නේ “අපේ සිතිවිලි ඇති මිනිසුන් බිහිකිරීම” බව සුද්දන් කල්පනා කෙළේය.

හැරවුම් ලක්ෂය

මෙකී කොම්ප්‍රදෝරු ධනපති පංතිය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙරට සියලු ව්‍යාපාරික අයිතිය, වතු අයිතිය, රේන්ද අයිතිය ආදි අයිතීන් හිමි වූ අතර වෙනම කණ්ඩායමක් ලෙස ගොඩනැඟී සිටියහ. 1948න් මෙහා යුගයේ දී මෙකී කොම්ප්‍රදෝරු ධනපති පංතියට රාජ්‍යත්වය හිමි විය. එතැනදීත් පොදු මහත් සමාජයක් අපේක්ෂා කළ එකී අනුහස් සහිත නායකත්වයක් නොලැබුණි. මේ අඩුව දිගටම පැවත යම් බලාපොරොත්තුවක සේයා මතුවන්නේ 1956 දී ය. ඒ බණ්ඩාරනායකයන්ගේ බිහිවීමත් සමඟය. එතුමාගේ බිහිවීමත් සමඟ උපන් සංස්කෘතිකමය පෙරළිය, කන්නංගර ව්‍යාපෘතිය හරහා උක්ත නායකත්වයේ සෙවනැල්ල වැටෙන්නට පටන් ගැණුනි.

එහෙත් 1959 අවාසනාවන්ත ලෙස එතුමා ඝාතනයට ලක්වීමත් සමඟ නැවත ඉච්ඡා භංගත්වයට පත්විණි. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟත් අපේ බලාපොරොත්තුවේ පහන් දල්වා තිබුණි. එහෙත් එතුමන්ගේ ප්‍රතිපත්ති සමඟ පැවැති නාගරික බව, කෘෂිකාර්මික නොවන බව සමඟ එය ද ගිලිහී ගියේය. එතුමන්ට පැවැතියේ විශේෂයෙන් නිවාස ප්‍රශ්නයකි. ඒ වූ කලී හුදෙක් නාගරික ගැටලුවකි. ගමේ මිනිසුන්ට විසඳාගත නොහැකි නිවාස ප්‍රශ්නයක් පැන නැඟී නොතිබූ බව පැහැදිලිය. මේ අනුව ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය 2005 වසරයි. අද විග්‍රහ කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ අතීත දේශපාලනයයි. එහෙත් අද 2005 විග්‍රහ කෙරෙනවා. ඒ එහි වන සුවිශේෂත්වය මතයි. එදා මෙදා තුර අපේක්ෂා කළ අනුහස් සහිත නායකත්වය අපේ දෑස් ඉදිරිපිට ගොඩනැඟෙන්නට පටන් ගැණුනි. මෙහිදී විශේෂයෙන් එවැනි නායකත්වයට අවශ්‍ය ගුණාංග විමසිය යුතුය.

පළමුවැන්න අත්දැකීම් බහුලබව (විශ්වසනීයත්වය), පාරදෘශ්‍ය බව හා සංවේදී බවයි. පාරදෘශ්‍ය නම් විනිවිද පෙනෙන බවයි. තිර හතකින් එහා සිටින දෙවියන් මෙන් නොව අපේ නායකයා අපට විනිවිද දැක්ක හැකිවිය යුතුය. ඔහු අපේ ගොඩෙන් වැවිය යුතුය.

අපේ ගොඩෙන් වැඩිය යුතුය. ලංකා ඉතිහාසයේ මෙවැනි අවස්ථාවන් අපට හමුවෙයි. වසභ රජතුමාගේ පහළවීම මෙයට කදිම නිදසුනකි. ඔහු මෞර්ය ගෝත්‍රිකයෙක් නොවෙයි. ලම්බකර්ණ වංශය ඉදිකරනු පිණිස දක්ෂිණ දේශයෙන් පැමිණි වසභ රජුට පැවතියේ ජනතා උරුමය පමණි. ඒ ආකාරයෙන්ම 2005 වසර එළැඹියේය. ඒ වනවිට අපට පැවැති ප්‍රබල ගැටලුව යුද්ධයයි.

ඒ වනවිටත් විධායක ජනාධිපතිවරු කීපදෙනෙක් ඛ්රහාවත් නොවිසඳුණු මෙකී ප්‍රශ්නයට එකම විසඳුම රට දෙකඩ කිරීම යැයි තීරණයකට එළැඹ තිබිණි. එවැනි ඓතිහාසික විනාශයකට මුලපිරීමට යත්න දරමින් සිටි වකවානුවක එකී උත්සාහයට තිත තැබෙන්නේත් 2005 දීයි. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කිසිදු ජාතියකට සිය ධරණී තලය බෙදා වෙන් කිරීමේ අවශ්‍යතාවක් පැවැතියේ නැත.

එහෙත් මෙකී බෙදුම්වාදය ඇතිවන්නේ දේශපාලන ගුණ්ඩුවක් ලෙසිනි. එනම් ඩොමිනියන් පාර්ලිමේන්තුවේ ඡන්ද ගුණ්ඩු ලෙසිනි.එය ජනතා අවශ්‍යතාවක් නොවේ. එහෙත් ජාතිවාදය දේශපාලනික වශයෙන් ගොඩනැඟි තිබුණි. මේවා සියල්ල අප විසින් ඇති කළ තත්ත්වයන් බව අටුවාටීකා අවශ්‍ය නැත. මේ සියල්ල නිවැරැදි කිරීමට ජාත්‍යන්තර නායකයකුට නොහැකිය. එනම් ජාත්‍යන්තර අධ්‍යාපනය ලැබූ, කොම්ප්‍රදෝරු ධනපති පංතියෙන් බිහි වූ සුදු හිත ඇත්තකුට නොහැකිය. එබඳු බටහිර අධ්‍යාපනයෙන් හික්මවනු ලැබූ නායකයකුට කළ හැකි එකම දෙය මේ රට බෙදා වෙන් කිරීම පමණි.

එහෙත් අනාදිමත් කාලයක සිට පැවැත ආ මේ රට බෙදීමට කිසිදු මිනිසකුට අවශ්‍ය වූයේ නැත. මෙහි අතීතය වසර 2500ක් නොව මිලියන 7ක් පමණය. එනම් මෙතැන් සිට අවුරුදු 40000ක්, අවුරුදු ලක්ෂ දෙසිය පනහකට පෙරත් මිනිස් වාසයක් පැවති රටක් බවට සාධක හමුව ඇත. එවන් අතීතයක් හිමි දේශයක අනන්‍යතාව රැකගත් 2005 වසර කිසියම් වූ අයුරකින් හැරවුම් ලක්ෂයක් බවට පත්වනුයේ මෙහෙයිනි.

ජාතික නායකත්වය

මේ සඳහා වූ ජාතික නායකත්වය පහළ නොවුණේ නම් මේ රට ඛණ්ඩනය වීමට ඉඩ ප්‍රස්ථා ඕනෑ තරම්ය. එහිලා වූ නායකත්වයේ පාරදෘශ්‍ය බව මෙරට වැසියෝ දනිති. එම නායකයාණන්ට මේ වනවිටත් වසර 40 ක දේශපාලන අත්දැකීම් සම්භාරයක් තිබුණි. එකී වසර ගණනාව තුළම දේශීයත්වය මත ගොඩනැඟෙන නායකත්ව ලක්ෂණ දැක්ක හැකිය. ඔහු ගොඩනැඟෙන්නේත් දක්ෂිණ ලංකාවේ මැදමුලනෙන්, ගිරුවාපත්තුවෙනි. සාමාන්‍ය අවබෝධය පිරික්සා බැලුවද මෙරට ගළවා ගත් විවිධ අවස්ථාවන්හිදී එකී නායකත්වයන් බිහිවූයේ දකුණු ලකෙනි.

දුටුගැමුණු, විජයබා, වසභ ඊට කදිම නිදසුන් ය. ගිරුවාපත්තුව යනු ද ඓතිහාසික ප්‍රදේශයකි. රෝහණ මැන්දිස් ධීරයන්ගේ පැහැදිලි කිරීමකට අනුව ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.

මේ සියල්ලම පරයා වන සුවිශේෂත්වය මැදමුලන වෙල් එළියයි. කදිමට නියර පෑගිය හැකි, මනාසේ කුඹුරු වැඩ කළ හැකි, කමත මෙහෙයවිය හැකි ගොවි නායකයින් අතීතයේ අපට අහිමිව ගියේ ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දක්වාම වූ සිහල රජවරු දක්ෂ ගොවියෝයි. එවන් වූ අපට අහිමිව ගිය රජතුමා දැන් බිහිව ඇත. එතුමාට රජතුමා යැයි හැඳින්වීමම ප්‍රධාන සාධකය වනුයේද මෙකී කාරණයයි. එහෙත් එහි ජනශ්‍රැතික අයිතිය බෙහෙවින් ගැඹුරුය.

දියසෙන් කුමාරයා

මෙතෙක් බිහි වූ සෑම ජනපතිවරයකුටම රජතුමා යැයි ආමන්ත්‍රණය කෙරුණේ නැත. ඒ වූකලි වසර 40000ක ගැඹුරු සිතිවිලි පරම්පරාවේ ප්‍රතිඵලයයි. ජනශ්‍රැති පදනමේ ක්‍රියාත්මක වන්නේ එවන් ගැඹුරු සිතිවිලි පරම්පරාවන් ය. මෙතෙක් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ පටන් ඇරැඹූ ජනශ්‍රැති විද්‍යාවක් ඇත. අද රටේ විශ්වවිද්‍යාල තුළ මේ විෂයට ඇති නැමියාව අල්පය. එහෙත් එහි අධ්‍යයන් දියසේන කුමාරයායැයි හැඳින්වූවේ කවුරුන්ද? අනේ කූඹියනේ යැයි කීවේ කුමක්දැ’යි හඳුනා ගැනීමට ඉවහල් වනු ඇත්තේය.

එනම් ජනශ්‍රැති විද්‍යාව අනුව එකී කතන්තර හුදෙක් බිණූ ඒවා නොව ඒ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් වන බව පෙනෙන්නට ඇත. එලෙස මෙම නායකත්වයට ඇති ජනතා කැමැත්ත ජනශ්‍රැති විද්‍යාත්මක විමසීමේ දී ගැඹුරු දේශපාලන අර්ථයක් විග්‍රහ කළ හැකිය.

 ‘ජනමූල’ නායකත්වය යන සංකල්පය මවිසින් විග්‍රහ කරනුයේ මේ හේතුවෙනි. ඊට හේතුව මෙම නායකත්වය හඳුන්වා දීම සඳහා වෙනත් වචනාර්ථයක් නොමැති වීමයි. එය ඉංගී‍්‍රසියෙන් සිංහලට පරිවර්තනය කළ එකක් නොවන අතර ඉංගී‍්‍රසි උගතුන් මෙය ඉංගී‍්‍රසියට හරවා ගත යුතුය. මෙතෙක් අප විසින් සිදු කරනු ලැබුවේ ඉංගී‍්‍රසි වචන සිංහලට පරිවර්තනය කිරීමයි. එහෙත් ‘ජනමූල නායකත්වය’ වූ කලි හුදු සිංහල ප්‍රභවයකි.

ජනමූල නායකත්වය පිළිබඳ විමසීමේ දී ගාන්ධිතුමා, මාඕ සේතුං, නෙල්සන් මැන්ඩෙලා, නැවත අපට හමුවෙයි. මොවුහු පෙර සඳහන් කළ පරිදි අනුහස් සහිත නායකයෝයි. ඒ අනුව ජනමූල නායකත්වය නම් අනුහස් සහිත නායකත්වයයි. මොවුහු ජනතාව විසින් කැන්ඳාගෙන ආ නායකයෝයි. පරම්පරා මූලිකව බිහිවන නායකත්වයක් යන මිත්‍යාව මත බැහැරව විශ්වසනීයත්වය, පාරදෘශ්‍යබව හා සංවේදීබව තුළ ගොඩනැඟෙන නායකත්වය ජනමූල නායකත්වයයි.

නවමු රැල්ල

2005 දී බිහිවූ වර්තමාන ජනාධිපතිත්වය, නායකත්වය ආර්ථික දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කිරීම යුක්ති යුක්තය. ජාත්‍යන්තරය පවා මෙය ඉහළින් පිළිගෙන ඇති බව පෙනෙන්නට ඇති බව සැබෑවකි. ඔවුන්ගේ විවිධ සම්මන්ත්‍රණ, සභාදියට අපේ ජනපතිතුමන්ට ඇරියුම් ලැබෙන්නේත් මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

‘මහින්ද රාජපක්ෂ’ නාමය ජාත්‍යන්තරය තුළ නවමු රැල්ලක් ඇතිකිරීමට සමත්ව තිබෙන අයුරු දෑස් හැර බැලුවහොත් දැකිය හැකිය. ඊට හේතුව ලෝකයේ ජනමූල නායකත්ව ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් අවතීර්ණ වූ නායකයා ඔහු බව අද ජාත්‍යන්තරය විසින් පිළිගෙන තිබීමයි. නිර්පාක්ෂිකව විග්‍රහ කරන්නකුට මේ සත්‍යය වටහා ගත හැකිය.

මේ වකවානුව වනාහි ජනමූල නායකත්වයේ සිද්ධාන්තය රචනා කළ යුතු කාලයයි. ඒ වූ කල්හි “දේශජ” බවයි. එනම් දේශයෙහි උපන් බව, නැතහොත් දේශීයත්වය යනුයි. මේයින් ගම්‍ය වන්නේ සිය රට දේ සිරි සැප දේ යන මිත්‍යා කතාව නොවේ. මෙම නායකත්වය දේශීයත්වය මුල්කොට පැවැතීමයි. නිදසුන් ලෙස ගතහොත් ගාන්ධිතුමන් එංගලන්තයේ උගත්තත් එතුමාගේ සිද්ධාන්තය වූයේ බ්‍රාහ්මීය සිද්ධාන්තයයි.

මෙහෙයින් එදා ඉන්දියාව ගාන්ධියාව වූ බවත් සඳහන් කෙරෙන්නකි. ඒ අනුව යමින් අද ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ නම් ජනමූල නායකත්වය පදනම් කොටගෙන ජාත්‍යන්තරයට විවර වී ඇත.

දේශීය චින්තනය

මහින්ද රාජපක්ෂයන් අතට ගන්නා සිද්ධාන්තය ඩොනමෝර් හෝ කෝල්බෲක් වැනි අනුන්ගේ සිද්ධාන්තයක් නොවෙයි. එතුමා මුල් කොට ගත්තේ “පෙර සිරිතයි” අපේ රටේ රජවරු කටයුතු කළ එම ව්‍යවස්ථාව මා හඳුනාගන්නේ “පෙර සිරිත” නමින්. එනම් මෙතෙක් පැවැති ව්‍යවස්ථාව යනුයි. 1815 දී අප විසින් විසිකරනු ලැබුවේ එකී පෙර සිරිතයි. දැන් එලෙස ඉවත දැමූ ව්‍යවස්ථාව නැවත අහුලාගෙන විත් ඇත.

එම ව්‍යවස්ථාව රචනා වන්නේ දුටුගැමුණු රජතුමාගේ එපිට කාලයේ පටන් ය. එනම් දේවානම්පියතිස්ස රජු කල මෙය විධිමත්ව කෙටුම්පත් කෙරිණ. මෙය මෙරටට රැගෙන එනුයේ මිහිඳු මහරහතන් වහන්සේයි.

උන්වහන්සේ පිරිසිදු ථෙරවාද බුදුදහම පැතිරූ තැන් සිට අපට ලැබෙන්නේ සමාජ ව්‍යවස්ථාවකි. මෙම ව්‍යවස්ථාව නම් චින්තනයයි. මිහිඳු හිමියන් විසින් මෙරට දායාද කළ එකී චින්තනය මහින්ද චින්තනය යැයි කීම යුක්ති සහගතයි.

මෙය මහින්ද රාජපක්ෂයන්ගේ චින්තනය නොව අප රටේ උරුමයයි. 1815 විසිකළ එකී මහින්ද චින්තනය යළි එළි බසින්නේ 2005 දීය. එතැන් සිට මේ රටේ සියලු ක්ෂේත්‍ර සක්‍රීය වන්නට විය. එතෙක් ඒ සියල්ල මළ කා තිබුණි. එහි එක් දැවැන්ත ප්‍රතිඵලය යුද ජයග්‍රහණයයි.

එහි එකම හේතු කාරකය දේශීය චින්තනයයි. දැන් සුද්දන් ප්‍රශ්න කරනවා, “උඹල කොහොමද මේ කාර්යය සිදුකළේ.” ඒ ඔවුන්ගේ චින්තනයට මෙය ග්‍රහණය නොව නිසාය.

ජෝජ් බුෂ්ට ගැලැවීමට නොහැකි වූ ගැටලුවට මහින්ද රාජපක්ෂ මුහුණ දුන් ආකාරය ඔවුන්ට උභතෝකෝටිකයකි. එතුමා බීබීසී සාකච්ඡාවක දී ඊට දුන් සරල පිළිතුර වූයේ “උඹලට එය තේරෙන්නේ නෑ. ඒ අපේ හැටි” යනුයි. අපි අපේ භූමියෙන් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. ඒ අපේ හැටිය අද ලෝකය අපෙන් ඉල්ලා සිටියි.

මේ සියල්ල ජනතා කැමැත්ත මත වූ අනුහස් සහිත නායකත්වයේ ප්‍රතිඵලයි.

දෙවතාවක් තුන්වතාවක් යළි යළි වතාවක් ඔතැනම රැඳෙන්නයි ජනතාව සිය ප්‍රසාදය දක්වන්නේ එහෙයිනි. මේ නිසා ලෝකයේ සෑම ජනමූල නායකයෙක්ම සදාතනිකයි.

ජැක්සන් ඇන්තනි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්