සක්දෙවි රකිනවා මේ පින් බිම තාම

සක්දෙවි රකිනවා මේ පින් බිම තාම

මුව මුව නැඟෙන හස රැළි මල් වරුසා වේ
සුබ සුබ අනාගතයක සළකුණු ආවේ
පැතු පැතු සේම ඉටුවිය ජය ජය රාවේ
මතු මතු ඔබයි මහරජ සිරි ලංකා වේ

උරුමෙන් සිහළ එඩිතර ගති පෑ සබඳ
උතුරෙන් පැමිණි කොටි බල සුන්කළ නිරිඳ
විපතින් මෙරට ගලවා ගත් හැටි නිබඳ
රුහුණෙන් උපන් මහ දියසෙන් රජු ඔබද

ජයගත් නිසා නොතබා තව සැක සංකා
දෙව් - බඹ - නරන් නද දෙති අද ජය සංකා
මතු උපදින දැයේ දරුවන් හට ලංකා
රැකදුන් පියා ඔබමයි මවු බිම ලංකා
කළගුණ නොදත් දුදනෝ ආවොත් බෝම
රට දැය කෙරෙහි නැත උන් සිත තුළ පේම
යුක්තිය තමයි ජය ගන්නේ හැම දාම
සක්දෙව් රකිනවා මේ පින්බිම තාම

නැව් තොට ගුවන් තොට නව මාවත් ද ඇරේ
කම්හල්වලින් නව රැකියා විවර කෙරේ
බුලතින් බතින් කිරි පැණියෙන් රසය පෙරේ
පැරකුම් නිරිඳු ඔබමයි සිටි ලක් අඹරේ

දෙස රැස සමය නිරතුරු රැක දුන්නාමයි
ඉස ඉස සාම පැන් රට රැක ගත්තාමයි
ඇස ඇස නැඟුණු දුක් කඳුලැලි නිව්වාමයි
බෝසත් නිරිඳු ඔබ මතු බදු වනවාමයි

- ගල්මත්තේ ලයනල් බද්දෙවිතාන


සැරදේ ජනපතිඳු

මගෙ ලක්මවට සාමයෙ මිණි කිරුළ ගෙනා
රජිදුන් ඔබම මිස නැත අන් කෙනෙක් වෙනා
ඔබ දිනූ දිනේ අප සතුටින් උදම් වුනා
සැරදේ රුවන් මිණි පඩුරින් ! අසිරි ගෙනා

පැතුමන් තබා රට බබලවන නිසාවෙනී
සිරිලක් දනට ඔබ ජාතියෙ පියාවුනී
ඔබ ජය පෙනී මගෙ ලක්මව සිනාසුනී
බැතිමල් පුබුදුවම් හද රැදි දයාවෙනී

බැතියෙන් ගෙනෙනා පැතුම් සපලවී රජිදුනි ඔබහට සෙත්වේවා
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් සැමදෙන නිදුකින් සැරදේවා
ඔබේ පිනෙන් මතු සිරිලක් දනගේ දුක් දොම්නස් සැම දුරුවේවා
වතින් බතින් බුලතින් රට සරු වී ලක් දනහට කිරි ඉතිරේවා

කිතුගොස නැගේවා
සිරිලකට සෙත දේවා
රජිදු වැජඹේවා
මිහිඳු නාමය ලොව දිනේවා

බමුණාකොටුවේ කුසුම් අධිකාරි


ඔබයි සැමදා අපේ ජනපති

වසර තිහකම ශාපයක් වී ඇවිල ගිය මවු බිමේ යුද ගිනි
නිවා දැමූමට අභීතව සිට සෙබළ බල මුළු අවදිකර විනි
දැයේ දියුණුව උදා කරදී මෙ සිරිලක සාමයෙන් බැබ ළිනි
ඔබට ජය වේ සදාකල්හිම සිරිලකට රජු මහ රජාණෙ නි

මුවග නැංවුණු සිනහවෙන් රට සැමගෙ හදවත දිනා ගැන්ම ට
සමත් විය ඔබ මුල්තැනක් දී මෙතින් පිරි කරුණා දයා ව ට
දැයේ සිව් දෙස දනන් තුටු කර බියෙන් සැකයෙන් තොරව විසුම ට
සුනු විසුනු කර දැමී කොටි රැළ රටට සාමය උදාකැරු ම ට

ගමේ නගරයේ සිව් කොනේ ඔබ නැඟූ ජයගොස පැතිර යන් නේ
දනන් තුඩ තුඩ ඔබගෙ ගුණයයි නැඟී සවණට ඇදී එන් නේ
දේශපේ‍්‍රමය අපේ මව්බිම සුබ අනාගතයක ලකුණු වන් නේ
අභීත වූ ඔබ නායකත්වය සදා සිරිලක බබළවන් නේ

දැයට නිදහස රටට සාමය බතින් බුලතින් සැදි රට ක්
සැමට සුවසෙත සැමට ඉගෙනුම ගමින් ගම නව මාවත ක්
අපේ කම හා අපේ දියුණුව කෙරෙහි නිරතුරු බැදී සිත ක්
ඔබය මහ රජු රටේ රජු ඔබ ඔබට වේ සුබ අනාගතය ක්

දෙවැනි වර ජනපතිඳු සටනින් ඔබය සිරිලක නැවත ජනපති
මවුබිමට ආදරය දැක් වූ කතිරයෙන් ඔබ රටම ජය ගනි
අපේ මවුබිම සදා රැකුමට දිරිය වීරිය විකුම් බල ඇති
ජයෙන් ජය වේ ඔබට සැම කල් ඔබයි සැමදා අපේ ජනපති

- පේ‍්‍රමදාස ලියනගේ


දේශයේ ආලෝකය

දිනිඳු සෙ රැස් එළි විහිදෙන්නේ
තරිඳු සේ විස් වයෙ බැබළෙන්නේ
දේශය ආලෝකමත් කරනු වස්
ජනපතිඳුන් යළි දෙවැනි වතාවට
සිය ධුරයේ අද දිවුරුම් දෙන්නේ

ඉලක්ක වෙත සංවර්ධනයේ
වාද භේද බිඳ මිනිසුන්නේ
අත්වැල් බැඳ දෑ අබිමානෙන්
කා සම්ගත් දෑ හිතකාමෙන්

සුබ මොහාතින් පා ඔසවන මොහොතේ
ඔබට වරම් දේ ජය අරගන්නට
දෙවන යුද්ධයත් රජාණෙනි !
දිනිඳු සේ රැස් එළි විහිදෙන්නේ

ජන සේනා මහ මෙරක් ලෙසේ
තව යුග ගණනක් නිබඳ මෙසේ
විකසිත වී සෙනෙහේ නාමෙන්
ජයහඬ පතුරනු වස් සාමෙන්

සුබ මොහොතින් පා ඔසවන මොහොතේ
ඔබට වරම් දේ ජය අරගන්නට
දෙවැනි යුද්ධයත් රජාණෙනි !
දිනිඳු සේ රැස් එළි විහිදෙන්නේ


- ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි


සෙන්පතියා ඔබය

රුහුණේ ජනිත එඩිතර සිහ රජෙකු ලෙද
මුළු රට බබළවන ජනපති පදවි ලද
ජනතාවගෙන් ලැබ ගත් නිරතුරුව පුද
සෙන්පතියා ඔබය රට මෙහෙයවන අද

සංවර්ධනය රට තුළ මුල් තැනට ගෙන
නව මාවතක තම මව්බිම රැගෙන යන
ලොකු පොඩි භේදයක් කිසිවිට නොසලකන
පිළිවෙත ඔබේ පිළිගෙන ඇති සියලු දෙන

ාමය සදාචාරය යළි උදා කොට
මත් උවදුරින් රට මුදා ගැනීමට
මැරකම් දුරාචාරය පිටු දැකීමට
ගත් පියවරින් සැනසුනි රට මනාකොට

සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාහට
එක පවුලක් විලස සමගිව සිටීමට
උවදුරු නසා රට එක්සත් කිරීමට
පැතුමය ඔබේ එය හැක ජය ගැනීමට

රට යහ මඟට යොමු කොට එය රැකීමට
කළ සේවය අගෙයි සිව්වස පුරාවට
මතු දිනයෙදිත් එය සපුරා ගැනීමට
ආසිරි පතමු ! අපි ජනාධිපතිතුමා හට

- ගාල්ලේ අමරදාස යටගම


රජිඳෙකි වීරයෙකි

ලොප් කොට සතුරු මුළු, හෙළදිව හතර කොණේ
අත්කළ නිදහසක සුව හදවතට දැනේ
උත්තම වීරයකු නෙත අභිමුවෙහි පෙනේ
කප් හිම තෙක්ම පවතිනු ඇත මිහිඳු ගුණේ

හෙළ මහසෙනෙවි කැළ යුද සිප් කෙළ පැමිණි
කළ බලවිකුම් රුපු සේනා බිඳලමිනි
මිල කළ නොහැක ජයගොස පතුරා නොමිනි
ඔබටයි එහි ගරුව ජනපති මැතිතුමනි

මැද මුලනින් ජනිත වී සුර වරම ලැබ
හිඳ ගත් සීහසුන ජය කාහලය පිඹ
පොදු ජන හද දිනාගත් මොහොතක දී සුබ
රජිඳෙකි වීරයෙකි ගරු මැති සඳුනි ඔබ

පහදා මිහිඳු චින්තනයක තිබෙන අගේ
බොදු පිළිවෙත් සුරත්ගෙන යහමඟක දිගේ
සිදුකළ අනගි සේවය ලක්මවට මගේ
ඔබ ගැන දිගන්තය තෙක් ජයකෙහෙලි නැඟේ

- කලහේ කුමාරදාස ලියනගේ


මිහිඳු හරසර

ගම නැඟුම මඟ නැඟුම ජනපතිඳු පැහැසරා
පෙර ගොස් මඩ වගුරු දිය කඳුරුමර මරා
කොන්ක්‍රීට් ඇතිරිලා අපේකම හිතදරා
රටා මවමින් දිවෙයි පාරවල් ගම පුරා

ගොවිතැනින් ගොඩ මඩ ද අස්වැන්න සරු වෙලා
වාහනෙන් දිව එවි නගරේ සතිපොළ බලා
ලෙඩෙකු ගෙන ආ - එදා රෝහලට කුදලලා
අසුරු සැනෙකින් ගෙනේ සැප රියක හිඳුවලා

නැතිව උස් මිටිකමක් ගමට විදුලිය ලැබී
අඳුර පැන ගොස් තිබේ නිවෙසැ අහුමුළු සිඹී
දරු පැටව් සොම්නසින් පොත පතට එබි එබී
දැනුම මිණි සොයනු දැක්මෙන් වැඩෙයි සිත ලෙසී

ළිංවලට ඉසුඹු දී නල ජලය විත් ගලා
ගෙවලියට පහසු වී මුළු ගමම හැඩ කළා
තුරුලතා කුඹුරුවතු පිටි උයන් තුටු වෙලා
තිබේ අස්වනුවලින් අටු කොටුද පුරවලා

සිරි සරින් පිරී හැම ගමම නඳුනුයන් සේ
ගැමි දනෝ සැනසුමින් වෙසෙති රජ පුතුන් සේ
විණැයි කල එළි දැයම ජනපතිඳු සිතුම් සේ
පුදති දන හරසරින් ගැමුණු මහ රජුන් සේ

පනාවැන්නේ
සෝමසිරි ගම ඇතිගේ


ඔබමය වීර පුතු

පෙර සිට සතුරො රට ජාතික සසුනට ද
විරුදුව යුදට වන්සඳ දැමු බලය බිඳ
ජනපතිතුමනි, විරු පරපුරෙ උපත ලද
ඔබමය නියම පුතු හෙළ මව ලැබුව සොඳ

සිංහල දෙමළ මුස්ලිම් ජනයගෙ සොඳුරු
නැතිකළ තිබුණ පැතිරී මර බිය රුදුරු
ජනපතිතුමනි, කොයි කාගෙත් හිත මිතුරු
ඔබ රිවි මඬල විය, නැසූ කොටි රුදු අඳුරු
නැති ආදරය දැයට ද සමයට රටට
පරගැති පිරිස රට පාලනෙ ගෙන අතට
ඇති කළ අවුල් නිරවුල් කරගෙන පෙරට
ජනපතිතුමනි, යනු මැන ලැබ බුදු පිහිට

ගිවිසුම් ලියා සමහරු කොටි සමඟ එදා
විගෙන එන්න අවසර දී සිටියෙ නිදා
ඔබ තුම ආවේ නැති නම් මේ රජය හදා
මුළු රට කොටින්ගේ ගොදුරුක් නොවෙ ද සදා

වීර ගැමුණු මවුබිම රැක ගත් පොරණේ
රාජ පක්ෂ වී ඉපදී යළි රුහුණේ
ගෝර ත්‍රස්තයන් වනසා හෙළ දෙරණේ
බේර ගත්ත රට ලැබ දෙවි රැක වරණේ

- බුත්තල කේ. එම්. ඒ. විජය බණ්ඩාර


දෙවැනි සම්ප්‍රාප්තියේ පෙරමඟ ලකුණු

පෙර දිග අහසේ හිරු බබලනවා
හිරු කිරණින් ලක් පොලව දිළෙනවා
මද නල කඳුගැට - සිඹ සිඹ යනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

මාගම් තොට ළඳ සලු පළදිනවා
සුබ මොහොතින් නැව් කුමරෙකු
එනවා
එදාට රටටම කිරි ඉතිරෙ නවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

නොරච්චෝලෙ විදුලිය ඉපදෙනවා
ඉහළ කොත්මලෙත් වැඩ නිමවෙනවා
ලකබර ආලෝකෙන් බබළනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

ාත වලාහක දෙවියෝ බලනවා
රට පුරාම මහ වැසි වස්සනවා
ගංගා ඇළ දොළ පොකුණු පිරෙනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

කෙත් වත් ගොවි බිම් නිති සරුැ වෙනවා
බත බුලතින් මුලු රටම පිරෙනවා
පාන් ගෙඩිය ඉන් මුළු ගැන් වෙනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

ගුවන්තොටත් මත්තල ඉදිවෙනවා
සංචාරකයින් තව තව එනවා
විදේශ සංචිතයත් වැඩි වෙනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

දුම්රිය මඟ මහ මඟ ඉදිවෙනවා
ලක්ෂ ගණන් දැන් උතුරට යනවා
තිස් අවුරුදු සාපය දුරු වෙනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

ලෝකෙම ලොක්කන් මෙහාට එනවා
මොනවද මොනවද ඕනැ අහනවා
ගොනා හැරෙන විට අපට දැනෙනවා
දෙවැනි පිවිසුමත් ළඟ ළඟ එනවා

සිහ දජ බොදු දජ ගුවනෙ ලෙලෙනවා
ලක් මෑණියො තුටු කඳුළු සලනවා
තිස් වසරක් රජ කිරුළ දරනවා
මිහිඳු මැතිඳු යළි ජනපති වෙනවා

- ඊ. ඒ. ජී. ඒකනායක


සාමයේ මල් පිපී අපේ රට බබලනවා

අපෙ මව්බිමෙන් පාලකයින් බිහිවුණිය
එනමුත් ඔවුන්ගේ ශක්තිය අඩුවුණිය
මුලු රටපුරා සමගියේ අත් එසවුණිය
දකුණේ නායකත්වය පෙරමුණ ගතිය

යුද ගිනි නිවීගොස් සාමය පැතිරෙනවා
සාමයේ පරෙවියන් දස දෙස පියඹනවා
සිත්වල තිබූ බිය සැක නැතිවී යනවා
සාමයේ මල් පිපී අපෙ රට බබළනවා

පක්ෂ භේද කිසිවක් ගැන නොසිතන්න
මතු පරපුරට අපෙ මවුබිමෙ තැනදෙන්න
හොඳ වැඩ අගයමින් ඒවා පසසන්න
සැමදෙන එකාමෙන් මතු ජීවත්වන්න

මියගිය රණවිරුවෝ අමතක නොකරන්න
කොටියන් නැසූ ජීවිත මතකෙට ගන්න
ඒ අය ගැන සොයා නිති පිහිටක් වන්න
ඒ දරුවන්ගේ ඉදිරියේ මග සලසන්න

මංමාවත් සැදී පාලම් ඉදිවෙනවා
අපේ මව්බිමෙන් නව එළියක් විහිදෙනවා
ජනපතිතුමා නැවතත් දිව්රුම් දෙනවා
ජනතා පැතුම් ඉටු කෙරුමට කැපවෙනවා

- ප්‍රීති තුඩාව
මාතර මැදි විදුහල


නිදහසේ නව අවුරුද්ද

එරබඳු මල් මවයි පෙර නොදුටුව සිරිය
කෝකිල නව නාද සවනට ඉමිහිරිය
අඹ කජු මධු මිහිර විහඟුන් හට දිරිය
පල පිරි තුරු උයන් නදුනුයනක සිරිය

නිදහස් සුවය කොවුලන් ගී සිතට දැනී
නව නිදහසේ ගීත තුඩගින් ඉවත පනී
වෙල් යායේ ගොයම් නෙලනා ළඳුන් ගෙනී
ඔඳ වැඩි නැවුම් රස පැදි දසත රැවුදුනී

පෙර අවුරුදු තිහේ යුද පිටියේ රැඳුනු
රණවිරුවෝ නිවෙස්වල වෙති තුටු පිරුණු
මාපිය නෑ මිතුරු දැකුමෙන් පන පෙවුනු
හද පිරි සතුට විසිරෙයි තුටු හඬ නැගුනු

කිරිබත් කැවුම් අතිරස ඈ කැවිලි තැනේ
මල් තෙල් පහන් පිරි පූජාසනය පෙනේ
පන්සල් පල්ලි කෝවිල් බැති දනන් ගෙනේ
ඉතිරි ගොසින් නව සිරියාවකට පෙනේ

දෑ ආගම් භේද දැන් කිසිවක් නැත්තේ
සාමය සමගියයි දිස්වන හැම පැත්තේ
‘පෙරදිග අසිරිමත් රට’ මැවුමට මත්තේ
ජනපතිතුමා කැපවී පියවර ගත්තේ

සුව, සැප, සතුට සාමය හැමට ම වේවා!
අත මිට සරුවෙවී කිරි පැණි ඉතිරේවා!
නිදහස මහමෙරක් සේ තහවුරු වේවා!
නව අවුරුද්ද සව් සිරියෙන් සපිරේවා!

විමල් රූබසිංහ
ලේකම්, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය


ජයවේවා.... ජනපතිඳුනි

නෙතට, සිතට ප්‍රිය වූ චිත්‍ර
කෙතට, බතට ලබැඳි පුත්‍ර
රටට, දැයට හිතැති මිත්‍ර
පිනට උපන් ලංකා පුත්‍ර

නොරටුන්ගේ අමන කතා
සවනකට නොගත් පුතා
ලක් අභිමන ගැනම සිතා
තීරණගත් එකම පුතා

පරපුරක්ම දවා දැම්ම
යුද වියරුව නිවා දැම්මා
ලක් දීපයෙ සමඟි බැම්ම
තහවුරුකල ඔබගෙ බැල්ම

හෙට දිනනා පරපුරකට
තිරසාරවූ සමඟියකට
මඟ නැඟුමට රට නැඟුමට
දීර්ඝායු...... ජනපතිඳුට

- ගාමිණී ජයලත් තල්දෙන

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්