ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දෙවැනි ඇරැඹුම

ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දෙවැනි ඇරැඹුම

වසර දෙදහසේ දී මෙන්ම දෙදහස් පහේදී පැවැති ජනාධිපතිවරණවලදී ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් ආවරණය කිරීම සඳහා රට පුරා විවිධ ප්‍රදේශවලට යෑමට අපට අවස්ථාව ලැබිණි.

එදා මේ රටේ ජනතාව එක හඬින් ප්‍රකාශ කර සිටියේ දශක තුනක් තිස්සේ මේ රට විනාශ කරමින් සිටින ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර දෙන ලෙස ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සිය දෙවැනි ධූර කාලය සඳහා බලය ලබා ගත්තේ මේ කුරිරු ත්‍රස්තවාදය නිමා කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි. එහෙත් එතුමියට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ 2005 දී බලයට පත් වූයේ මේ රට පීඩාවට පත් කරන ත්‍රස්තවාදය නිමා කරන බවට ප්‍රතිඥා දෙමිනි. ජනතාව එතුමාට බලය ලබා දුන්නේ මේ පිළිබඳ විශ්වාසයෙනි.

මේ කුරිරු ත්‍රස්තවාදයට මුහුණ දීමට තවත් නායකයෙකුට ඉඩ නොතබන බව එතුමා ජනාධිපති ධූරයේ වැඩ අරඹමින් ප්‍රකාශ කළේය. පොරොන්දු වූ අයුරින්ම එතුමා බලයට පත් වී වසර හතරක් ගත වීමටත් පෙර එම පොරොන්දුව ඉටු කළේ ය. කිසිදා මේ රටින් තුරන් කළ නොහැකි බව බොහෝ දෙනෙක් පැවසූ එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමට ජනාධිපතිතුමාට හැකි වූයේ එතුමා තුළ වූ ඉවසීම අධිෂ්ඨානය හා අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂයන් තුළ අපි දකින සුවිශේෂත්වය එයයි. එතුමාගේ ජීවිතය පුරා ම මේ ඉවසීම අධිෂ්ඨානය සහ අප්‍රතිහත ධෛර්යය දක්නට ලැබුණි.

එතුමා තුළ වූ මේ උසස් ගුණාංග නිසා ම ලැබූ ජයග්‍රහණයන් ද බොහෝ ය. රටට හිතකර තීරණ ගැනීමට එතුමා දශමයක්වත් ආපස්සට යන්නේ නැත. දේශපාලන වශයෙන් කවර අවාසි සහගත තත්ත්වයක් ඇති වුණත් එතුමා රට වෙනුවෙන් ගත යුතු තීරණ සෘජුව නොබියව ගනු ලබයි. එතුමා කලාතුරකින් රටකට බිහිවන ආකාරයේ නායකයෙකි.

 

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී එතුමන්ට සටන් කරන්නට සිදු වූයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පමණක් නොවේ. ත්‍රස්තවාදයට උදව් උපකාර කළ දේශීය සහ ජාත්‍යන්තර බලවේග සමඟ ද සටන් කරන්නට එතුමාට සිදු විය.

සතුරා නිවැරදිව හඳුනා ගැනීමට එතුමා තුළ වූ දක්ෂතාවය මේ සටන ජය ගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව අපගේ අදහසයි.

යුද්ධයක දී ප්‍රථමයෙන් ම මිය යන්නේ සත්‍යය යැයි සුප්‍රකට කියමනක් තිබේ. එහෙත් එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනේ දී සත්‍යය විනාශ වීමට ජනාධිපතිතුමා කිසි විටෙකත් ඉඩ තැබුවේ නැත. එතුමා නිරන්තරයෙන් මේ ගැන අවදියෙන් සිටියේ ය. ජනතාව අවදි කළේ ය.

දේශද්‍රෝහීන් කෙතරම් බාධා කළත් දේශමාමක, ජාති හිතෛෂී බහුතර පිරිස එතුමාට පූර්ණ සහයෝගය ලබා දුන්හ. මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායක තුමන්ලා ජනාධිපතිතුමාගේ සටනට ආශිර්වාද කළහ.

ඉදිරි පරපුරට දේශපාලන ඉදිරි ගමන් මග පෙන්වමින්...

අපේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට කළ සටන පරාජය කිරීමට දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද නොයෙක් බලවේග ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බාධා ජය ගැනීමට ජනාධිපතිතුමන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. ජනාධිපතිතුමන් තුළ වූ දූරදර්ශී නායකත්වය සහ විචක්ෂණශීලීභාවය නිසා මේ දේශීය හා ජාත්‍යන්තර සියලු බලවේග පරාජය කර රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට හැකි විය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කළ ජනාධිපතිතුමන් ක්ෂණිකව අවධානය යොමු කළේ ත්‍රස්තවාදයෙන් බැට කෑ ජනතාව ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ය. මානුෂීය මෙහෙයුමෙන් මුදාගත් ලක්ෂ තුන හතරක ජනතාවට ආහාර පාන සපයමින් ඔවුන් රැක බලා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිණි.

එවැණි සුවිසල් මෙහෙයුමක් දියත් කළ ලොව එකම රට අපේ රට විය යුතු ය. ත්‍රස්තවාදය නිමවා මාස 06 ක් ගත වීමටත් පෙර අවතැන් වූ සියලු දෙනා යළි පදිංචි කරවීමට හැකි වූයේ ජනාධිපතිතුමාගේ තිර අධිෂ්ඨානය නිසා ය.

මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නාමය රන් අකුරින් ලිය වී ඇත.

ජනාධිපතිතුමන් ගේ කාර්යභභාරය එතැනින් අවසන් නොවී ය. මේ රට බේරාගත් නායකයා තමන් යැයි පුරසාරම් දොඩමින් නොසිට එතුමා දෙවැනි සටන ඇරඹුවේ ය. ඒ මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ සටනයි.

ජනාධිපතිතුමා ගේ දෙවැනි ධූර කාලය ඇරඹීමටත් පෙර එතුමා මේ සංවර්ධන සංග්‍රාමය ආරම්භ කළේ ය. දශක තුනක් තිස්සේ ත්‍රස්තවාදයෙන් විනාශ වූ රටක් යළි ගොඩ නැගීීම සුළු පටු කාර්යයක් නොවේ. ත්‍රස්තවාදීන් විනාශ කළේ මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශ පමණක් නොවේ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියම ඇණ හිටියේ ය.

දශක තුනක් තිස්සේ මේ රටේ පැවැති ත්‍රස්තවාදය නිමා කළ ද ත්‍රස්තවාදය විසින් මේ රටේ ඉතිරි කර ගිය නෂ්ඨාවශේෂ ඉවත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. තැන තැන බෝම්බ පුපුරන තත්ත්වයක් යටතේ මේ රට හැර ගිය බුද්ධිමතුන් යළි මෙරටට ගෙන්වා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. කලක් තිස්සේ මෙරටට විදේශ ආයෝජකයන් පැමිණියේ නැත. තැන තැන බෝම්බ පුපුරද්දී විදේශිකයන් මෙරටට පැමිණ ආයෝජනය කිරීමට බිය වූහ. මේ රටට විදේශ ආයෝජකයන් යළි ගෙන්වා ගැනීමට රජයට විශාල වෙහෙසක් දැරීමට සිදු වී තිබේ.

ත්‍රස්තවාදය විනාශ කළ මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පැවරී ඇති ප්‍රධාන වගකීමයි. දැනටමත් ඒ සඳහා හොඳ පසුබිමක් සැකසී තිබේ. මේ සඳහා මඟ පෙන්වන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්මයි. රට පුරා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ඇරඹී තිබේ. හම්බන්තොට වරාය දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ කතරගම දුම්රිය මාර්ගය, මත්තල ගුවන් තොටුපළ , නොරොච්චෝලේ - ඉහළ කොත්මලේ විදුලිය බලාගාර ඒවායෙන් කිහිපයක් පමණි.

මේ තරම් විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් එකවර ක්‍රියාත්මක වූ කාලයක් ඉතිහාසයේ කවදාවත් මේ රටේ තිබී නැත. ත්‍රස්තවාදය මගින් අවහිර කරගෙන තිබූ මේ රටේ සංවර්ධන මාවත දැන් විවර වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ මේ රටට අසීමිත ලෙස ආදරය කරන නායකයෙකි. එතුමාගේ ක්‍රියාවන් මගින් ඕනෑවටත් වඩා මේ බව සනාථ කර තිබේ.

නොවැම්බර් 19 වැනිදායින් ඇරඹෙන ජනාධිපතිතුමන්ගේ දෙවැනි ධූර කාලය මේ රටට ඉතා ම වැදගත් ය.

එතුමා මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනබවට නොඅනුමාන ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්