මගී ප්‍රවාහන සේවයේ පැහැබර අනාගතය

මගී ප්‍රවාහන සේවයේ පැහැබර අනාගතය

ආර්ථික සංවර්ධනයත් සමඟ වර්ධනය වන එක් අංශයක් වන්නේ ප්‍රවාහන සේවයයි.

කිසිදු රටක යහපත් මගී ප්‍රවාහන සේවාවක් නොමැතිව සංවර්ධනය කරා ගමන් කළ නොහැකි ය. මහින්ද චින්තනයේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ ද ඒ නිසා වෙනි.

ඉතිහාසයේ ප්‍රථම වරට අය වැයෙන් නිර්ලෝභී දායකත්වයත් ඉකුත් වසරක දි ලබා දී ඇත්තේ මගී ප්‍රවාහනය ශක්තිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා ය.

පසු ගිය වසර කිහිපය දෙස හැරී බැලීමේ දී පෙනී යන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන බව ය. බස් ධාවනය මෙන් ම දුම්රිය ධාවනය ද වැඩි දියුණු කර තිබේ. ආර්ථික හා සමාජ සංවර්ධනය සමඟ සිදු වන වෙනස් කම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමේ කාර්යභාරය කඩිනමින් කෙරෙමින් පවතින අතර රාජ්‍ය අංශයේ බස් රථ ඇණිය 7500 දක්වා වැඩි කිරීමට ඉලක්ක කර තිබේ.

මේ සමඟ ම සිසු සැරිය, නිසි සැරිය හා ගැමි සැරිය නමින් නව සේවා අරඹා තිබේ. ලාභ ඉපයීම පමණක් අරමුණු කරගෙන බස් සේවා පැවැත්වීම පුද්ගලික බස් සේවාවේ සම්ප්‍රදාය වුව ද පුද්ගලික අංශයට ද මගී හිතකාමී ලෙස පරිවර්තනය කර ගැනීමට රජය සමත් වී තිබේ.

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ බස් සේවාවල මාර්ගයේ දී ඇති වන අහිතකර තරගකාරිත්වය වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය හඳුන්වා දී ඇති අතර එම නිසා 18000ක් පමණ වන පුද්ගලික බස් සේවාව ද අද සාර්ථක ලෙස මගී අවශ්‍යතා ඉටු කරනු ලබයි.

ලක්ෂ 34 ඉක්ම වූ වාහන ප්‍රමාණයක් රට පුරා ලියාපදිංචි වී තිබුණ ද පෞද්ගලික රථයක හිමිකාරත්වය අහිමි මෙරට ජනතාවගෙන් සියයට 92ක් පමණ ගමන් පහසුව සලසා ගන්නේ පොදු ප්‍රවාහන සේවාව තුළිනි.

එහි කොටස් කරුවකු වන රාජ්‍ය බස් රථ ඉලක්ක සපුරා ගැනීම සඳහා ලීසිං ක්‍රමය යටතේ දොර දෙකේ බස් රථ 1000ක් ඉදිරියේ දී ධාවනයට එක් කිරීමට සැලැසුම් කොට ඇත. ඊට අමතරව ග්‍රාමීය සේවා වැඩි දියුණු කිරීම සඳහා තවත් කුඩා බස් රථ 500ක් ගෙන්වීමට අනුමැතිය ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රථම බස් රථ 100 නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. සුළු අලුත් වැඩියාවන් කරගත නොහැකිව ඩිපෝවල ගාල් කර තිබූ බස් රථ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියක් සෑම ඩිපෝවකම සාර්ථකව ක්‍රියාත්මක වේ.

රජය මේ සඳහා අමතර කොටස් ලබා දීම සිදු කරන අතර අමතර කොටස් සැපයීමේ ස්ථාන කිහිපයක් ද ඉදිරියේ දී ඇරැඹීමට සැලැසුම් කර තිබේ.

වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකිව තිබූ ශ්‍රී ලංගම දිනක ආදායම රුපියල් ලක්ෂ 450ක් වන අතර එය 550 දක්වා වැඩි කර ලංගමය අනුන්ට බරක් නොවන ලෙස පවත්වා ගෙන යාමට සැලැසුම් කර තිබේ.

වසර 20කට පසු උතුර හා දකුණ යා කෙරෙන ප්‍රථම ශ්‍රී ලංගම බස් රථ සේවය 2009 ජුලි මස 22 වැනිදා යාපනය සිට කොළඹට පැමිණියේ ය. කොළඹ – යාපනය අතර ශ්‍රී ලංගම බස් රථ 20ක් ද පුද්ගලික බස් සේවා 106කට වැඩි ප්‍රමාණයක් ද ධාවනය වන්නේ උතුරේ ජනතාව ගේ එක් සිහිනයක් ඉටු කරමිනි.

උතුරේ ලංගම ඩිපෝ, වෛද්‍ය මධ්‍යස්ථාන හා රියැදුරු පුහුණු පාසල් ඇරැඹීමට පියවර ගැණිනි.

දිනකට ලක්ෂ 3ක පමණ සංඛ්‍යාවක් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නවා. දුම්රිය සේවාව අද වන විට 42 සිට එන්ජින් 62 දක්වා වර්ධනය කර තිබේ. එය ඉකුත් කාලය තුළ ලබා ඇති විශාල ජයග්‍රහණයකි. ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා දුම්රියෙන් ගමන් කරමින් අඩුපාඩු සොයා බැලීම නිසා අද දුම්රිය නිවැරැදි පීල්ලේ ධාවනය කිරීමට යොමු වී තිබේ.

ඉ 9 වැනි උසස් වර්ගයේ දුම්රියක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ. නවීන තාක්ෂණයෙන් යුත් බලවේග කට්ටල දුම්රිය කට්ටල 33ක් ඉදිරි කාලයේ දී දුම්රිය සේවාවට එක් වේ.

දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව ඇති කිරීමට අලුතින් දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග ඉදිකිරීම මාර්ග සංඥා පද්ධති නවීකරණය කිරීම දැනට අරඹා තිබේ. මාතර කතරගම නව දුම්රිය මාර්ගය ඉදිකෙරෙන අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 250කි.

සුනාමි ව්‍යසනයෙන් අබලන් වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ නවීකරණය කෙරේ. මෙය අදියර දෙකකින් සංවර්ධනය කෙරෙන අතර මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපාදන ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ උඩරට දුම්රිය මාර්ගවල පවා ධාවනය කළ හැකි ලෙසට එන්ජින් සහිත නවීන තාක්ෂණයෙන් යුත් බලවේග කට්ටල 20ක් හා එන්ජින් 3ක් ලැබේ.

මෙම මාර්ගය සංවර්ධන කිරීමෙන් පසු දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 100කින් පමණ වැඩිකර ගැනීමට හැකි වෙති.

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් උතුරු ප්‍රදේශයේ ගමනා ගමන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංගම හා පුද්ගලික බස් සේවා මෙන් ම දුම්රිය ධාවනය ක්‍රමවත් කිරීමට නියමිත ය.

යාල් දේවි දුම්රිය වසර 20කට පසුව වව්නියාවෙන් ඔබ්බට ගමන් අරඹා තිබේ. එම මාර්ගයේ තාන්ඩිකුලම් දක්වා දුම්රිය ධාවනය කෙරේ.

මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මේ වන විටත් සැලැසුම් කර තිබේ.

කිලෝ මීටර් 100ක් පමණ වන මෙම දුම්රිය මඟේ ප්‍රධාන පාලම් 6ක් ඉදි කෙරේ. ඉන්දියානු ඉර්කොන් සමාගම මගින් ඉදිකෙරෙන මෙම මාර්ගය මැදවච්චියේ සිට මඩු දක්වාත් මඩු සිට තලෙයිමන්නාරම් දක්වාත් අදියර දෙකකින් ඉදි කෙරේ.

මෙම මාර්ගය වසර දෙකකින් නිම කිරීමට නියමිත ය.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 24570කි. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වලට සමගාමීව මෙය ඉදි කෙරේ.

මාතර කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අරඹා ඇති අතර මාතර කොළඹ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අරඹා ඇත.

මීට අමතරව රටපුරා මගී ජනතාව ගේ අපේක්ෂාවන් මල්පල ගන්වමින් දුම්රිය පද්ධතියේ පුනරුදය කරා ලාංකික ප්‍රවාහන සේවය ගමන් කරමින් සිටී.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්