“සුළඟ නිසි අතට හමනු ලැබේ!”

 “සුළඟ නිසි අතට හමනු ලැබේ!”

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, තම දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දෙන්නේ ඉතා සුවිශේෂී සාධක රැසක් පසුබිමෙහි තබා ගෙන ය. එම සුවිශේෂී සාධක මොනවාද? මා හඳුනාගනු ලබන අයුරින් ඒවා මෙසේය;

(I) තම පළමු ජනවරම අභිබවා යන මට්ටමේ දැවැන්ත දෙවැනි ජනවරමක් ලද එකම නායකයා ඔහුය. මින් පෙර, දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන් සෑම ජනාධිපති වරයකුම පාහේ, පළමු ජනවරමට වඩා අඩුවෙන් දෙවැනි ජනවරම හිමි කර ගත්තෝ වෙති.

(II) මුළු මහත් රට පුරා එකසේ සාමය පවතින යථාර්ථයක් තුළ තම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන එකම ජනාධිපතිවරයා ඔහු ය. අන් සෑම ජනාධිපති වරයකුම තම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ යුද බියෙන් ඇලලී ගිය රටක ය. ඇතැම්විට උතුර පමණක් නොව දකුණත් ගිනි ගෙන තිබිය දී ය.

(III) පළමු ධුර කාලය තුළ ගතවූ පාර්ලිමේන්තු බලයක්, දෙවැනි ධුර කාලය සඳහා ඇති කර ගැනීමට සමත් වූ එකම ජනාධිපතිවරයා වනුයේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 දී කේවල ඡන්ද ක්‍රමය යටතේ ලබාගත් 6/5ක පාර්ලිමේන්තු බලය තම දෙවැනි ධුර කාලය සඳහා තබා ගත්තේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත අවස්ථාවේදී නොපවත්වා, එය කල් දැමීමට හොර ජනමත විමසුමක් පවත්වමින්ය.

 අන් සෑම ජනාධිපති වරයකුටම දෙවැනි ධූර කාලයේ දී ලැබුණේ පළමු ධුර කාලයේ දී තිබුණාට වඩා අස්ථාවර පාර්ලිමේන්තුවක් ය. එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් තම දෙවැනි ධුර කාලය අරඹන්නේ, සමානුපාතිත ඡන්ද ක්‍රමය යටතේ හිමිකරගත් 2/3ක පාර්ලිමේන්තු බලයක් සමඟ ය. එමගින් දේශපාලන ස්ථාවරභාවයේ අසමසම ශක්තියක් තමන් සතු කර ගනිමින් ය.

සමාජ ආර්ථික ප්‍රශ්න

(IV) මෙතෙක් සිටි, දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන් සෑම ජනාධිපතිවරයකුම දෙවැනි ධුර කාලයට අවතීර්ණ වූයේ තම පළමු ධුර කාලයට ආයත්ව තිබූ පැරණි සමාජ – ආර්ථික - දේශපාලන අභියෝගයන්ම සමඟිනි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් තම දෙවැනි ධුර කාලයට අවතීර්ණ වනුයේ නව සමාජ – ආර්ථික -දේශපාලන අභියෝගයන් සමඟිනි.

රට නිදහස් කර ගැනීමේ සටනේදී රාජ්‍ය නායකයාට
ලැබුණු යෝධ ශක්තිය

ජයවර්ධන ජනාධිපතිවරයා හෝ චන්ද්‍රිකා ජනාධිපතිනිය යන දෙදෙනා නිදසුනක් ලෙස ගත්තද මේ කරුණ වටහා ගත හැකිය. තම පළමු ධුර කාලය තුළ මේ දෙදෙනාම විසඳා අවසන් කළ එක් ප්‍රමුඛ සමාජ දේශපාලන ගැටලුවක් නොවුණි. එනිසා, දෙවැනි ධුර කාලයේ දී ඒ දෙදෙනාටම පැරැණි සමාජ ආර්ථික ප්‍රශ්න අළුත් වටයකින් මුණ ගැසුණි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් තම දෙවැනි ධුර කාලයට පිවිසෙන්නේ “රට බෙදන ප්‍රශ්නය” අවසන් කරය. දැන් තාප්පවල “රට බෙදන ආණ්ඩුව පරදමු!” යන පැරණි සටන් පාඨය දක්නට නැත.

“රට විකුණන ආණ්ඩුව ගෙදර යවමු” යන පැරණි සටන් පාඨය දැන් ඇත්තේ දේශපාලන කටුගෙදර ය. එමගින් සංකේතවත්ව පෙන්නුම් කරනුයේ, පැරණි දේශපාලන සංදර්භය වෙනුවට නව දේශපාලන සංදර්භයක් අප ඉදිරිපිට නිර්මාණය කර ඇති බවය. තම දෙවැනි ධූර කාලයේ දී, නව දේශපාලන – ආර්ථික සංදර්භයකට මුහුණ දෙන පළමු ජනාධිපතිවරයා ලෙස ඔහු නම් කිරීම නිවැරැදි වන්නේ එනිසා ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන විට, එතුමා වටා පවතින සුවිශේෂී සාධක අතරින් වැදගත්ම සාධක ලෙස මා හඳුනගන්නේ මේවාය.

මේ සාධක සියල්ල වෙන් වෙන්ව නොගෙන සියල්ල එකට ගෙන විමසූ කල අප හමුවේ වන පොදු පිංතූරය කුමක්ද? මීළඟට මා අවධානය යොමු කරනුයේ ඒ පිළිබඳව ය.

සැබැවින්ම, රට හමුවේ වනුයේ නව තත්ත්වයකි. එය, ජාතියක් බලවත්ව ගොඩනැංවීම උදෙසා අවශ්‍ය වන සියල්ල එකට, එක හා සමානව පෙළ ගැසී පවතින තත්ත්වයකි. රාජ්‍යයක් බලවත්ව ගොඩනැඟීමට එම රාජ්‍යයේ අභ්‍යන්තර යුද ගැටුම් නොපැවැතිය යුතුය. දැන් ශ්‍රී ලංකාවේ එබඳු අභ්‍යන්තර යුද ගැටුම් නොවේ.

එමෙන්ම, දේශපාලන ස්ථාවරභාවය ශක්තිමත්ව පැවතිය යුතුව තිබේ. අද ශ්‍රී ලංකාවේ පවතින්නේ 2/3ක බලයක් පාර්ලිමේන්තුව සතුව පවත්නා ආණ්ඩුවකි. පළාත් සභා සියල්ලෙහිම බලය ඇත්තේ ද ආණ්ඩුවටය.

පළාත් පාලන ආයතන සම්බන්ධව ද තත්ත්වය ඊට බෙහෙවින් සමාන ය. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙනුයේ දේශපාලන ස්ථාවරභාවය මැනැවින් තහවුරුව, සනාථව පවතින බවය. අනෙක් අතට, රාජ්‍යය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ආර්ථික උපාය මාර්ගයක් රට හමුවේ විවරව තිබේ. අද රාජ්‍යය හැකිලවීම සිදු නොවේ. ඒ වෙනුවට විකුණා දැමූ රාජ්‍ය ආයතන ද නැවත රජයට හිමිකර ගැනීම දැන් සිදු කෙරේ.

දේශපාලන ස්ථාවරභාවය

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ෂෙල් ගෑස් ව්‍යාපාරය ආදිය මීට ඇති කදිම නිදසුන්ය. රටක් ගොඩනැංවීමේ දී මේ සාධක සියල්ල එකට පැවැතීම අතිශයින් වැදගත්ය. විදේශ බලවේගයනට නැටැවිය නොහැකි බලසම්පන්න රාජ්‍ය නායකත්වයක් පැවැතීම, සාමය ස්ථාවරව පැවැතීම, දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිතව පැවැතීම, රාජ්‍ය ශක්තිමත්කිරීම අරමුණ කොටගත් ආර්ථික මූලෝපායක් මත පදනම්ව රට මෙහෙයවීම යන සාධක සියල්ල එකට එක්වී ක්‍රියාත්මක වීම යනු අදාළ රාජ්‍යය බලවත් වර්ධනයකට යොමු වීම ය. දැන් ශ්‍රී ලංකාව පවතින්නේ එම සංධිස්ථානයෙහිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දෙවැනි ධුර කාලයට දිවුරුම් දෙන්නේ ඒ නව සංධිස්ථානය අභියසදීය.

පළමු ධුර කාලයේ දී රට තුළ පැවැති අමිහිරි වේදනාකාරී සංදර්භය අද එතුමා හමුවේ නොවේ. පවතින්නේ අලුත් හැරවුමකට සුදුසු අළුත් තත්වයකි. රටක නායකයකුට, තම දෙවැනි ධුර කාලයේ දී එබඳු අවස්ථාවක් හිමි වීමම ඓතිහාසික නොවේද? මේ සුබ වාතාවරණය, ජාතියේ සෞභාග්‍යය උදාකරන නව පරිච්ඡේදයක් නිමවන බවට වන සහතිකයක් නොවේද?

පළමු ධුර කාලයේදී ද එතුමා ගත යුතු තීරණ එඩිතරව ගනු ලැබුවේය. ඒ, රට බේරා ගැනීමේ සටනට අදාළවය. දෙවැනි ධුර කාලයේ දී එතුමාට නිවැරදි, එඩිතර තීරණ ගැනීමට සිදුවන්නේ රට ගොඩනැඟීමේ සටනට සාපේක්ෂවය. රට බේරා ගැනීමේ සටනේ ප්‍රධාන භූමිකාව ඉටු කළේ ආරක්ෂක හමුදාවෝය.

රට ගොඩනැගීමේ සටනේ ප්‍රධාන භූමිකාව හිමිවනුයේ දේශපාලන තන්ත්‍රයට හා නිලධාරී තන්ත්‍රයටය. ආරක්ෂක හමුදා දැක්වූ සමත්භාවය, දේශපාලන හා නිලධාරි තන්ත්‍රය දක්වනු ඇත්ද?

දෙවැනි ධුර කාලය

තම දෙවැනි ධුර කාලයට දිවුරුම් දෙන ජනාධිපතිතුමන් ඉදිරිපිට ඉතිරිව පවතින එකම ප්‍රශ්නාර්ථය එය පමණි.

එම ප්‍රශ්නාර්ථයත් විසඳා ගැනීම යනු, ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෙවැනි ධුර කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ අසම සම පරිච්ඡේදයක් නිමවන කාලය බවට නිතැතින්ම පත්වීම ය.

අහස පැහැදිළිය. සුළඟ නිසි දෙසට හමනු ලැබේ. ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන බලයද පෙරදිගට මාරු වෙමින් තිබේ. කුණාටු රහිත දියඹක අපි ගමන් කරමින් සිටිමු.

නෞකාව ද ශක්තිමත්ය. නැව් කප්පිත්තා ද සියල්ල සඳහා සූදානමිනි. ඉතින්, කවර සාංකාවක්ද? පැරැණි මනසින් වියෝ වී නව තත්වයට සරිලන ඇසකින් මේ දෙස බලන්නට හැකිවීම පමණක් ගමන සඳහා ප්‍රමාණවත් ය. පොදු ජනතාවට අයත් කාර්යය වන්නේ එයම නොවේ ද?
 

විමල් වීරවංශ

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් ඇමැති

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්