ජනාධිපතිතුමා රටට ආඩම්බරයකි

ජනාධිපතිතුමා රටට ආඩම්බරයකි

අතිගරු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනාධිපති ධූරයෙහි දෙවැනි පදවි ප්‍රාප්තිය සිදු කෙරෙන මෙම ඓතිහාසික අවස්ථාව සිහිපත් කරන්නේ ඉමහත් සොම්නසිනි.

මෙය, ඓතිහාසික අවස්ථාවක් ලෙස ලාංකීය ඉතිහාසයේ සනිටුහන් වන්නේ සමාජ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි හය වසරක දී අප පසුකල සුවිශේෂී අවස්ථා මෙන් ම සමස්ථ සමාජය ම මහත් අපේක්ෂාවෙන් සිටින අනාගත විප්ලවීය වෙනස අත්දැකීමටයි.

ජාති, ආගම් භේදයකින් තොරව ලාංකේය සමාජය දශක තුනකට ආසන්න කාලයක් එල් ටී ටී. ඊ ත්‍රස්තවාදයෙන් බැට කෑ බව කාහටත් අමතක නොවී ඇතැයි අපි සිතමු. උතුරේ අහිංසක ජනයා ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා උතුරත් දකුණත් සේ ම සංවර්ධිත දේශයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මකව අවසන් වූ මානුෂීය මෙහෙයුම නිසා නූතන හා අනාගත ප්‍රජාව අතිගරු ජනාධිපතිතුමාට ණයගැති වනු ඇත.

ත්‍රස්තවාදයෙන් හා ඊනියා අන්තවාදයෙන් බෙදන්න නියමිතව තිබූ රට හැදෙන්න නියමිත රටක් බවට අතිගරු ජනාධිපතිතුමා පත් කළා සේම මේ රට ආසියාවේ ඉහළම සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජාතික වගකීමට සැම ම උරදීමට කාලය එළඹී තිබේ.

රට හදන මෙහෙයුමේ ස්වර්ණමය පරිච්ඡේදය විවර වන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ දෙවැනි ධුර කාලයේ ආරම්භයත් සමඟ බව මම සඳහන් කරමි. සමාජ, ආර්ථික, දේශපාලන යන අංශවලින් ස්ථාවර පදනමක් ගොඩ නැගීමට එතුමාට අද හැකි වී තිබේ. දේශපාලන වශයෙන් සලකන විට එතුමා ගේ දෙවැනි ධුර කාලය ආරම්භ වන්නේ එදා මෙදා තුර ලංකා දේශපාලන ඉතිහාසයේ නිර්මාණය වූ ශක්තිමත්ම දේශපාලන බලය සහිත ආණ්ඩුවක් සමඟින් බව අවිවාදිත ය. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළින් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ජනාධිපති ධූරයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධුරයට පත් කළ යුත්තේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බවට ප්‍රථම වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල මධ්‍ය බලමණ්ඩලයේ දී මා විසින් කළ යෝජනාවෙන් රටට වැඩක් ම මිස අවැඩක් නොවීය.

පළාත් පාලන හා පළාත් සභා ඇතුළු සමස්ත දේශපාලන සංස්ථාවල ඉමහත් බහුතර බලයක් ලබා ගැනීමට එතුමාට හැකි වූයේ නිසි කලට, නිසි ලෙසට,, අප්‍රමාදව රට සංවර්ධනය කිරීමට ගත් නිවැරැදි තීන්දු තීරණ නිසා ය. ඒ සඳහා සමස්ත ලාංකීය සමාජයෙන් ම පූර්ණ සහයෝගය එතුමාට හිමි වී තිබේ.

ආර්ථික වශයෙන් සලකා බලන විට තිස් අවුරුදු සිවිල් යුද්ධය රට තුළ දක්නට ලැබුණු පසුගාමී ස්වරූපය බාධාවක් කර නොගනිමින් ඉහළ කොත්මලේ විදුලි බලාගාරය, මාගම්පුර වරාය, නොරොච්චෝලේ විදුලි බලාගාරය, මොරගහතැන්න හා දැදුරු ඔය වැනි වාරියෝජනා ක්‍රම, අධි වේගී මාර්ග ඇතුළු දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මෙන්ම ගම නැඟුම,මඟ නැඟුම ජාතික සවිය වැනි ගම පදනම් කරගත් බිම් මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම යටතේ ගමට හැකි උපරිමයෙන් යටිතල පහසුකම් ලැබී තිබේ.

විදේශ ආයෝජන දිරිගැන්වී සංචාරක ක්ෂේත‍්‍රයේ නව මං පෙත්විවර වීමත් සමඟ 2010 අවසාන කාර්තුවේ 8.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකිවී තිබීම අප ලද සුවිශාල ජයග්‍රහණයකි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම හුදු දේශපාලන ලියවිල්ලක්ම නොවේ එය මෙරට සමාජ ආර්ථික සංවර්ධනයේ පෙර ගමන්කරුවෙකු බවට පත් වෙමින් සංස්කෘතික හා සාරධර්ම භාවිතයෙන් සමාජය සුවිශාල ආකල්පමය වෙනසකට යොමු කිරීමට සමත් වී තිබේ.

කුමන දේශපාලන මතිමතාන්තර පැවැතියත් අද අනෙකුත් දේශපාලන පක්ෂද අතිගරු ජනාධිපතිතුමා ගේ සංවර්ධන වැඩපිළිවෙළ අනුමත කරමින් එයට සහාය පළ කිරීමට පෙළ ගැසෙමින් තිබීම ජාතියක් වශයෙන් අපි එක තු වී මේ පෙරනිමිති පහළ වෙමින් තිබේ. අතිගරු ජනාධිපතිතුමාට සිය කාර්යය ඉදිරියට ගෙන යාමට ත්‍රිවිධරත්නයේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

ජනක බණ්ඩාර තෙන්නකෝන්

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

“ජනපති මිහිඳු සැරදේ බෝකල් නිදුකින්”

ජනපති ලෙසින් පත් වී ජනවරම තුළින්
දහනව වන දිනය ඉල්මසෙ ප්‍රබුදු වමින්
දිවුරුම්දීම දෙවැනිව කරනවා තුටින්
ජනපති මිහිඳු සැරදේ බෝකල් නිදුකින්

ලෙන්ගතුකමින් හැමජනයා සනසවමින්
අපේකමින් ජනහදවත් පුබුදුවමින්
බියනැතිකමින් එඩිතර බව රැකගනිමින්
දුරදැක්මෙන් නායක බව පෙන්වදෙමින්

විශ්වය විශ්මයට පත්කළ සටන නිමයි
සිරිලක පුරා සංවර්ධන සුවඳ හමයි
දැයට සෙවණ දෙන “පැළගොන්නක්” සිටුවයි
ගම්මට්ටමින් ව්‍යාපෘති රැසකුත් ඇරඹෙයි

‘මිහිඳු චින්තනය’ නව මං පාදනවා
අවිදු චින්තනය නිරතුරු පරදිනවා
තෙරිදු සහය ‘ජයටැඹ’ වෙත හිමිවෙනවා
දිනිඳු උදාවට එය දැන් සමවෙනවා

දේශපේ‍්‍රමි ජනතා බලවේග නිතින්
අත්වැල් බැඳගෙනම එකඟව ඉතා පෙමින්
පරදා විජාතික බලමුළු හැමම කෙමෙන්
සිරිලක ගොඩ නගයි පරහිත නිරතවෙමින්

ජාතියෙ උපහාර ජනපතිතුමන් හට
හිමිවෙයි මෙදින නැත සැකයක් කියන්නට
ඉදිරිය සසිරි බර ලෙස නිති ගෙවන්නට
හැකිවෙයි සැමට දියුණුවෙ මග දකින්නට

සිරිලකෙ දියුණුවට නව මං පෑදේවා
බාධක සියල්ලම දින දින අඩුවේවා
ලක්වැසියනට ජය මාවත ඉදිවේවා
ජනපති මිහිඳුහට කිතු ගොස හිමිවේවා

ලක්මෑණියන්ගේ දරුකැළ ලෙස සිතමු
කුලමලවාද හැම බේද ද දුරුකරමු
පොදු හැඟුමෙන් යුතුව අපි හැම පෙළගැසෙමු
ජනපති මිහිඳු දැය වෙනුවෙන් රැක ගනිමු

- පියදාස මන්ත්‍රිරත්න

පුතේ ඉතින් ගෙදර එන්න

ළතෝනි දෙන ඒ මරහඬ ආයිත් නම් නැහැ ඇහෙන්නෙ
වටා පිටාවේ කවුරුත් බයක් සැකක් නැතුව ඉන්නෙ
ගමේ පන්සලේ ඝන්ටා හඬිනි ගමම අවදි වෙන්නෙ
පුතේ ඉතින් ගෙදර එන්න උඹ එනතුරු බලන් ඉන්නෙ

ගාත් දෙකේ කොටි කෙල්ලෝ එදා ආවේ අපි මරන්න
තාත්ත ඉදිරියට ගියේ උඹයි මමයි බේර ගන්න
කාත් කවුරුවත් කොයින්ද තව කෙනෙකුට පිහිට වෙන්න
ඒත් පුතේ ඒ ඇත්තට සිද්ද වුණේ මරු දකින්න

නිදිමතේම මම දැක්කා එළියට පැන උඹ දුවනවා
ඒ පස්සෙන් මමත් දිව්ව තාමත් මරබය දැනෙනවා
උඹට විපත්තියක් වුණේ නැති බව නම් හිත කියනවා
ඒ හින්දම මෙහෙමටවත් හිතේ තියෙන දුක නිවෙනවා

යාන්තමට විස්ස පිරුන විතරයි උඹ පිටවෙන කොට
යුද්දය අවුරුදු තිහකින් ඉවර වෙලා මේ වන විට
තාත්තගේ සොහොන තියෙන තැන මල්වැල පූදින කොට
උඹෙයි තාත්තගෙයි සුවඳ දැවටෙනවා මගෙ ඇඟවට

රුහුණු රටේ මැදමුලනේ රජෙක් ඉපදිලා සිටිනව
ඒ රජුගේ මනුස්සකම ඉර හඳ තරමට වටිනව
කුරිරු යුද්ධ ආයිත්නම් මේ පොළොවේ සිදු නොවෙනව
බයක් සැකක් නැතුව ඉන්න උඹලට ගම රට තියෙනව

මහින්ද ජනපතිතුමාගෙ අනුහස දින දින වැඩෙනව
ගුවන් තලයෙ සඳ හිරු තරු සුපුන් විලසටම දිලෙනව
ගුණෙන් පිරුණු කළගුණ දන්නා අය රට ගැන හිතනව
නිවන් දකිනතුරු අපි එතුමගෙ පසුපස පෙළ ගැසෙනව

- සති විජේසේකර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්