මහින්ද මහත්තයා ජනාධිපති නොවන්නට

මහින්ද මහත්තයා ජනාධිපති නොවන්නට

2005ජනාධිපතිවරණය නිමාවට පත් වූයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත්කරමින් ජනතා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරමින් නම් 2010 වසර වන විට ශ්‍රී ලංකාවට අත්වන ඉරණම කෙබඳු වේ ද...? මේ එසේ අත්වන ඉරණම පිළිබඳව චිත්‍රණය කෙරෙන පරිකල්පනයකි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස අරලියගහ මන්දිරයට පැමිණෙන රනිල් වික්‍රමසිංහ මහතා මුලින් ම සිදු කරනු ලබන්නේ එතුමන් විසින් ඇති කළ සටන් විරාම ගිවිසුම් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමයි.

ඒ අනුව නෝර්වේ නියෝජිත එරික් සෝල්හයිම් ඇතුළු සටන් විරාම නිරීක්ෂකයන් සමග තමිල් සෙල්වම්, පොට්ටු අම්මාන්, නඩේෂන්, පුලිදේවන් ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයට ගෙන්වීම නියත ය. මන්දයත් රනිල් වික්‍රමසිංහගේ 2002 – 2004 අගමැති ධූර කාලය තුළ අරලියගහ මන්දිරය කොටි ඒජන්තයන්ට නිරතුරුව විවෘතව පැවති තැනක් වීම නිසයි.

2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ නෝක්කාඩුවක් ගොඩනගාගෙන සිටි ප්‍රභාකරන් ගේ මනදොළ යළි යථා තත්ත්වයට ගෙන ඒම මෙම හමුවෙහි එක් සුවිශේෂී අරමුණක් වනු ඇත. එදා ඇරඹීමට තිබුණු එම නැවුම් දේශද්‍රෝහී සාකච්ඡාව කෙලවර වන්නේ ශ්‍රී ලංකාව රාජ්‍යයයන් දෙකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කිරීමේ පොරොන්දුව මත ය.

රනිල් වික්‍රමසිංහ සිය හිතෛෂිවන්තභාවය තහවුරු කිරීම සඳහා ගුවන් හමුදා විශේෂ කෆීර් සහ මිග් යානා අංගන වෙත එල්.ටී.ටී.ඊ නියෝජිතයන් රැගෙන ගොස් පෙන්වීම සහ එදින රාත්‍රියේ දී කොළඹ තරු පහේ හෝටලයක දී ත්‍රස්තවාදීන්ට අනංග සැප ලබා දීම වැනි දෑ අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවෙන් අනතුරුව සිදු වීමට ඇති සම්භාවිතාව වැඩි ය.

සාකච්ඡාවෙන් අනතුරුව 2006 වර්ෂය වන විට රනිල් වික්‍රමසිංහයන් ගේ සටන් විරාම ගිවිසුම වෙනුවට නව ලියවිල්ලක් රට හමුවෙහි ඉදිරිපත් කිරීම නියතව ම සිදු වනුඇත. එනම් තමිල් ඊළම සහ ශ්‍රී ලංකාව යන රටවල් ;දකකින් සමන්විත බෙදා වෙන් කරන ලද දූපතක් බවට එම ලියවිල්ලෙන් මෙම ස්වෛරී රාජ්‍යය බෙදා වෙන් කෙරෙනු ඇත.

ඊට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් රනිල් වික්‍රමසිංහ ද එල්.ටී.ටී.ඊ ය පාර්ශ්වයෙන් වේළුපිල්ලේ පිරිබාහරන්ද දෙරටේ රාජ්‍ය නායකයන් ලෙස අස්සන් තැබීම නියත ය. මේ සඳහා මැදහත් සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබනු ලබන්නේ නෝර්වේ රාජ්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ලියවිල්ල අස්සන් තැබීමෙන් අනතුරුව ඊළාම් සිතියමට අනුව දේශ සීමා මායිම් වෙනස් කිරීම සිදු වෙයි. රටවල් දෙකේ සීමා දෙක අතර නෝ මෑන්ස් ලෑන්ඩ් හෙවත් දේශ සීමා මුක්ත මීටර් දෙසීයක කලාපයක් ඇති කරයි. එහි භාරකාරත්වය නොර්වේ රාජ්‍යයට පිරිනැමීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ත්‍යාගශීලීවන්ත වන අතර වේලුපිල්ලේ පිරිබාහරන් ඒ සඳහා අණ දෙනු ලබයි.

දෙරටට ඇතුළු වීම සඳහා නව වීසා ක්‍රමයක් 2007 වසර මුල වන විට හඳුන්වා දීම ද නිශ්චිත ය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ත්‍යාගවන්තභාවය ප්‍රකාශ කරනු වස් ගුවන් හමුදාව සතු මිග් යානාවලින් දෙකක් ද කෆීර් යානාවක්ද නාවික හමුදාව සතු සයුර නෞකාවද යුද හමුදාව සතු මල්ටි බැරල් රොකට් විදිනයන් දෙකක් ද ඊළාම් රාජ්‍යයට ප්‍රධානය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොසිතුණොත් පුදුමයකි.

ඊළාම් රාජ්‍යයේ අගනුවර බවට ත්‍රීකුණාමලය ප්‍රකාශ කිරීම 2007 වසරේ මැද භාගය පමණ වන විට සිදු වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රධානයක් ලෙස තට්ටු විස්සක පරිපාලන සංකීර්ණයක් ද ඊළාම් අගනුවර වන ත්‍රිකුණාමලයෙහි ඉදි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු හිරිකිතයකින් තොරව ඉදිරිපත් වනු ඇත. ශ්‍රී ලාංකිකයන් ගේ දෑස් ඉදිරියේ ඊළාම් රාජ්‍යය දිනෙන් දින දියුණුවට පත් වෙමින් සෞභාග්‍යමත් රටක් බවට පරිවර්තනය වීම ද අනිවාර්යයෙන් ම සිදු වන්නකි.

2010 වසර වන විට නොර්වේ මැදිහත් කරුවන් දේශ සීමා රහිත කලාපය ද ඊළාම් රාජ්‍යයටම පිරිනැමීම ද ස්වාභාවික සංසිද්ධියක් ලෙස සිදුවනු ඇත. අමෙරිකානු හමුදා වේළුපිල්ලේ පිරිබාහරන් සමග ගිවිසුම් ගසා ත්‍රිකුණාමල වරාය ඔවුන්ගේ නාවුක මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම ද ඊළමට අයත් මුහුදු සීමාවෙහි තෙල් කැණීම් කටයුතු අමෙරිකාව විසින් අරඹීම ද මීට සමගාමීව සිදු වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ ය. එල්.ටී.ටී.ඊයට සියලු පුද සත්කාර සිදු කළ රනිල් වික්‍රමසිංහ ගේ ඊළඟ අභිමතාර්ථය වනු ඇත්තේ 2002 – 2004 කාලයේ දී පිඹුරුපත් සැකසූ රිගේනින් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකාව යළි බටහිර යටත් විජිතයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය දියත් කිරීමයි. ඒ අනුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් ගේ නියෝජිත කඳවුරු ලංකාව තුළ ඉදිවෙන අතර ස්වාභාවික සම්පත් ඇතුළු සියලු දේවල සැබෑ අයිතිය ඔවුන්ට හිමිවනු ඇත.

උදාහරණයක් ලෙස ලෝකයේ ඇති රමණීයම වැසි වනාන්තරයක් මෙන් ම ලෝක උරුමයක් වන සිංහරාජයෙහි නෑඹිලි තුන්දොළෙහි ගලන නිල් කැටවන් දියදහරේ පූර්ණ අයිතිය ඇමෙරිකන් වෝටර් සමාගමට හිමි වනු ඇත.

සියලු රාජ්‍ය ආයතන දියකර හැර බහුජාතික සමාගම්වලට ලංකාවෙහි සියලු සම්පත් සූරා කෑමට හැරීම රනිල් වික්‍රමසිංහ ගේ අනන්‍යතා ලක්ෂණයයි. දේශීය යැයි හැගෙන සියලු දේ විනාශ මුඛයට යන අතර එහි ඉහළින් ම සිටින්නේ අසරණ සිංහල ජනතාවයි. ඊට කදිම උදාහරණයක් සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශවලින් දැක ගත හැකි වනු ඇත.

සුනාමියෙන් විනාශ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තව දුරටත් නටබුන් රැසක් මෙන් දිස්වනු ඇති අතර මින් පෙර යුද්ධයෙන් විනාශ වූ කිලිනොච්චිය යාපනය වැනි ප්‍රදේශවල ස්වරූපය නොගතහොත් එය පුදුමයට කරුණකි. පුත්තලමේ ඊළාම් දේශ සීමාව අවසන්ව ශ්‍රී ලංකා දේශ සීමාව ආරම්භ වූ තැන් සිට දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් වන තෙක් වූ සමස්ත වෙරළ තීරයේම තිබෙනු ඇත්තේ සුනාමියෙන් අවතැන් වූවන්ගේ පැල්පත් ය.

තංගල්ල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක යාල වනාන්තරය සේ ම වල්බිහිව කැලෑවලට ගිල ගැනීම ද නියත ය. බොහෝ ප්‍රදේශවල ගමනාගමනය අපහසු වන අතර සමහරක් ප්‍රදේශවල කිසිදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවීමට ද ඉඩ තිබේ. මාර්ග අබලන්ව ජලාශවල ස්වරූපය ගනු ඇත.

වසරින් වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජනතාවට අඳුරේ ජීවත් වීමට සිදුවීම ද ස්ථිර ය. අලුතින් කිසිදු විදුලි බලාගාරයක වැඩ නොඇරඹීමත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයෙ හි සියලු සම්පත් පෞද්ගලීකරණය කර තිබීමත් ඊළාම් දේශයෙන් ලබා ගන්නා ඛනිජ තෙල් අමෙරිකානු සමාගමක් හරහා විදුලිය නිපදවීම සඳහා මිල දී ගැනීමත් රනිල් වික්‍රමසිංහට බලාගාර සෑදීමට වඩා පහසු වනු ඇත. සියලු මඩ ඉඩම් ගොඩවෙන අතර කුඹුරක ආකෘතියක් පමණක් කෞතුකාගාරයක තැන්පත් කෙරෙනු ඇත.

අනතුරුව ශ්‍රී ලංකාවේ ඉඩම් සියයට සියයේ බදු සහනය මත විදේශිකයන්ට ලැබෙන අතර රිගේනින් ශ්‍රී ලංකා බාධාවකින් තොරව ඉදිරියට යනු ඇත. කවරෙකු හෝ ඔහුගේ ගමනට බාධා කළ හොත් රනිල් වික්‍රමසිංහගේ බටලන්ද යළි පණ ලබනු නොඅනුමාන ය. චුයින්ගම් සහ බ්‍රේස්ලට් වෙනුවට ලංකාවේ තරුණ තරුණියන්ට කනේරු ඇට කා වදමල් මාලයක් ගෙල පැළඳ ගැනීමට සිදුවීම නියත ය.

රටට ආදායම් ලබා දුන් ප්‍රධානත ම ආයතන තුනක් වන රේගු අධිකාරිය, සුරා බදු අධිකාරිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්තැන් කර එකක් බවට පත් කර සියලු හොරුන්ට බදු සහන ලබා දෙමින් ජාතික ධනය කාබාසිනියා කිරීම ද සියයට දෙසීයක් විශ්වාසයට ගත හැකි සිදුවීමකි.

මේ සියලු අභාග්‍යසම්පන්න සිදුවීම් අතර වැඩි කලක් යාමට මත්තෙන් මධ්‍යම කඳුකරයෙහි මළයනාඩුවක් බිහි කිරීම ද රනිල් වික්‍රමසිංහගේ දෑතින් ම සිදු වනු ඇත. මේ සියලු සංසිද්ධීන් ගේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ සිංහල ජාතිය කලකට ඉහත ජීවත් වූ මේ වනවිට වඳ වී ගිය ජාතියක් බවට වසර 2050 වන විට පත්වීමත් ශ්‍රී ලංකාව යන නාමය ද එපරිද්දෙන් ම මැකී ගිය රාජ්‍යයක් ලෙස ඉතිහාසයට එකතු වීමත් ය.

එහෙත් ජාතියේ පින් මහිමයට බුදුන් වැඩි දේශයේ අනුහසට ඉහත ඛේදවාචකය සිදු නොවුණි. 2005 දී රනිල් වික්‍රමසිංහ ගේ සියලු උප්පරවැට්ටි පරාජය කරමින් මහින්ද රාජපක්ෂයන් බලයට පත් වූ අතර මිනිසුන් ගේ මූලික අයිතියක් වූ බීමට ඇති දිය පොද වැලකූ ත්‍රස්තවාදීන්ව මේ මිහි පිටින් අතුගා දැමීමට එතුමන් වහවහා පියවර ගත්තේ ය. මහින්ද චින්තනය නම් වූ සිය ජනාධිපතිවරණ ප්‍රතිඥා සන්නස ගුරු තන්හි තබා නිරන්තරව කටයුතු කිරීමට පටන් ගත් මහින්ද රාජපක්ෂ ජනපති යුද්ධය නිමා කොට ශ්‍රී ලංකා දේශය එක්සේසත් කර ගෞරවනීය සාමයක් උදා කර දුන්නේ ය.

යුද්ධය කරන අතරතුර මහින්ද චින්තන ප්‍රතිඥා ප්‍රකාරව දිවයිනේ සිව්කොන ආවරණය වන පරිදි දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් දියත් කිරීම ද ඒ ඔස්සේ වසර පහක් වැනි කෙටි කාලයක් තුළ සහස්‍ර සංවර්ධන ඉලක්ක කරා වේගවත්ව ප්‍රවිශ්ට වන යුද බියකින් තොර සාමකාමී සමත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ද මහින්ද රාජපක්ෂයන් ගේ අසහාය නායකත්වය විදහා පාන සාරවත් ලක්ෂණයකි.

කැලෑවට ගිල ගැනීමට තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කය අද වනවිට ජාත්‍යන්තර වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වන ලකුණු පහළ කරමින් සිටී.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිකිරීමට සමගාමීව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිවීම ද හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, රාජ්‍ය සේවා සංකීර්ණය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට උද්භිද උද්‍යානය ඇතුළු අනේක විධ සංවර්ධන ක්‍රියාදාමයන් රැසක් එම දිස්ත්‍රික්කයට ලැබීම ද අනාගත ලෝකයේ ප්‍රබල ආර්ථික මර්මස්ථානයක් බවට හම්බන්තොට පත්වනු ඇති බවට කදිම නිදසුන් ය.

හම්බන්තොට වරාය ඉදිවීමට සමගාමීව දිවයින වටා සංවර්ධනය කෙරෙන තවත් වරාය ගණනාවකි. කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය, ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය, ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතිය, ඔලුවිල් වරාය ව්‍යාපෘතිය ඒ අතර ප්‍රධාන ය. මීට අමතරව ලංකාව පුරා ජාත්‍යන්තර මට්ටමේ ධීවර වරාය ගණනාවක් ද ඉදිවෙමින් පවතී.

වරායවල් සහ ගුවන්තොටුපොළවල් ඉදිකිරීම හරහා නිදහස් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ ලෝකය හා සම්බන්ධ කරද් දී රට අභ්‍යන්තරය තුළ වේගවත් සංවර්ධනයක් සඳහා සියලු මංමාවත් එකලෙස නවීකරණය කිරීම ද ආශ්චර්ය දනවන සිදුවීමකි. අගනුවර වටා පමණක් කඩිනම් ලෙස ඉදි වූ සහ ඉදිවන ගුවන් පාලම් සංඛ්‍යාව 17 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගය, කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, ;කාළඹ කටුනායක අධිවේගී මාර්ගය යන අධිවේගී මාර්ග තුන සහ කොළඹ පිටත වටරවුම් මාර්ගය එකවර ඉදිකරමින් අධිවේගී ගමනාගමනයට අප රට ඔසවා තබමින් තිබේ.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන විට රට අඳුරට අත වනමින් තිබිණ. එකඳු හෝ විදුලි ව්‍යාපෘතියක් රට තුළ ක්‍රියාත්මක නොවූ අතර විදුලිය වෙනුවෙන් අති විශාල මුදලක් ඩීසල් සඳහා ගෙවමින් තිබිණ.

එහෙත් එම තත්ත්වය මුළුමනින් ම වෙනස් කරමින් එතුමන් එතෙක් ඇන හිට තිබූ සියලු විදුලි ව්‍යාපෘති යළි ආරම්භ කළේ ය. ඒ අනුව 2010 වනවිට රට තුළ දැවැන්ත විදුලි ව්‍යාපෘති ගණනාවක් ඒවායේ අවසාන අදියරට ළඟා වෙමින් ජාතික විදුලි බල පද්ධතියට සිය දායකත්වය ලබා දීමට බලා සිටී. කෙරවලපිටිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝල, ත්‍රිකුණාමලය, කෙරවලපිටිය ගෑස් යන මහාපරිමාණ විදුලි බලාගාර ව්‍යාපෘතීන් පහ ඒවා අතරින් ප්‍රධාන ය.

අද ආර්ථික වර්ධන වේගය 8% කි. 2004 වසරේ දී ඇමෙරිකානු ඩොලර් 1,062 ක් වූ ඒක පුද්ගල ආදායම 2009 වසර වන විට අමෙරිකානු ඩොලර් 2,053 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණ.

 මීට වසර තුන හතරකට ඉහත දී අප රට හංවඩු ගසා තිබුණේ අසමත් රාජ්‍යයක් ලෙසයි. එම අපකීර්තිමත් නාමය අප රටට උරුම කර දීමට පිඹුරුපත් සැකසුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. එහෙත් අද අප රට සහස්‍රක සංවර්ධන ඉලක්ක කරා වේගයෙන් ළඟා වන සංවර්ධිත රාජ්‍යයන් හා කරට කර සිටිය හැකි මානව සම්පතකින් යුතු ප්‍රබල රාජ්‍යයක් බවට පත්වෙමින් සිටී.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්