ශ්‍රී ලාංකේය දේශපාලනයේ රාජපක්‍ෂ සලකුණ

ශ්‍රී ලාංකේය දේශපාලනයේ රාජපක්‍ෂ සලකුණ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගේ දෙවෙනි ධුර කාලයේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් ලබා දීමට හැකි වීම ගැන අතිශයින් ම සතුටු වන්නෙමි.

දා 1951 දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට පැමිණ අසුන් ගැනීමේ ඓතිහාසික මොහොත ලංකා දේශපාලනයේ සලකුණක් බවට පත් වීමට වැඩි කාලයක් ගියේ නැත. 1956 දී සිදු වූ දේශපාලන වෙනස මුළු රටේ ම යුග පෙරළියක් විය. බණ්ඩාරනායක ශ්‍රීමතාණෝ ගරු අග්‍රාමාත්‍ය තනතුරට පත් වූහ. 1951 සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් විය.

ඒ ගිරුවාපත්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය තවත් ගරු මන්ත්‍රීවරයෙක් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමඟම විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමයි. ඒ අන් කවරෙකුවත් නොවේ, රුහුණේ සිංහයා නමින් විරුදාවලියකින් පුද ලද ඩී. එම්. රාජපක්‍ෂ මන්ත්‍රීතුමා ගේ සොහොයුරා වන බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාණන් ය. තවත් අයුරකින් කියතොත් වර්තමාන අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පියාණන් ය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් යුගයක් නිර්මාණය කළා සේ රාජපක්‍ෂ පරම්පරාවෙන් ද යුගයක් නිර්මාණය විය. ඉතිහාසය විසින් ම මේ වගකීම රාජපක්‍ෂ පරම්පරාවට පවරා ඇති බවක් අපට පෙනී යයි. ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන් එදා පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්ෂයට පිය නැඟීම ඔහුගේ ම පුත්‍ර රත්නය ජනාධිපති තනතුර දක්වා ම පිය නැඟීමෙන් ඉතිහාසය නව මගකට යොමු කිරීම 56 විප්ලවයට ම නොදෙවෙනි යුග පෙරළියක් ලෙස මම දකිමි.

ප්‍රතිපත්තිගරුකත්වය

වීරකැටිය මැදමුලනේ දී 1945 නොවැම්බර් 18 දින ජන්මලාභය ලද මෙතුමා ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා හා තර්ස්ටන් යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා 1974 කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමෙන් අනතුරුව දක්ෂ නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇත. 1

970 දී මුල් වතාවට බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට යන විට මෙතුමා ගේ වයස අවු. 24 කි. එවක පාර්ලිමේන්තුවේ ලාබාල ම මන්ත්‍රීවරයා ද ඔහුම විය. 1947 සිට 1965 දක්වා ම මේ අසුන නියෝජනය කළේ මෙතුමා ගේ පියා වන ඩී. ඒ. රාජපක්‍ෂයෝ ය.

ප්‍රතිපත්තිගරුකත්වය සහ තමා නියෝජනය කරන පක්ෂය කෙරෙහි දක්වන පක්ෂපාතිත්වයත්, එඩිතර බවත් මෙතුමා ගේ දේශපාලනය ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එතුමා කිසි විටෙක පක්ෂය හැර ගොස් නැත. එය සිය පියාණන්ගෙන් උරුමකරගත් දේශපාලන දායාදයක් ලෙස විචාරකයෝ හඳුන්වති.

වසර 25 කට ආසන්න කාලයක් පලස්තීන මිත්‍රත්ව සාමූහිකත්ව කමිටුවේ සභාපති වශයෙන් එරට කෙරෙහි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් ගොඩනැගීමට එතුමා සමත් වී ඇත. මානව අයිතිවාසිකම් වෙනුවෙන් අභීත හඬක් නැඟූ එතුමාට ඉන්දියාවේ “විශ්ව භාරතී” සරසවිය මගින් ගෞරව සම්මාන උපාධියක් ද පිරිනමා ඇත.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගේ රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධූරයක් හෙබ වූ එතුමා ඒ තුළින් ධීවර ජනතාව පෝෂණය කිරීමට අමිල සේවයක් කර සාගර විශ්වවිද්‍යාලය ද අරඹා සමස්ත කම්කරු ජනතාවගේ සුබසාධනය සඳහා කම්කරු ප්‍රඥප්තියක් ද සකස් කළේ ය. වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී හම්බන්තොටට වරායක් ලබා දීමේ සංකල්පය එතුමා ඉදිරිපත් කළ අතර, එය අද මල්ඵල ගැන් වී ඇත.

1994 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය සමඟම මෙතුමා කම්කරු අමාත්‍ය ධූරයට තෝරා පත් කරගත් අතර, කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරමින් කම්කරු අයිතිවාසිකම් සුරැකීමට ක්‍රියා කළ ද රජය විසින් එහි ක්‍රියාකාරිත්වය අති හිටවනු ලැබී ය. 1997 දී ධීවර ඇමතිවරයා වශයෙන් “දියවර ගම්මාන” නම් වූ සංකල්පයක් ක්‍රියාත්මක කරවමින් ධීවර ජනතාව ගේ සුබ සිද්ධිය පිණිස විශාල කාර්යයභාරයක් ඉටුකරන ලදී.

2002 මාර්තුවේ දී මෙතුමා විපක්ෂ නායක වශයෙන් තේරී පත් වූ අතර, 2004 දී ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ද තේරී පත් විය. අග්‍රාමාත්‍ය තනතුරට අමතරව මහාමාර්ග අමාත්‍යාංශය ද එතුමා යටතේ විය. මහාමාර්ග ඇමති වශයෙන් ඉදිරිපත් කළ “මඟ නැඟුම” සංකල්පය තුළින් මේ වන විට සමස්ත මාර්ග පද්ධතිය ම නවීකරණය වී හමාර ය.

දරුවන්ට සංවේදී නායකයා

2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන මහින්ද රාජපක්‍ෂයන් එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ අභීතම දේශපාලඥයෙකු ලෙස ඉතිහාසයට එක් වී හමාර ය.

රුහුණට වරායක්, ගුවන් තොටුපොළක්, ටෙලි ගම්මානයක් ඇතුළු සුවිශේෂී වරප්‍රසාද හා සේවා රාශියක් ම ලබා දෙමින් තමා උපන් ගමටත්, රුහුණු පුරවරයටත් කෘතවේදිත්වය හා ප්‍රණාමය දැක්වීමට එතුමා ඉදිරිපත් වීම සමස්ත රුහුණු ජනතාව ගේ ම පෙර පිනකි. ශ්‍රී ලංකාව පුරා ම ඉතා සුවපහසු මාර්ග පද්ධතියක් සකස් වූයේ මහින්ද චින්තනය නිසා ය. වසර 30 කටත් අධික කාලයක් තිස්සේ පැවති රුදුරු කොටි ත්‍රස්තවාදය මුලු මුලින් ම උපුටා දැමීම අපට පමණක් නොව මුළු ලෝකයට ම ආශිර්වාදයක් විය.

මහින්ද චින්තනය තුළින් අපේ මෙතෙක් පැවති විදේශ ප්‍රතිපත්තියේ ද සැලකිය යුතු වෙනසක් සිදුකර ඇත. එය නව ආර්ථික ප්‍රවර්ධනයකට මංපෙත් විවර කරන බවට විචාරකයෝ අදහස් ඉදිරිපත් කරති.

දළදා මාලිගාවේ ප්‍රතිසංවර්ධනය

ආගම දහම කෙරෙහි නිරතුරුව ම අවධානය යොමු කරන මෙතුමා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංවර්ධනය සඳහා ද කරුණු කාරණා රාශියක් ම ඉටු කර ඇත. මහමළුවේ අන්තර් සවි කොන්ක්‍රීට් ගල් අතුරවා මංපෙත් ද ඒ ආකාරයට ම ඉදිකරවා පත්තිරිප්පුව යට අංගනය විධිමත්ව කළුගල් පතුරුවලින් ප්‍රතිනිර්මාණය කිරීම පෙර රජදරුවන් දවස සිද්ධස්ථාන වැඩිදියුණු කළ ආකාරය සිහිපත් කරවයි.

රැජින හෝටලය ඉදිරියෙන් මහ මළුව හරහා වැටී තිබූ මාර්ගයේ රථ වාහන ගමනය නතර කරවීම මාලිගයේ අභිමානයට ඉමහත් අත්වැලකි. මාලිගා පරිශ්‍රයේ පිහිටි පැරැණි උසාවි සංකීර්ණය මාලිගයට පවරා දීමත් ඒ තුළ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් නිර්මාණය කරවීමත් ඉතා උදාර ය. දැයට කිරුළ මහෝත්සවය පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ පැවැත්වීමෙන් එම භූමියේ සියලු ම මංපෙත් විධිමත් ලෙස සැකසුනු අතර, එය එම ආයතනයේත් ඊටම අනුබද්ධ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ ප්‍රවර්ධනයට බලවත් රුකුලක් වී ඇත.

රාජ්‍ය අනුග්‍රහය

පිටිසර දේවාලවල පෙරහැරවල් ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කර ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ඉතා ප්‍රශස්ත ය. දිගු කාලයකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම වෙත පවරා ගත් විහාර දේවාලගම් සන්තක ඉඩකඩම් යළිත් එම සිද්ධස්ථානවලට පවරා දීමට පියවර ගැනීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සහ සංරක්ෂණය වෙනුවෙන් ගන්නා ලද ඉතා උතුම් ක්‍රියාදාමයකි.

දළදා පෙරහැර ගමන් මාර්ගය විධිමත්ව සකස් කරවා ඇත. එය පෙරහැර ගමන් කිරීමේ දී ඇති වන අනවශ්‍ය පමාවීම් වලක්වාලන අතර, පහසුතාවයක් ද ඇති කරවයි. මල්වතු අස්ගිරි උභය මහාවිහාර පාර්ශවයන් දෙකට ඇත් පැටවු දෙදෙනෙකු පූජා කිරීම පෙරහැර සංස්කෘතියේ ඉදිරි පැවැත්මට අතදීමකි.

2010 නොවැම්බර් 19 දින සිය දෙවෙනි ධූර කාලයේ දිවුරුම් දෙමින් ජනාධිපති පදවි ප්‍රාප්තියට යළිත් පියනගන අතිගරු ජනාධිපතිතුමනි, කුරිරු යුද්ධය නිමාකළ සේ ම බතින් බුලතින් සපිරි සමෘද්ධිමත් රටක් අද හෙට ම ගොඩනැගීමට ඔබතුමන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

ප්‍රදීප් නිලංග දෑල

දියවඩන නිලමේ

ශ්‍රී දළදා මාලිගාව

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්