පස් වසරෙක සිරි අසිරිය

පස් වසරෙක සිරි අසිරිය

‘පුදුම ඉක්මනකට පාරවල් ටික නම් හදනවා ! “ කෙනෙකු කියයි.

ඇයි ? ඒ විතරක්ද ? හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නොරොච්චොලේ බලාගාරේ, කොත්මලේ බලාගාරේ , මොරගහකන්ද ජලාශයත් හදනවා නේ ? “ තවකෙකු ඊට වැඩි යමක් එකතු කරයි.

මේ කතිකාව එදිනෙදා බස්රියේ, දුම්රියේ හෝ කඩමණ්ඩියේ සිටින විට ඔබට මට අසන්නට, දකින්නට ලැබෙන සත්‍ය කථාවකි.

අපේ රටේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹියේ වසර 2005න් පසුවය. අද දවසේ පක්‍ෂ, විපක්‍ෂ ඕනෑම දේශපාලන මතධාරියකු පිළිගන්නා එක් මතයක් නම් , රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික , දේශපාලන සාමාජියිය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දැවැන්තම සංවර්ධන යුගය වසර 2005 - 2010 බව පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේම පිළිගැනීම වේ. මේ සංවර්ධන මෙහෙයුමේ පුරෝගාමී නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඒ බවට කිසිම විරෝධයක් නොමැත.

ජනාධිපතිතුමා සිය වැඩිමහල් පුත්
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ...

ගත වූ පස් අවුරුදු කාලසීමාවේ රට සංවර්ධනය කරා යොමු වූ ආකාරය පිළිබඳව කැරෙන විමසා බැලීමකි මේ.

ලොව ඕනෑම දියුණු, සංවර්ධිත රටක දක්නට ලැබෙන සුවිශේෂිම ලක්‍ෂණය වන්නේ එහි මහජන උපයෝගිතා අංශයේ නොඑසේ නම් නිවාස සනීපාරක්‍ෂක පාසැල්, රෝහල් ආදි අංශවල යටිතල පහසුකම් ඉහළ මට්ටමක පැවතීමය.

දෙවනුව විදුලිබල, වරාය හා ගුවන් තොටුපල, සංනිවේදන යන ආර්ථික යටිතල පහසුකම් අංශයේ විශාල දියුණුවක් පැවතීමය. තුන්වැනුව එහි ජීවත්වෙන ජනතාවගේ අකුරු ලිවීමේ, කියවීමේ හැකියාව, අපේක්‍ෂිත ආයු කාලය ඉහළ අගයක් ගැනීම සහ ළදරු මරණ අනුපාතිකය , බර අඩු උපන් යනාදිය අඩු අගයක් ගැනීම පැවතිය යුතුය.

මේ කරුණු තුන වඩාත් කැපී පෙනෙන සේ දියුණු වූ රටවල් සංවර්ධිත වූ රටවල් වැඩි ගණන් ගැනේ. නමුත් ශ්‍රී ලංකාවේ අප මේ කරුණු තුනට අමතරව ගුණ, යහපත් , නීතිගරුක පුරවැසියන් පිරිසක් ජීවත්වේ නම් ඉන් දියුණුව වඩාත් නිවැරදිව මැන බැලිය හැකිය යන මතයේ එල්බ සිටියි. එවන් මතයක් අපරට තුළ ජනිත කළේ වෙන කිසිවෙකුත් නොව, මතට තිත, දූ දරුවන්ට පෝෂණීය ආහාර මල්ලක් වැනි උදාර වැඩසටහන් හඳුන්වා දුන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය.

සංවර්ධිත රටක් බවට පත්වීමේ සැබෑ නොවන සිහිනය, සැබෑවක් කිරීමට රට හමුවේ තැබූ එක් සුවිශේෂ වැඩපිළිවෙලක් විය. එය වසර 2005 නොවැම්බර් මස 19 වැනිදා පැවති මේ රටේ පස්වැනි (05) විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ මැතිවරණය ඉලක්ක කොට ගෙන රාජපක්‍ෂ මහතා රට හමුවේ තැබුවේය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය අරමුණු කොට ගෙන ඉදිරිපත් කළ එකම හා සර්ව සම්පූර්ණ ජාතික වැඩපිළිවෙල “ මහින්ද චින්තනය” නම් විය. මහින්ද චින්තනයේ වැදගත්කම් කිහිප අතකින්ම ඉහළ ගියේ සහ එවැන්නක් වඩාත්ම රටට ඇවැසි වූයේ, ඊට පෙර එක්සත් ජාතික පෙරමුණු රජය, එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස “ යළි පුබුදුමු” මැයෙන් රට විනාශයට පත් කරවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබීම නිසාය.

සංවර්ධන වැඩ

“ මහින්ද චින්තන වැඩපිළිවෙලේ “ මූලික හරය වූයේ දූරාතීතයේ පටන් ශ්‍රී ලාංකීය ජාතිය සතු උත්තුංග ගුණාංග නොනසා රැක ගනිමින් ද නවලොව දැනුම හා තාක්‍ෂණය ඊට ඇතුළත් කරගනිමින්ද, සොඳුරු බවින් හා සුන්දරත්වයෙන් පිරි රටක්, සමාජයක්, ජනතාවක්, බිහිකිරීමට ජාතික ප්‍රතිපත්තියක් එළිදැක්වීම විය.

මෙවැන්නක් රටට හඳුන්වා දීමට පෙර අප රටේ පැවැතියේ, එකිනෙකා අතර මනා සබැඳියාවක් නොමැති, සම්බන්ධීකරණයක් නොමැති සංවර්ධන කටයුතු අයාලේ යන ස්වරූපයකිනි. එක් අමාත්‍යාංශයක් තවත් අමාත්‍යාංශයක් ඉටු කරන ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳ තැකීමක් නොකරන අයුරින් විවිධ අත විසිරි ගිය අවුල් සහගත සංවර්ධන වැඩ ජාලයක් රටේ සිදුවිණි. මේ ඉතා ඉක්මනින් නිවැරදි කළ යුතු වරද හැඳින ගත් රාජපක්‍ෂ මහතා, සෑම සංවර්ධන වැඩ සටහනකදීම සැවෝම එකතු වී සිදු කිරීම රටට හඳුන්වා දුනි.

එකම විෂය ධාරාවේ වැඩ අමාත්‍යාංශ කිහිපයක මෙහෙයවීමෙන් සිදු කරන විට අන්‍යොන්‍ය සබඳතා ගොඩනඟා ගතයුතු බව එහි අනිවාර්ය අංගය විය. ඒ අනුව කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනේම මනා සම්බන්ධීකරණ සංවර්ධන වැඩ ජාලයක් රටේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම රජය මුහුණ දුන් පළමු අභියෝගය විය. අරමුදල් සොයාගැනීම පමණක් නොව, වසර 30 ගණනක් පුරා රට අභ්‍යන්තරයේ පැවැති මහා විනාශකාරි යුද්ධයට තිරසාරව නැවතීමේ තිත තැබීම රජයේ ප්‍රමුඛ කාර්යය විය.

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි සැළකෙන ගුවන් බලය, නාවික බලය, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝම්බකාරියන් සිටින එකම ත්‍රස්ත සංවිධානය වූ කොටි සංවිධානය පරාජයට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. රණබිමේදී ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජයට පත් කළ නොහැකි නිසා, සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්නය විසඳා ගන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව අපට උපදෙස් දුන්හ. මාවිල්ආරු සොරොව්ව නැවත විවෘත කරගැනීමේ මානුෂීය මෙහෙයුම වසර 2006 ජූලි 19 දා ආරම්භ කිරීමට රජය ක්‍රියා කළේය.

ගමට ශත්කියක් දර්ශනීය මාර්ග පද්ධතියක්...

මේ මානුෂීය මෙහෙයුම සාර්ථකව එකින් එක ත්‍රස්තවාදි බලකොටු බිඳ දමමින් ඉදිරියට යනවිට ඒ ගමන වැළැක්වීමට කොටි හිතවාදී ජාත්‍යන්තර ප්‍රජාව රජයට දැවැන්ත ලෙස බලපෑම් එල්ල කළහ, ජාත්‍යන්තරයේ බලපෑම්වලට යට වී රට පාවා දීමට නොහැකි යැයි අභීතව ප්‍රකාශ කළ එකම රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපතිවරයාය.

අසීමිත බලතල ප්‍රමාණයක් එක් පුද්ගලයෙකු වටා ගොනු කොට එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු නායක ( 1977 - 1988) ජේ. ආර්. ජයවර්ධන මහතා නිර්මාණය කළ විධායක ජනාධිපති ධුරයේ බලතල වලින් කොටි පරද්දන්නට ඒවා යොදාගත් එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා විය. කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන , ආර්. ප්‍රේමදාස , ඩී. බී. විජේතුංග යන ජනාධිපතිවරුන්ට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියට නොහැකි විණි.

මහා විනාශාකාරි යුද්ධය තබා රටට අවශ්‍ය මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම හෝ ගල්අඟුරු බලාගාරයක් ඉඳිකිරීමට හෝ සිදු කිරීමට තරම් ආත්ම ශක්තියක් පෙර කී නායකයින්ට නොතිබුණි. දේශපාලන, ආගමික අංශ බලපෑම් මත මහජන සුභසාධක ව්‍යාපෘති ඇරඹීම පවා කළ ඔවුන්, ඒවා සිදු කළ යුතු කාලය නිරපරාදේ අපතේ දැම්මේය. මෙවන් පසුබිමක් මත රට එක තැන පල් වූ අතර, තවත් පැතිකඩකින් මිනීමරු කොටි ත්‍රස්තවාදින්ගේ ඊළාම් දේශය ගොඩනැගීමේ අරගලය උත්සන්න විය. රටවල් දෙකක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු සිදුවිය.

ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ පළමු වතාවට මිනීමරු ත්‍රස්තවාදි කල්ලියට රටේ පාලන බලය ගෙනයෑමට ඉඩමක්, භූ®මියක් ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ඊනියා සටන් විරාම ගිවිසුමක් හරහා කොටින්ට ත්‍යාග ඔප්පුවකින් පිරිනමන ලදී.

සියලු අභියෝග මැද

මෙවැනි පාවාදීම් සියල්ල පරාජයට පත් කිරීමටත්, කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමටත් අතිවිශාල මුදලක් වැය කරමින් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය, රටේ සුභසාධනය හා සංවර්ධනය ඉදිරියටම ගෙන යෑමට සමත් විය.

ලෝක වෙළඳපොලේ නොසිතූ තරම් මිළ මට්ටමකට බොරතෙල් මිළ ඉහළ යෑම, ලෝක ආහාර අර්බුදයක් මතුවීම, ලොව බලවත් රටවල ආර්ථිකයන් බිඳවැටීම හා කොටිනගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න වීම යන බාධා හතර මැද රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යෑම විශාල අභියෝගයක් විය.

මේ සියලු අභියෝග මැද, වසර 2005 සිට 2010 කාලය දක්වා සියයට 06 ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සියයට හය ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගෙන ගිය එකම රජය මෙයයි.

පොහොර සහනාධාරය, සමෘද්ධී සහනාධාරය, වැඩිහිටියන්ට සහන හා පාසැල් දූ දරුවන්ට නොමිලේ පෙළපොත් , ඇඳුම් , ආහාර යනාදි පහසුකම් සපයමින් රට ඉදිරියට ගෙනයෑමට රජය ගතවූ සිව් වසරේ දැවැන්ත මෙහෙයුමක් සිදුකළහ.

සුභසාධක ගෙවීම්වල මූලික අරමුණ වන්නේ සමාජයේ දිළිඳුකම ජන කොටස්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම, පීඩාවන්ට ලක්වූවන්ට පිහිටවීම, ගර්භණී මාතාවන්, ළමයින් හා ළදරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා පාසැල් ළමුන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමත්ය. වසර 2007 ට වඩා සියයට 17.1 දක්වා සුභසාධන වියදම් දැරීමට වසර 2008 දී රජයට සිදුවිය. වසර 2008 දී සුභසාධන ගෙවීම් වලින් සියයට 53.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සමාජ සුභසාධනයට වැය කොට ඇත.

සංවර්ධන සහනාධාර ලෙස පොහොර සහනාධාරය හා නිශ්චිත ආයතන කිහිපයක මෙහෙයුම් පාඩුව ආවරණය කිරීමට මුදල් ආධාර ලබාදීමට රජයට සිදුවිය. මුළු සහනාධාරවලින් පොහොර සහනාධාරය සියයට 31.5ක් විය. නිෂ්පාදනය පිරිවැය අඩුකිරීම, වී හා කුඩා වතුවල අස්වැන්න වැඩි කිරීම සඳහා මේ සහනාධාරය පිරිනමන ලදී.

වසර 2007 දී රුපියල් මිලියන 11,000ක් වූ පොහොර සහනාධාරය 2008 දී මිලියන 26,449 ක් දක්වා එනම් සියයට 141.8ක් තරම් සීඝ්‍ර වර්ධනයක් සිදුවිය. පොහොර කි.ග්‍රෑ. 50 ක මිටියක මිළ රුපියල් 850/- ට තිබියදී එය රුපියල් 350/-ට ලබාදීමට රජය ආරම්භ කළේය. ලෝක වෙළඳපොලේ පොහොර මිළ ඉහළ යෑම නිසා වසර 2009 දී පොහොර මිටියක මිළ රුපියල් 9500 ක් තරම් වූ විටත් රජය රුපියල් 350/- ට ගොවීන්ට පොහොර ලබාදීම සත්‍ය ලෙසම මහා පුදුමයක් වේ.

විදුලි සංදේශ

අපි දැන් සංවර්ධන වැඩවලට රජය ගතවූ කාලයේ මුදල් යෙදවූ හැටි සොයා බලමු. විශේෂයෙන්ම මහජන උපයෝගීතා අංශයේ සහ ආර්ථික යටිතල පහසුකම් අංශයේ දියුණුවට මේ යටතේ රුපියල් කෝටි ලක්‍ෂ දෙකකට ආසන්න මුදලක් රජය වැය කොට ඇත. අපි පළමුව, ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන අංශයේ දියුණුවට කළ කාර්යභාරය කතිකා කරමු.

විදුලිබල හා බලශක්ති, විදුලි සංදේශ, මාර්ග, ප්‍රවාහන, ගුවන් සේවා, වරාය, තැපැල් අංශ ගැන බලමු.

ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන මූලික බලශක්ති ප්‍රභවයන් දැව ඉන්ධන 47% ඛණිජ තෙල් 45% සහ ජල විදුලි බලය 8%ක් වේ. වසර 2005 අප රටේ සියයට 55කට විදුලිබලය හිමි වී තිබුණි. එම තත්ත්වය සියයට සීයක්ම දක්වා වැඩි කිරීම “ සැමට විදුලිය ලබාදීම” මහින්ද චින්තනයේ ඉලක්කයයි.

මේ ඉලක්කය සපුරා ගැනීමට නව විදුලි බලාගාර ආරම්භ කිරීම, විදුලිය බෙදාහරින පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රජය ගත වූ අවුරුදු 05ක කාලය තුළ රුපියල් කෝටි 1500ක වියදමක් දරා ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම, කෙරවලපිටිය තාප බලාගාරය ඉදිකිරීම, ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය ඇරඹීම, ත්‍රිකුණාමලය ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම දැක්විය හැකිය.

වසර 2006 දී සියයට 7.5ක් වූ ස්ථාවර දුරකථන ඝනත්වය ( පුද්ගලයින් 100ක් සඳහා ඇති ස්ථාවර දුරකථන ප්‍රමාණය ) 2016 වර්ෂය වනවිට සියයට 18.2 දක්වා ඉහළ දැමීම ඉලක්ක කොට රජය මේ අංශයේ දියුණුවට මුදල් ආයෝජනය කොට ඇත.

වසර 2006 වන විට පැවැති 42,84256 ක් වූ ජංගම දුරකථන ප්‍රමාණය 2016 වන විට 32518562 දක්වා ඉහළ නැංවීමට අපේක්‍ෂිතය.

ඊට අමතරව වසර 2006 දී පැවැති 125,800 ක් වූ අන්තර්ජාල හා විද්යුත් තැපැල් සම්බන්ධතා ප්‍රමාණය 2016 දී 252084 දක්වා ඉහළ නැංවීමට සැළසුම් කොට ඇත.

වසර 2005 - 2010 කාලය තුළ මාර්ග සංවර්ධනයට රජය රුපියල් කෝටි 20,000 ක් තරම් අති විශාල මුදලක් වැය කොට ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය මගින් මුළු මගීන් සංඛ්‍යාවෙන් සියයට 95 ක් හා සමස්ත භාණ්ඩ ප්‍රමාණයෙන් සියයට 98 ක් ප්‍රවාහනය සිදු කරයි. මෙරට මාර්ග පද්ධතිය ජාතික,පළාත්, ග්‍රාමීය මාර්ග වශයෙන් වර්ගීකරණය කර ඇත. කිලෝ මීටර් 91862 ක් වූ නිල මාර්ග පද්ධතියට අතිරේකව වතු සමාගම් , රාජ්‍ය ආයතන වන වාරිමාර්ග හා වනජීවි දෙපාර්තමේන්තුවලට හා මහවැලි අධිකාරියට අයත් කිලෝ මීටර් 2400 කින් යුතු මාර්ග පද්ධතියක් රට තුළ තිබේ.

රට තුළ පිහිටි පද්ධතියට අලුතින් අධිවේගී මාර්ග එක් කිරීම, ගුවන් පාලම් ඇතුළත් කිරීම, වටරවුම් මාර්ග සකස් කිරීම, මේ වනවිට ආරම්භ කොට ඇත. ඒ අනුව, ජාතික මාර්ග පද්ධතියේ පමණක් දැවැන්ත ව්‍යාපෘති 14 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකය. පළාත් සභා හා ගම නැඟුම මග නැඟුම යටතේ ව්‍යාපෲති දහස් ගණනක් ක්‍රියාත්මකය.

වසර 2005 සඳහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් මිලියන 19,000 ක් වූ අතර, වසර 2009 වන විට රුපියල් මිලියන 75,126 දක්වා මේ ප්‍රමාණය වැඩි කැරිණි. මේ සඳහා මේ වසරේදි රුපියල් මිලියන 6000කට අධික මුදලක් වැය කැරිණි.

බස්රථ හා දුම්රිය මාර්ග පද්ධතිය භාවිතා කොට ප්‍රවාහන පහසුකම් ලබන පිරිසගේ පහසුව හා ගමන් කාලය අවම කිරීමේ අරමුණකින් මේ අංශයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට රජය මුදල් ආයෝජනය කොට ඇත. ඒ අනුව, දුම්රිය මාර්ග පද්ධතිය කොළඹ සිට කතරගම දක්වා වැඩි දියුණු කිරීමට නියමිතය. ඊට අමතරව දකුණු ලක දුම්රිය සේවාව නවීකරණය කොට ඇත. එපමණක් නොව යාල් දේවි දුම්රිය නැවත ධාවනය කිරීමට හැකි සේ උතුරු මිතුරු දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත.

වරාය හා ගුවන් සේවා

මේ අංශයේ සංවර්ධනය සඳහා රජය වසර 2005 දී රුපියල් මිලියන 5,300 ක් වෙන් කළ අතර, වසර 2008 වනවිට එම ප්‍රමාණය රුපියල් මිලියන 8003 දක්වා වැඩිකොට ඇත. වසර 2005 ට සාපේක්‍ෂව මේ වැඩිවීම සියයට 51 කි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව කිසිම රටක එකවර ජාත්‍යන්තර මට්ටමේ වරායන් පහක් ඉදිවෙනු අප අසා නැත. නමුත් ශ්‍රී ලංකාවේ දැන් එම තත්ත්වය ක්‍රියාත්මකය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 361 ක වියදමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිවේ. එහි ළඟාවන පළමු නෞකාව අද ඔබට දැක ගත හැකි වනු ඇත. ගාලු වරායේ කලාපය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කරනුයේ ඩොලර් මිලියන 170 ක වියදමිනි. ඊට අමතරව කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු සිදු කෙරේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලයන 300 ක් වැය වේ. ඕලුවිල් හා කන්කසන්තුරේ වරාය වැඩිදියුණු කෙරේ. මිහින් ලංකා නමින් නව ගුවන් සේවයක් ඇරඹීම සහ ලුණුගම් වෙහෙර මත්තල ප්‍රදේශයේ නව අන්තර් ජාතික ගුවන් තොටුපලක් ඉදි කෙරේ. මේ සඳහා ඉකුත් දා මුල් ගල් තැබීය . ඊට අමතරව කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් ජාතික ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු සිදු කොට ඇත.

තැපැල් සේවාව රට පුරා සැපයීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් කාර්යාල 626 කින් උප තැපැල් කාර්යාල 3413 කින් නියෝජිත තැපැල් කාර්යාල 450 කින් ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 156 කින් සහ වතු අංශයේ තැපැල් කාර්යාල 60 කින් යුතු ජාලයක් ක්‍රියාත්මක කොට තිබේ. මේවායින් විශාල සේවාවක් ජනතාවට ලැබේ. පෞද්ගලික අංශයද මෙයට දායක කර ගැනීම රජයේ අරමුණයි.

තැපැල් කාර්යාල මගින් සිදුකරන සාමාන්‍ය සාම්ප්‍රදායික තැපැල් සේවාවන්ට අතිරේකව නව සේවා මහජනතාවට ලබාදීම, එම සේවා කාර්යක්‍ෂම කිරීම, සහ ඵලදායිතාව ඉහළ නැංවීම රජය සිදුකරමින් සිටී.

මහජන උපයෝගිතා සහ ආර්ථික සංවර්ධන වැඩ සටහන් වලට අමතරව සදාචාර සම්පන්න ජාතියක් ඇති කිරීමට රජය විශාල වැඩ කොටසක් සිදු කර ඇත. ඒ අනුව, මතට තිත වැඩසටහන ක්‍රියාත්මක වේ. දහම් පාසැල් අධ්‍යාපනය, පෙර පාසැල් අධ්‍යාපනය නැංවීමට රජය පියවර ගෙන ඇත.

වසර 2009 ජාතික ඉංගී‍්‍රසි හා පරිගණක අධ්‍යාපන වසර ලෙස නම් කිරීමට තීරණය කළ රජය, ඒ මගින් නව දැනුමෙන් යුතු පරපුරක් බිහි කිරීමට අඩිතාලම දමා අවසන්ය.

මෙරට ඉතිහාසයේ ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය සඳහා රජයක් වැය කළ විශාලතම මුදල සේ වාර්තා තබමින් ඒ සඳහා පසුගිය පහ වසර තුළ රුපියල් කෝටි 20,000ක මුදලක් වැයකොට ඇත.

මීට අමතරව, අධ්‍යාපන, සෞඛ්‍ය, ජලසම්පාදන, මහපරිමාණ වාරියෝජනා ක්‍රම සඳහා රජය මුදල් වැය කොට ඇත.

මොරගහකන්ද , වෙහෙරගල, දැදුරුඔය, උමාඔය වැනි වාර් යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා ඇත. දේශීය ඉංජිනේරුවනගේ දැනුම හා තාක්‍ෂණය මේවාට යොදා ගෙන ඇත. එමගින් විදේශීය ඉංජිනේරුවන්ගේ සේවා ලබා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් පිටරට වලට ඇඳී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේ.

මෙම සෑම ව්‍යාපෘතියක් හරහාම රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය දිනෙන් දින ඉහළ නැංවීම රජයේ අරමුණ වේ. වසර 2004 දී ඇමරිකානු ඩොලර් 800 මට්ටමේ තිබූ මෙරට ඒක පුද්ගල ආදායම අදවන විට ඇමරිකානු ඩොලර් 2350ක මට්ටම ඉක්මවා ඇත. රටේ දරිද්‍රතාවය සියයට 22 සිට සියයට 15 දක්වා පහත වැටී ඇත. විරැකියාව සියයට 15 සිට සියයට 5 දක්වා ඉතිහාසයේ පළමු වතාවට පහත වැටී ඇත.

එපමණක් නොව, මෙරටට පරිගණක භාෂා දැනුම මීට වසර 05 කට පෙර පැවති සියයට 04ක සීමාවේ පසු කොට සියයට 25 දක්වා ඉහළ නැඟ ඇත. වාර්ෂික ආර්ථික වර්ධන වේගය, ජාතික ආයෝජන, ජාතික ඉතිරිකිරීම, සෘජු විදේශ ආයෝජන ඉහළ නැඟ තිබේ. විදේශ සංවිතය සති 03 කට ප්‍රමාණවත්ව තිබූ යුගය නිමා කොට ඒ මේ වන විට මාස 6 ආනයන සඳහා වැය වන මුදල තරම් ගැලපීමට අප සමත් වී ඇත.

මේ සියලු දේ ඉටු කිරීම මගින් දුප්පත්කම, විරැකියාව, ආදායම් බෙදීයාමේ විෂමතාවය දුරුකළ රටක ජනතාවක් ලෙස අපට ලොව ඉදිරියට යෑමට අවශ්‍ය දිරිය, ශක්තිය ගත වූ පස් වසරේදී නොමඳව ලැබී තිබේ.


සබැඳි පුවත්