සියලු ආගම් සුරැකි ශක්තිමත් නායකයා

සියලු ආගම් සුරැකි ශක්තිමත් නායකයා

මම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හඳුනා ගනු ලැබුවේ එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යව සිටිය දී ය. විවිධ ආගමික හා ජාතික ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ නියෝජිතයන් ලෙස විටින් විට අපි එතුමා හමුවුණෙමු.

අතිපූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය එගොඩඋයනේ ඥානවිමල හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි, පූජ්‍ය මාතලේ අමරවංශ හිමි. පූජ්‍ය කුරුක්කල් මොහාන් ෂර්මා වැනි පූජ්‍ය පක්‍ෂයේ හිමිවරු අප අතර වූහ. මහින්ද රාජපක්‍ෂ නම් මෙම නිර්භීත නිර්ව්‍යාජ මිනිසා පිළිබඳව දිනෙන් දින වැඩි වර්ධනය වන පැහැදීමක් මා තුළ ඇති විය.

2005 මහින්ද චින්තනය පළමුවරට දොරට වැඩිය දා, එතුමා විසින් තෝරා ගත් කිතුනු ආගමේ නියෝජිතයා ලෙස මහින්ද චින්තනයේ පළමුවරට නිකුත් කළ පිටපතක් ලැබීමට මම ද භාග්‍යවන්තයෙක් වීමි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාණෝ සිය දෝතින් “මහින්ද චින්තනය” මා හට පිරිනැමුවෝ ය.

 අනෙක් මුල් පිටපත් එතුමා අතින් ලැබුවෝ අති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්, පූජ්‍ය කුරුක්කල් මොහාන් ෂර්මා ඇතුළු පූජ්‍ය පක්‍ෂයේ අයවලුන් ය. මහින්ද චින්තනයේ අකුරක් අත්නොහැර ඉතාමත් සංයමයකින් කියෙවූ මම එහි ගැඹුරු දර්ශනය නිසි පරිදි තේරුම් ගතිමි.

”මිනිසා භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද ගොඩනැගීම සඳහා පුද්ගලයාට ශ්‍රද්ධාව මෙන් ම ප්‍රඥාව ද ලබා දිය යුතු ය. ඒ සඳහා මාපිය, දූ දරු, සැමියා බිරිඳ, ගුරු සිසු සේව්‍ය සේවක, පාලක පාලිත ආදී සියලු සබඳතා යහපත් සහ ඵලදායී බවට පත්කර, වෛරය තුරන් කිරීම මාගේ අරමුණයි” (මහින්ද චින්තනය) යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය දොරට වඩින කළ සඳහන් කළේ ය.

එක ම භූගෝලීය ප්‍රදේශයක ජීවත් වෙමින් විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන, විවිධ දේශපාලන මත දරන අපට මෙය කොතෙක් දුරට ගැලපේදැයි මම කල්පනා කළෙමි. එය අංග සම්පූර්ණ ප්‍රකාශයකි. මිනිසා සැබවින් ආර්ථික, මානසික, අධ්‍යාත්මික වශයෙන් පෝෂණය වුවහොත් සම්පූර්ණ සංවර්ධනයක් තමා තුළත්, සමාජය තුළත්, රට තුළත් ඇති කළ හැකි ය.

2005 වසරේ ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින මෙම වකවානුවේ එතුමාගේ දේශපාලන නායකත්වයට එරෙහිව බොහෝ කුමන්ත්‍රණ දියත් වෙමින් තිබිණ.

ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ජනතාවට නිසි සැලකිල්ලක් එතුමා ජයග්‍රහණය කළහොත් නොදක්වන බව ඇතැම්හු තැනින් තැන පවසමින් සිටියෝ ය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ආවරණය කළ මහින්ද චින්තනය දොරට වැඩි දිනයේ අරලියගහ මැදුරේ පැවති මෙම සුහද සංවාදය මෙහෙයවූ මම කිතුනු ආගමිකයන් සම්බන්ධයෙන් එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටියෙමි.

එතුමා පැවසුවේ “මම බෞද්ධයෙක්, බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මම දහම් පාසල් ගිය කෙනෙක්. කිසි ම ආගමකට නොසලකා ඉන්න, වෙනස්කමක් කරන්න, හිරිහැරයක් කරන්න මට අයිතියක් නැහැ. මම බෞද්ධයෙක් නිසා ම අනිත් ආගම් සුරකිනවා. ඒවාට ගරු කරනවා.”

මෙය කොතරම් මනහර වදන් පෙළක් දැයි මම කල්පනා කරමි. එතුමා 2005 ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. කිතුනු ප්‍රජාව වෙනුවෙන් එතුමා ගේ හිස මත අත තබා කිතුනු ආශීර්වාදය ගෙන ඒමට තරම් මම වාසනාවන්ත වීමි.

සියලු ආගම්වලට එක සමානව සැලකීම

එතුමාට උපකාර කිරීම හේතුකොට ගෙන, එතුමාට පක්‍ෂ දේශපාලනය කළා යැයි චෝදනා එල්ල කොට එදා මා පූජකත්වයෙන් තහනමකට ලක් කළ ද (කෙටි කලකින් කරුණු නිවැරැදිව අවබෝධ කර ගත් පසු තහනම ඉවත් කරන ලදී) හිරිහැරවලට ලක් වූව ද, අද එතුමා සියලු ජනවාර්ගිකයන්ට නිදහස් රටක ජීවත් වීමට ඉඩ ලබා දෙමින්, එමෙන් ම අප ගේ කිතුනු ප්‍රජාවටත් එලෙසින් ම කළා වූ අනගි මෙහෙවර ගැන සිතන කළ මා යම්කිසි ක්‍රියාවක් එතුමා වෙනුවෙන් කළා නම් අද ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙමි. මන්ද එදා මා ආශීර්වාද කළ එතුමා මුළු දේශයට ම නිදහස උදාකොට තිරසාර සාමයක් රට තුළ ඇති කළ බැවිනි.

අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමත් සමඟ ම විවිධ අමාත්‍යාංශ යටතේ තිබුණු බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කිතුනු ආගම් එකම අමාත්‍යාංශයක් යටතට ගෙන එනු ලැබී ය. එම අමාත්‍යාංශයට ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය යනුවෙන් නම් තැබී ය. එයට හේතු වූයේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා ආගමික හා සාරධර්ම වටිනාකම් ජනතාව තුළ වර්ධනය කරනු පිණිස කටයුතු කිරී ම ය. මෙම කටයුත්තට එතුමාණෝ කෙතරම් උනන්දු වී ද යත්, මෙම අමාත්‍යාංශය තමන් යටතටම පවරා ගනු ලැබිණි.

එම සියලු කටයුතු මෙහෙයවීම් එතුමාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේම සිදුකරනු ලැබී ය. එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයන් ලෙස සෑම ආගමකට ම සමානත්වයෙන් සැලකීම හා සියලු ආගමික හා ජනවාර්ගික කොටස්වලට සුරක්‍ෂිතව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීම, ආර්ථික දුෂ්කරතා ඇති ආගමික ස්ථානවලට උදව් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආගමික අධ්‍යාපනය ගොඩනැගීමෙහිලා පර්යේෂණ කටයුතු මෙහෙයවීම හා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීම හඳුන්වා දෙනු ලැබිණි.

කිතුනුවන් ගේ කටයුතු විධිමත්ව නිවැරැදිව කරගෙන යෑම සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ශක්තිමත් කරනු ලැබී ය.

මෙම දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ ක්‍රිස්තියානි ජනතාව ගේ සුබසිද්ධිය සඳහා ක්‍රියා කිරීමත්, කිතුනු දහමේ හා සංස්කෘතියේ වටිනාකම් හා විශ්වාසයන් සමාජයේ පිළිගත් ආකාරයට වර්ධනය කිරීමත් ය. එනම් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා ආගමික වටිනාකම් ජනතාව තුළ වර්ධනය කරනු පිණිස ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීම අධීක්‍ෂණය කිරී ම ය.

මෙරට බිහිවුණා වූ කිසිදු පාලකයෙකුට සම කළ නොහැකි ආකාරයෙන් සෙසු ආගම්වලට මෙන්ම කිතුනු සංඝයටත් අතිගරු ජනාධිපතිතුමා අද්විතීය සේවාවක් ඉටු කරනු ලැබී ය. වන්දනාමාන කරන පූජනීය ස්ථාන වඩාත් ශක්තිමත් කිරීම සඳහා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශයක් ද වෙන ම ස්ථාපිත කළේ ය. මේ යටතේ වන්දනා ගමන් ආඥා පනත යටතේ රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රසිද්ධ වන්දනාමාන ස්ථානයන් හි මංගල්‍යය උත්සව කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය සපයා දෙනු ලැබිණි.

වන්දනා ගමන් යන පිරිස්වලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා විශාල මුදලක් වැය කරනු ලැබිණි. එම සිද්ධස්ථාන නඩත්තුවට උපකාර කිරීමට අමතරව මෙම යටිතල පහසුකම් ලබා දෙන ලදී. මඩු වන්දනාවේ යන අය වෙනුවෙන් මැදවච්චියේ තනන ලද ජල ටැංකිය, තලවිල ශුද්ධවූ ආනා දේවස්ථානයේ සාදන ලද විශ්‍රාම ශාලාව ඉන් කිහිපයක් පමණි. එමෙන් ම මෙම වන්දනීය ස්ථානවල මංගල්‍යයන්වලට අමතරව ඉල්ලීම් කරන ලද දේවස්ථානවල මංගල්‍යයන් සඳහා ද අති විශාල මුදලක් වැය කෙරිණි.

මහින්ද චින්තන වැඩසටහන යටතේ ආර්ථිකමය අපහසුතාවන්ට මුහුණපා ඇති දේවස්ථාන නඩත්තුවට ද විශාල වශයෙන් උපකාර කරන ලදී. රෝමානු කතෝලික මෙන් ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයට අයත් දේවස්ථානවලට ද මෙම උපකාර නිරන්තරයෙන් ලබා දෙන ලදී.

මෙරට අනාගත පරපුර යහපත් කිරීමට නම් දහම් අධ්‍යාපනය සවිමත් කළ යුතු ය. දරුවෙකු සමාජානුයෝජන ක්‍රියාව ආරම්භ කරන්නේ තම නිවසිනි. ඉන් අනතුරුව දහම් පාසලෙනි, දින පාසලෙනි. අනාගත අප රට තුළ මනා සංයමයක් ඇති පිරිසක් බිහිකිරීමට නම් ඔවුහු දහම තුළ පෝෂණය කළ යුතු වෙති.

මෙය නිවැරැදිව වටහා ගත් ජනපතිඳුන් සියලු ආගමික දහම් පාසල් නැංවීමට කටයුතු කරන ලදී. මෙහි දී දහම් පාසලේ දහම් හදාරණ දරුවන් ගැන පමණක් නොව ඔවුන්ට ගුරු හරුකම් ලබා දෙන දහම් ගුරුවරුන් ද ගැන කල්පනා කළ යුතු බව එතුමා විසින් වටහා දෙනු ලැබිණි.

කිතුනු ධර්මෝපදේශය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සමඟින් සම්බන්ධීකරණය කළ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව මගින් කරන ලදී. මෙහි දී කිතුනු දහම් ගුරුවරුන් හට දහම් පොත්පත් මිල දී ගැනීමට දීමනාවක් ද ලබා දෙන ලදී. ආරම්භක වසරේ පමණක් මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 14.5 කට ආසන්න මුදලක් වැය කරන ලදී.

කතෝලික ධර්මාචාර්ය විභාගය පැවැත්වීම සඳහා දායකත්වය ලබා දීම, ගුරු භවතුන් පුහුණු කිරීමේ වැඩසටහන් මුළු රට පුරා දියත් කෙරිණි. මේ සඳහා ආරම්භයේ දී ම රු. 244626/- ක් වෙන් කළ අතර එය ක්‍රමානුකූ®ලව වර්ධනය කෙරිණි.

මීට අමතරව දහම් ගුරුවරුන් හා දරුවන් දැනුමින් පෝෂණය කිරීම අරභයා ආර්ථිකමය සහය අවශ්‍ය වූ දහම් පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල ප්‍රදානය කරන ලදී. මෙහිදී රුපියල් 10,000/- ක පමණ වටිනා පොත් කට්ටලයක් එක් දහම් පාසලකට ලබා දෙන ලදී.

දහම් පාසල් 62 කින් ආරම්භ කළ මෙම වැඩසටහන වේගයෙන් පුළුල් කරන ලදී. ස්වේච්ඡාවෙන් තම සේවා සපයන ගුරුවරුන්ට නිල ඇඳුම් දීමනා, පුස්තකාල පොත්, වෙනත් පොත් පත් ආදී බොහෝ දේ සපයමින් ඔවුන් ගේ සේවාව දිරිමත් කරන ලදී. දහම් ගුරුවරුන්ට පමණක් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවාව සීමා නොවිණි. එම සේවාව රජයේ පාසල්වල කිතුනු දහම උගන්වන ගුරුවරුන් වෙත ද ලබා දීමට කටයුතු කරන ලදී. එම ගුරුවරුන් ගේ කටයුතු සඳහා ද මූල්‍ය සම්පාදනය කරන ලදී.

පවුල් ඒකකය ශක්තිමත් කොට සමාජයත් රටත් ශක්තිමත් කිරීම ජනාධිපතිතුමා ගේ වැඩපිළිවෙළයි. මේ අනුව යහපත් පවුල් මගින් යහපත් සමාජයක් අරමුණු කරගෙන කිතුනු පවුල් කඳවුරු පැවැත්වීම සඳහා දායකත්වය ලබා දෙන ලදී.

මීට අමතරව තරුණයන් නැංවීම සඳහා තරුණ පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහන් සඳහා ද මූල්‍ය දායකත්වය කතෝලික, ක්‍රිස්තියානි පාර්ශ්වයන් දෙකටම ලබා දෙන ලදී. නායකත්ව පුහුණු කඳවුරු, පාසල් ළමුන්ගේ විභාග ඉලක්ක කොට පවත්වන සම්මන්ත්‍රණ ආදියට ද රජයෙන් ලැබුණා වූ මූල්‍යමය දායකත්වය සුළුපටු නොවේ. ශිෂ්‍ය නායක රැලි, තරුණ, ළමා වැඩසටහන් රැසක් මෙහි දී පවත්වන ලදී.

සියලු ආගම්වලට සමතැන ලබා දෙමින් රාජ්‍ය මට්ටමේ සියලු කටයුතුවලට කිතුනු පාර්ශවයන් සහභාගි කරගන්නා ලදී. වසරක් පාසා රාජ්‍ය නත්තල් උත්සවයක් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ විවිධ ස්ථානවල පවත්වනු ලබයි. මීට අමතරව වසරක් පාසා නත්තල වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව නත්තල් තැපැල් මුද්දරයක් නිකුත් කරනු ලබයි.

මෙම තැපැල් මුද්දරය සඳහා චිත්‍ර තෝරාගනු ලබන්නේ දිවයිනේ කතෝලික හා කිතුනු දහම් පාසල් ඇසුරු කරගෙන පවතින්නා වූ සමස්ත ලංකා මට්ටමේ තරගයකිනි. එමෙන් ම දිවයිනේ ජාතිකමය උත්සවයන් හිදී අප කිතුනු පාර්ශ්වයන් ද නිරන්තරයෙන් ම එයට සහභාගි කර ගැනීමට එතුමා කටයුතු කළේ ය.

උදාහරණයක් ලෙස සෑම නිදහස් උත්සවයක දී ම නිදහස් දින දේව මෙහෙයක් කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථානවල පවත්වනු ලබයි. මේ සියල්ලම මහින්ද චින්තනයෙන් එතුමා ගෙන යාමට පොරොන්දු වූ දූරදර්ශී වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම උදෙසා කරන ලදී.

කලාවෙන්, සංස්කෘතියෙන් ජන ජීවිතය කිසිදා වෙන් කළ නොහැකි ය. මන්ද කලාව, සංස්කෘතිය මිනිස් ජීවිතයේ පතුලට ම කිඳා බැස ඇති හෙයිනි. නත්තල් සංස්කෘතිකාංග සහිත මහෝත්සවයක් අරලියගහ මැදුරෙන් ම ජනපතිඳුන් ආරම්භ කළේ කිතුනුවන් සමඟ නත්තලේ පී‍්‍රතිය බෙදා හදා ගැන්මට ය.

එම නත්තල් උත්සවයේ දී විවිධ ගායක කණ්ඩායම්, නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම පැමිණ සිටින්නන් රසවත් කරන අතරේ ක්‍රිස්තියානි ආගමික දෙපාර්තමේන්තුව ද අපූරු ජංගම කැරොල් රථයක් මෙයට එක්කරනු ලබයි.

සරත් හෙට්ටිආරච්චි පියනම සහ ඉන්දිකා සංජීවනී ප්‍රනාන්දු මෙනවිය විසින් රචනා කරන ලද නත්තල් ග්‍රන්ථයක් සෑම වසරක ම අතිගරු ජනාධිපතිතුමාට පිරිනමනු ලැබිණි. නත්තලේ සංස්කෘතික අසිරිය, ලොව වටා නත්තල්, නන්තල් ගී යනුවෙන් මේ වන විට සාහිත්‍ය කෘති ත්‍රිත්වයක් නත්තලේ දී අතිගරු ජනපතිඳුන්ට පිරිනමා තිබේ. මීට අමතරව විවිධ ස්ථානවල පවත්නා නත්තල් උත්සවවලට ද රජයෙන් උදව් උපකාර ලැබේ.

නත්තලට පමණක් නොව පාස්කු උත්සවය සම්බන්ධයෙන් ද දුක් ප්‍රාප්ති ප්‍රසංග පාස්කු නාට්‍ය කලාව ආදී කලාංගවලට ද අත දීමක් රජය විසින් කර ඇත. ක්‍රිස්තියානි ගීත කලාවට නව ජවයක් ලබා දුන් ජනපි‍්‍රය ශිල්පී අයිවෝ ඩෙනිස් මහතාට ද සුවිශේෂී සම්මානයක් හිමි විය.

අනෙකුත් ආගම්වල සාහිත්‍යයන්ගේ මෙන් ම කිතුනු සාහිත්‍ය තුළින් ද මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදු වී ඇති සේවාව විශාල ය. පසුගිය වසරවල කිතුනු සාහිත්‍ය උත්සවයක් ඉතා අර්ථවත් ලෙස ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව විසින් නොකඩවා සංවිධානය කරන ලදී.

සරත් හෙට්ටිආරච්චි පියනම හා ඉන්දිකා සංජීවනී ප්‍රනාන්දු රචනා කළ ජාතක පොතෙන් හා බයිබලයෙන් මතු වන ළමා කතා, වජිර පණ්ඩිතරත්නයන් විසින් රචිත වහකෝට්ටේ පුරාණය, ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා හා කතෝලික මාධ්‍ය පර්ෂදය ඉදිරිපත් කළ හලාවත පදවි පන්නරය ආදී කෘති එළිදැක්වීමට මූල්‍යමය සවියක් දී ආරම්භ කළ සාහිත්‍යාධාර වැඩසටහන පසුව විශාල වශයෙන් පුළුල් කෙරිණි.

දැයට කිරුළ වැඩසටහන තුළින් ද කිතුනු ආගමික අංශය ශක්තිමත් කිරීමට ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශයත් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවත් ලබා දුන්නේ අති විශිෂ්ට දායකත්වයකි. අතිගරු ජනාධිපතිතුමා ගේ වචනයෙන් ම පවසතහොත් “මෙරට තුළ බහුතරයක් හා සුළුතරයක් නොමැත. ඇත්තේ මෙරටට ආදරය කරන සහ හතුරුකම් කරන දෙකොටස් දෙකක් පමණි.” එසේ නම් මෙරට සුළුතරයක් ලෙස කිතුනු පාර්ශ්වය හැඳින්වීම ද සුදුසු නොවේ. කිතුනු සංඝයා ද මෙ රටේ ම උපන් ශක්තිමත් සිංහල හා දමිළ ජනවර්ගවලට අයත් ප්‍රජාවකි. ඒ බව අතිගරු ජනාධිපතිතුමා ගේ දිගුකාලීන වැඩපිළිවෙළ තුළින් සනාථ කොට ඇත.

ආගමික සිද්ධස්ථානවල ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පමණක් අධ්‍යාත්මික වර්ධනය ළඟා කර ගත නොහැක. ඒ සඳහා අපගේ හර පද්ධතිය නැවත සකස් කළ යුතු ය. පසුගියා වූ දශක තුනක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය තුළින් මෙරටේ හර පද්ධතියට විශාල පහරක් එල්ල විය. රට ආපස්සට ගමන් කරනු ලැබිණි.

අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙළ යටතේ මෙරටට නිදහස උදා විය. දැන් සිදු කළ යුත්තේ කැඩුණා වූ, බිඳුණා වූ මානව සබඳතා ශක්තිමත් කිරීම ය. වැටුනා වූ හර පද්ධතිය සකස් කිරීම ය. ඒ සඳහා වැඩපිළිවෙළ ආරම්භ කළ යුත්තේ පන්සලෙනි, පල්ලියෙනි. ඒ බව හොඳින් වටහා සිටි අප ජනපතිදාණෝ සමාජ සාර්ධර්ම සංවර්ධනය සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කළහ. මතට තිත වැඩසටහන තුළින් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටිවලින් අප තරුණ පරපුර බේරාගැනීමේ මහා පුණ්‍යකර්මයට කිතුනු සභාවේ ද දායකත්වය එතුමාණෝ ලබා ගත්හ.

අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කිතුනු සංඝයට කළා වූ මෙහෙවර පිළිබඳ පවසනවා නම් ඒ සඳහා වෙනම ග්‍රන්ථයක් සම්පාදනය කළ යුතු වෙයි. මන්ද ඒ තරමට ම එතුමා ගේ සේවාව පුළුල්ව අර්ථවත්ව කළ බැවිනි. කිතුනු ජනතාවක් ලෙස අපි අතිගරු ජනාධිපතිතුමා කළ සියල්ල ගැන කෘතවේදී විය යුතු වෙමු.

අප දැන් සූදානම් වන්නේ තවත් විශාල ඉදිරි ගමනක් ආරම්භ කිරීමට ය. අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවෙනි විධායක ජනාධිපතිතුමා ලෙස දිවුරුම් දීමටත්, වැඩ භාර ගැනීමටත් දැන් සූදානම් ය. එය ශ්‍රී ලාංකේය සමස්ත ජනතාව ගේ ම ජයග්‍රහණයකි. අධිරාජ්‍යවාදීන් ගේ, කුමන්ත්‍රණකරුවන් ගේ, රටට හතුරුකම් කරන්නන් ගේ අන්ත පරාජයකි. අපට දෙපයින් නැඟී සිටීම සඳහා නායකත්වය සපයා දෙන අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවැනි පදවි ප්‍රාප්තියට සූදානම් වන මේ මොහොතේ සමස්ත කිතුනු ප්‍රජාවගේ ම ආශීර්වාදය එතුමාට එක්වන බව අප නිරන්තරයෙන් දනිමු.

කැඩුණා වූ, බිඳුණා වූ වේදනාවට පත් වූවා වූ සිත් සුවපත් කරමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිතම රටවල් අතරින් එකක් කරන්නට අතිගරු ජනාධිපතිතුමාණන් ඇතුළු රජයට හැකි වේවායි කිතුනු ප්‍රජාවක් ලෙස අපි සුභාශිංසන ගෙන එමු.
 

සරත් හෙට්ටිආරච්චි පියතුමා

සම සභාපති

ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සංධානය

ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරි

(ආගමික කටයුතු)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්