ඉතිහාසයේ සුවිශේෂීම යුගය

ඉතිහාසයේ සුවිශේෂීම යුගය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය ඉතිහාසයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු වූ යුගයකි. 1948 දී අප ලැබූ නිදහසෙන් පසුව බලයට පත් නායකයන් 1983 පමණ දක්වා ම බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ නැත. ඩී.එස්.සේනානායක අගමැතිතුªමාගේ පටන් ජේ.ආර්.ජයවර්ධන යුගය ආරම්භ වන තෙක් ම ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස පැවැතිණ.

1983 දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය බිහිසුණු ලෙස ප්‍රකාශයට පත් වී බරපතළ යුද්ධයක් දක්වා වර්ධනය විය. 1983 පටන් 2005 දක්වා ම රට දරුණු අගාධයකට වැටිණ. මේ වකවානුව තුළ බලයේ සිටි ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස , ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ යන කිසි ම නායකයකුට යුද්ධය අවසන් කර සාමකාමී රටක් බිහි කිරීමට හැකි වූයේ නැත. මේ තත්ත්වය තුළ බලයට පත් නායකයන් ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද සහාය ලබා ගනිමින් යුද්ධය අවසන් කිරීම සඳහා යම් ප්‍රයත්නයක් දරන ලද බව අප පිළිගත යුතු ය. නමුත් එම සියලු උත්සාහයන් අසාර්ථක විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 නොවැම්බර්යේ දී බලයට පත් වන විට එතුමාට ඡන්දය ප්‍රකාශ කළ අයවත් එතුමා වසර 4 කින් ප්‍රභාකරන් අවසන් කරනු ඇතැයි සිතුවේ නැත. ඇත්ත ම කිවහොත් මම වත් එලෙස සිතුවේ නැත. පක්ෂයේ ලේකම් වශයෙන් ද පෞද්ගලිකව ද මට එතුමා පිළිබඳ විශාල ගෞරවයක, විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තිබේ. එහෙත්, අවුරුදු 4 කින් ප්‍රභාකරන් අවසන් කර ත්‍රස්තවාදය නිමා කරනු ඇතැයි මම පවා කල්පනා නොකළෙමි. කවුරුන් හෝ අප නම් ඒ බව දැන සිටියා යයි කියන්නේ නම් එය අවංක ප්‍රකාශයක් නොවන බව මගේ හැඟීමයි.

මෙවැනි දීර්ඝකාලීන යුද්ධයක් බටහිර රටවල ද විශාල සහයෝගයක් තිබූ ජේ.ආර්. ජයවර්ධන වැනි බොහෝ පරිණත නායකයකුට වුව ජයගත හැකි වූයේ නැත. ඒ සඳහා ඔහු ට තිබූ එක ම විසඳුම ලෙස අප දකින්නේ ඉන්දු - ලංකා ගිවිසුමයි. එහෙත්, ගමෙන් මතු වූ මහින්ද රාජපක්ෂ නම් නායකයාට බලයට පත් වී වසර 4 ක් තුළ ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදය අවසන් කළ හැකි විය. මා කියන්නේ මෙය වහා ආශ්චර්යයක් බවයි. අමෙරිකාව වැනි ප්‍රබල රටවල් වසර ගණනාවක් තිස්සේ තවමත් බින් ලාඩන් ලා ලුහුබඳිමින් සිටී. සමස්ත බටහිර ලෝකයට ම අන්තර් ජාතික ත්‍රස්තවාදය අද බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

බටහිර ලෝකය ත්‍රස්තවාදය නිසා භීතියෙන්, ත්‍රාසයෙන් ඇළලී ගොසිනි. අමෙරිකාවේ පෙන්ටගනය පවා ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ඉලක්ක විය. බ්‍රිතාන්‍යයේ ද එවැනි ප්‍රහාර සිදු විය. ප්‍රංශය ත්‍රස්තවාදී තර්ජන නිසා බලවත් ප්‍රශ්නයකට මුහුණ දී සිටී. මේ කිසිවකුටත් ත්‍රස්තවාදය මෙල්ල කිරීමට නොහැකිවීම නිසා අර්බුද රැසක් ඇති වී තිබේ.

නමුත්, මේ පුංචි රටෙන් බිහි වූ, සාමාන්‍ය ජනතාව අතරින් මතු වූ නායකයා ත්‍රස්තවාදය පරාජය කර මුලු ලෝකයට ම ආදර්ශයක් ලබා දීමටත්, පාඩමක් කියා දීමටත් සමත් විය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඔහුට හැකි විය. මහින්ද රාජපක්ෂ යුගය සිංහල රජ දවසින් පසු මේ රටේ ඒකීයභාවය පිළිබඳ ස්වර්ණමය යුගය බව මගේ හැඟීමයි.

එය දේශපාලන කුහක බවින් තොර ඕනෑම කෙනෙක් අවංකව පිළිගත යුතු සත්‍යයකි. 1948 සිට 2005 දක්වා මේ රටේ බලයට පත් නායකයන්ගෙන් බණ්ඩාරනායක අගමැතිතුමා සහ බණ්ඩාරනායක මැතිනිය හැර බොහෝ දෙනෙක් බටහිරට පන්දම් ඇල්ලූ නායකයන් බව කිව යුතු ය. බටහිර රටවලින් රැවුම් - ගෙරවුම් කොපමණ ඇති වුණ ද ඒ කිසිවක් හමුවේ නොසැළී ඒකීය රටක් බිහි කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි වීමෙන් පෙනෙන්නේ එය මේ රටේ ස්වර්ණමය යුගයක් බවයි.

රට මෙම මහා ජයග්‍රහණය කරා මෙහෙය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකු වීම ද විශේෂ කාරණයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය ද මහින්ද රාජපක්ෂ යුගයයි. ඊට හේතූන් රාශියක් තිබේ. පළමුවැන්න ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වන ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අවසන් කර රටට සාමය දිනා දීමයි. තවත් ප්‍රධාන කාරණයක් නම් 78 ව්‍යවස්ථාව යටතේ කිසිම දේශපාලන පක්ෂයකට මේ රටේ 2 /3 බලයක් ලබාගත නොහැකි බවට ගොඩනැඟී තිබූ ප්‍රබල මතවාදය බිඳ දැමීමට හැකි වීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ සියල්ල කණපිට හැර වූ නායකයෙකි.

පාර්ලිමේන්තුවේ 2 /3 බලයක් ලබා ගැනීමට එතුමාට හැකි විය. විධායක ජනාධිපති ධූරය ඇති කළ දා පටන් ඊට තරඟ කළ කිසි ම ජනාධිපති අපේක්ෂකයකුට ලබා ගත නොහැකි වූ හැට ලක්ෂයකට වැඩි වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ද එතුමා සමත් වීම ද තවත් කාරණයකි. වැඩි ඡන්ද සංඛ්‍යාව ද දහ අට ලක්ෂය ඉක්මවීය.

සාමකාමී හා ස්ථාවරත්වයක් නිර්මාණය වූ රටක් ලෙස අද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. ඇතැම් රටවල යුද්ධ නිමා වී ඇතත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී නැත.

අමෙරිකාව සහ බටහිර රටවල් ලොව ඕනෑම අයෙකුට බිය - සැකයකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බවට නිර්දේශ කරයි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර ප්‍රගතියක් පෙන්නුම් කරමින් පවතී.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයට එල්ල වූ තර්ජන හා බලපෑම් ගැන ද මෙහි දී සඳහන් කළ යුතු ය. යුද්ධය නිමා වූයේ 2009 මැයි මාසයේ දීය.

2009 ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පටන් බටහිර රටවල් දක්වා මේ කවුරුත් යුද්ධය නැවැත්වීම සඳහා එතුමාට බලපෑම් කළේ ය. එහෙත් , ඉතාමත් ඍජුව , නොසැළී හිඳිමින්, රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව එතුමාට තිබිණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එම නායකත්ව භූමිකාව එහි දී විශේෂයෙන් කැපී පෙනේ. අදත්, මුහුදින් එතෙර සිටින ත්‍රස්තවාදය වෙනුවෙන් පේවී සිටින බලවේග එතුමාටත් ආරක්ෂක ලේකම් තුමා ඇතුළු රණවිරුවන්ටත් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද අපරාධ අධිකරණවලට රැගෙන යාමට කුමන්ත්‍රණ කරන්නේ එබැවිනි. මේ සියලු කාරණා ඔස්සේ බලන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුග පුරුෂයකු ලෙස සැලකිය හැකි යි.

එම යුග පුරුෂයා තම පළමු ධූර කාලය ඉතාමත් ජයග්‍රාහී අන්දමින් නිමාකොට 2010 වසර ආරම්භයේ දී දෙවන ධූර කාලය සඳහා ලද විශිෂ්ට ජනවරමට අනුව මේ අවස්ථාවේ දී දෙවන ධූර කාලය අරඹයි.

එම පදවි ප්‍රාප්තියත් සමඟ මුලු රටම බලා සිටින්නේ යුද්ධය නිමාකොට ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට ආර්ථික අසීරුකම්වලින් නිදහස් කර ගන්නේ කෙසේ ද යන්න දෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි

රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලට අත්‍යවශ්‍ය ප්‍රධාන විසැඳුම ආර්ථික ජයග්‍රහණය ලබා ගනිමින් රට සමෘද්ධිමත් කිරීමයි.

දුගී - දුප්පත්කම , ජීවන වියදම, රැකියා ප්‍රශ්නය, අධ්‍යාපනය - සෞඛ්‍ය වැනි ක්‍ෂෙත්‍රවල අඩු - පාඩු, යටිතල පහසුකම් ආදී බොහෝ කාරණා සම්බන්ධයෙන් සැලකිය යුතු විසැඳුම් ලබා දීමට ගත වූ කාලය තුªළ හැකි වී තිබේ.

එහෙත්, තවමත් ජයගත යුතු ගැටලු විසඳා ගනිමින්, විශේෂයෙන් ජනතාවගේ ජීවන බර අඩු කර ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම සඳහා ද රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම පිණිස ද ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමස්ත රට වාසීන් අද ජනාධිපතිතුමා දෙස අපේක්ෂා සහගතව බලා සිටී. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම එතුමාගේ අරමුණයි.

දෙවන ධූර කාලය තුළ ජනාධිපතිතුමාගේ ප්‍රධානම ඉලක්කය ද එයයි. දැනට දැවැන්ත සංවර්ධනයක් රට තුළ සිදු වෙමින් තිබේ. ඒ භෞතික සංවර්ධනයක් පමණක් නොව මිනිසුන්ගේ විනය - අධ්‍යාත්මය ගොඩනැඟීමද අරමුණු කළ එකකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම කාර්යයට නායකත්වය දෙමින් සිටී. ඒ නිසා 2011 වසරේ සිට මේ රට අරඹන්නේ අලුත් ගමනකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවන යුගය රට නව ජවයකින් යුතුව නව මඟකට ගෙන යන ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම කරා ඉලක්ක කළ පුළුල් ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවෙන වකවානුවයි.

රටේ ඉදිරි අනාගතය දෙස බලන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉතා ශක්තිමත්, ප්‍රබුද්ධ, සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමට මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙලට හැකි බව අපගේ පැහැදිළි විශ්වාසයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්

සෞඛ්‍ය අමාත්‍ය

මෛත්‍රිපාල සිරිසේන


සබැඳි පුවත්