ආදරණීය මහින්ද මාමාවෙත!

ආදරණීය මහින්ද මාමාවෙත!

සුබ අනාගතයක් පෙරදැරිකරගෙන දෙවන වරටත් ජනවරමක් පැතූ මාමා අති විශිෂ්ට ජනතා වරමකින් යළිත් අපේ මාතෘ භූමියේ භාරකාරය වීම ගැන මට තියෙන්නේ කියාගන්න බැරි සතුටක් වගේ ම ආඩම්බරයක්. බත බුලතින් සපිරි අගහිඟ කමින් තොර ඉසුරුබර රටක් හදන්නට මාමා ගෙන යන මහින්ද චින්තන වැඩපිළිවෙළ ගැන මේ රටේ ජනතාව තුළ තියෙන්නේ පුදුම පැහැදීමක්.

2005 වසරේ මහින්ද චින්තනය කරපින්නාගෙන මාමා මේ රටේ ජනපති වුණාම රටේ හැම පුරවැසියෙක්ම ජාති ආගම් භේදයෙන් තොරව ඉල්ලුවේ මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරල දෙන්න කියල. ඒ පොරොන්දුව මාමා නොඅඩුව ඉටු කරන ගමන් මහින්ද චින්තනය හරහා වේගවත් සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කළේ දවසින් දවස බලාපොරොත්තු දල්වා බලා සිටින මහජනතාව විශ්මයට පත් කරමින්.

ඒ විශ්මයේ අරුණැල්ල දැන් සැබෑ වෙලා මාමේ. රටට සාපයක් වෙලා තිබුණ ම්ලේච්ඡ ත්‍රස්තවාදය අද මාමාගේ නායකත්වයෙන් සහමුලින් අතුගාල දමල පුංචි දරුපැටියා ගේ සිට වයසක ආච්චි සීයා දක්වාම සිත් සතන් ප්‍රබෝධයෙන් පිරී ඉතිරීලා ගිහින්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, හැම ජාතියක් ම අද එකාවගේ සමගියෙන් ජීවත් වෙනවා. ඒක නේද මාමේ මාමත් පතන එකම පැතුම.

ශ්‍රී ලංකා දීපයේ ම අස්සක් මුල්ලක් නැර විසිරී සිටින සියලු දූ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා ආයෙත් මාමා කියල දැනුනහම ඇතිවුණ සතුට මට වචනයෙන් කියන්න බෑ මාමේ. මට ඒ සතුට වචනවලට පෙරලන්න තරම් වීරියක් නැති වුණා වගේ ම මේ රටේ අනෙක් දූදරුවන්ටත් මට දැනුණ හැඟීමම දැනෙන්න ඇති කියලා මට හිතෙනවා මාමේ.

මහින්ද මාමේ දැන් පුංචි අපට අපේම කියලා රටක් තියෙනවා. මාමා අපේ රටට කරපු උදාර කටයුත්ත අපේ ජීවිත කාලයට අමතක වෙන්නෑ. වසර තිහක් පුරා අපේ මාතෘ භූමියට තිබුණ ත්‍රස්තවාදී සාපයෙන් මාමා මේ රට බේරගත්ත පින ම ඇති මාමේ නිවන් යන්නත්. මම වගේම පුංචි ළමයි අතදරුවො අම්මලා තාත්තලා අයියල අක්කල නංගිලා කී දාහක් නම් මේ කෲර ත්‍රස්තවාදයට බිලි වුණා ද? ඒ පාපතර අතීතය වළ දමා මේ රට ඉදිරියට මෙහෙයවපු මහින්ද මාමාට යළිත් මේ රට භාරදෙන්න අපේ රටේ කෘතගුණදත් ජනතාවට අවකාශ උදා වුණා.

මාමා කවදත් රට ගැන හිතුවා. ජනතාව ගැන හිතුවා. හැම වෙලාවේ ම කිව්වේ පළමුවත් මව් බිම දෙවනුවත් මවුබිම තෙවනුවත් මවු බිම කිවයලා. මේ වගේ උදාර ප්‍රකාශ කරමින් රට ගැන භක්තියකින් කතා කරපු වෙන නායකයෙක් මගේ ජීවිත කාලයට මම දැකලා නෑ මාමේ. හදවතින් උතුරා යන දරු සෙනෙහසින් අපට ආදරය කළ මාමා ගැන බහ තෝරන වයසේ පසුවන දරු පැටියාත් මහින්ද මාමේ කියනකොට මාමාගේ සෙනෙහසේ සුවඳ කොයිතරම් නම් අපේ දරුවන්ට කා වැදිල ද කියල හිතෙනකොටත් මගේ නෙතට සතුටු කඳුළක් එක්වන වාර අනන්තයි මාමේ.

2005 වසරේ ජනතාව මාමාට මේ රට භාරදුන්නේ මාමාගේ හැටවන උපන් දිනයට දුන් උපන්දින තෑග්ගක් වශයෙන් කියල මට හිතුනත් මේ පාර නම් මාමාට ජනතාව රට භාරදීල තියෙන්නේ මුළු මහත් ජාතියට ම අභයදානය දුන් උදාර යුග පුරුෂයාට කෘතවේදීත්වය දැක්වීමට කියලයි මගේ හිත කියන්නේ. මගේ පුංචි හිතට එහෙම හිතුනට මාමා මාත් එක්ක තරහ නෑ නේද?

දැන් මාමා මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම කරපින්නාගෙන අපේ රටට සුබ අනාගතයක් රැගෙන එන්න පෙරමගට ඇවිත් ජාතිභේද ආගම්භේද කුලමල භේද පසෙකලා සියලු ජනතාව මහා බලයක් වී මාමා වටා රොද බැදගෙන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ලෝකයේ බබළවන්නට මාමාගේ දෑත් ශක්තිමත් කරන්නට පංච මහා බලවේගයන් අද එක්තැනකට ඒක රාශිවෙලා.

උත්සාහය, වීර්යය, කැපවීම, ස්ථානෝචිත ප්‍රඥාව තුළින් මාමා අපේ ජීවිතයට එක් කළ දෑ බොහොම යි. අපේ කාලයේ මේ රට එක්සේසත් කළ ජන නායකයා ලෙසින් අපේ සිංහල රාජාවලියේ මාමාගේ නාමය චූඩාමාණික්‍යයක් ලෙසින් වැජඹෙන කොට මටත් හරි ආඩම්බරයක් මාමේ. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කිරීමේ මාමා ගේ යෝධ සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන් දකින කොට මාමේ මට වෙලාවකට මාමා විශ්ව කර්මයෙක් ද කියලත් හිතෙනවා

මග නැඟුම, ගම නැඟුම ව්‍යාපෘති ඔස්සේ මුලු රටම මාර්ග සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුවෙමින් තිබෙනවා. අහස උසට විශාල පෙරළියක් සිදුවෙමින් තිබෙනවා. අහස උසට විශාල ගොඩනැඟිලි ඉදිවෙනවා. ලස්සන නගර මංමාවත් බිහිවෙනවා. රට වට කර දකුණු කොළඹ , ගාල්ල, ඔලුවිල්, කන්කසන්තුරේ , මාගම්පුර වරායවල් ඉදිවෙනවා.

 කෙරවලපිටිය, නොරොච්චෝලේ, උමා ඔය, ඉහල කොත්මලේ ජල විදුලි බලාගාර ඉදිවෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ කටුනායක , කොළඹ මාතර අධිවේගී මාර්ග ගුවන්පාලම් මේ වගේ දැවැන්ත සංවර්ධනය දකින කොට මාමේ අපේ රට ආසියාවේ ආශ්චර්යවත් රට වෙන දවස වැඩි ඈතක නෑ කියලයි මට හිතෙන්නේ.

ගම් මට්ටමේ සිට පුරන්වී තිබුණු කෙත්වතු යායවල් අද මාමා ගේ තුන්සිය පනහේ පෝර මිටියට පිංසිදු වෙන්න අස්වද්දන්න පටන් අරන්. රට සංවර්ධනය මෙන්ම ආර්ථික සංවර්ධන යෝධ සංවර්ධනයක්. මාමාගේ යහපාලනය තුළ අන්තර්ගත වෙලා එදා රජ දවස අප් මාතෘභූ®මිය පෙරදිග ධාන්‍යාගාරය වූවාසේ මාමාගේ මේ ආර්ථික වැඩපිළිවෙළ නිසා අපේ රට පෙරදිග ධාන්‍යාගාරය වන දවස වැඩි ඈතක නෑ කියලයි මාමේ මට හිතෙන්නේ.

නැඟෙනහිර නවෝදය උතුරු වසන්තය ඔස්සේ රට පුරා සංවර්ධනයේ අරුණැලි උදා වෙලා. අපි වවමු රට නඟමු මාමාගේ ව්‍යාපෘති තිබුණ අද රටේ හැම පුරවැසියෙක්ම පාහේ ගොවිතැනට නැඹුරු වෙලා මෙවැනි සංවර්ධිත ඉලක්කයන් ඔස්සේ රට ස්වයංපෝෂිත කිරීමට මාමා දරන උත්සාහය සුළුපටු නෑ නේද මාමේ.

මාමාට කියන්න මතට තිත වැඩපිළිවෙළ නිසා අද අපේ ගමේ හොර සුරාව නැත්තටම නැති තරම්. අද වෙන කොට මාමා හොර මත්පැන්, සිගරැට්, මත්කුඩු, රටෙන් තුරන් කරන්න පටන් ගෙන තියන වැඩපිළිවෙල දකිනකොට මාමේ අපේ ඉදිරි පරම්පරාව ගැන හිතනකොට මට ලොකු සතුටකුත් ඇතිවෙනවා. මාමා මොනතරම් අපිට , රටට ආදරය කරන පුද්ගලයෙක් ද කියලා කෲර ත්‍රස්තවාදයෙන් මේ රට බේරගත්ත මාමාට මත් රකුසාගෙන් මේ රට බේරගන්න එක සුළු දෙයක් කියලයි අපේ ගමේ අයත් කියන්නේ.

මාමා අපි වෙනුවෙන්ම ආරම්භ කරපු නැණසල ව්‍යාපෘතිය තුළින් අපේ ගමට මාමේ කොම්පියුටර් ලැබුණා. මාමාට කියන්න අද අපි හැමෝම කොම්පියුටර් ඉගෙන ගන්නව. අද අපි ගමේ ඉදල ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා මාමට පිංසිද්ධ වෙන්න අපි අද ඉන්ටර්නෙට් එකෙන් ලෝකයේ තොරතුරු ගන්නවා.

මාමා අපේ ඉස්කෝලෙට ඇවිත් අධිෂ්ඨානයේ පිහිනුම් තටාකය අපේ අයිතියට පවරමින් අපිට කිව්ව හැම දෙයක්ම මගේ හිතට තදින් ම කා වැදුනා. මම හිතන්නේ අනෙක් දරුවන්ටත් එහෙම දැනුන කියලයි. රටට ආදරය කරන දරු පිරිසක් ගොඩනැඟිය යුතු කාලය ඇවිල්ලා කියලා. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපවෙන පරම්පරාවක් බිහි කළ යුතුයි. ආකල්ප වගේම කුසලතාත් දියුණු වෙන්න ඕනේ. විද්වතා හැම තැනම කැපී පේනවා. පිදුමට ලක්වෙනවා. අධිෂ්ඨානයයි කැපවීමයි තියනවානම් කළ නොහැක්කක් නෑ.

දහස් ගණනක් දිවි දී රැක ගත් රටේ නම කාටවත් අවලස්සන කරන්න ඉඩ දෙන්න බෑ. තමා උපන් රට ලොව හොඳ ම රට කියා කිව යුතුයි. කියා මාමා කියූ හැම කාරණයක් ම මාමේ මගේ සිතට පුදුමවිදියට කා වැදුනා. ඒ වගේ ම මාමා අපෙනුත් එක ඉල්ලීමක් කළා. 2018 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මේ පිහිනුම් තටාකයේ පීනා පුරුදුවී ශූරයෙක් වී රටට කීර්තියක් රැගෙන එන්න කියලා මාමේ. එදා අපිට දුන්න අභියෝගය අපි සතුටින් භාර ගත්තා. අද වෙනකොට අපි පුහුණුවීම් පටන් අරන්. මාමාට කියන්න මමත් ඒ අභියෝගයේ එක කොටස් කාරයෙක්. අපි රන්පදක්කම ගේනවාමයි. මාමාට සතුටුයි නේද?

ඉතිං මාමේ මට අදට නවතින්නම්. ඉඩකඩ ලැබුණු මොහොතක මාමාට ලියන්නම්. හැබැයි මාමේ මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම අද පටන් එකිනෙක සැබෑවන මොහොතක් මොහොතක් පාසා මම දෑස් දල්වා බලා සිටිනවා කියල නම් අමතක කරන්න එපා

වෛරය වෙනුවට මෛත්‍රියෙන්
මර්ධනය වෙනුවට එකඟතාවයෙන්
පලිගැනීම වෙනුවට පිළිගැනීමෙන්
විනාශය වෙනුවට ගොඩනැඟීමෙන්
බොරුව වෙනුවට සත්‍යයෙන්
නොදැනුම වෙනුවට දැනුමෙන්
අපේ මව්බිම බබළවමු

මාමා අපට කියාදුන් ඒ හැඟීම් සමුදාය මා හද තුල ගොණුකර ගනිමින් විජයග්‍රහණයේ නියමුවානන් වූ මාමාට සුබ අනාගතයක් කරා රට මෙහෙයවීමට සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරමි.

මාමාට තෙරුවන් සරණයි

මීට මාමාට කවදත් හිතාදර

චන්දන පුතා


දැයේ පිනට උපන් පුතුනි!

මෞලි මංගල්‍යයයි මේ
ඔටුන්න හිමි කුමරාගේ
ජනවරමින් සිහසුන ජයගත්
ශ්‍රී ලංකා පවුලේ දෙටු සොයුරාගේ

මල් පල්ලෙන් රට නඟන්න
බත බුලතින් සරු කරන්න
සාධාරණ යුක්ති ගරුක
අසිරිමත් රටක් හදන්න

පස් වසරක් ඔටුණු දරා
යළි යළි ජන වරම් ලබා
දේශ වාසි ප්‍රාර්ථනා
ඉටු කෙරුමට පෙරට ගෙනා

බලන් මෙවන් මහිම මනා
සතුටු සිනා මුතුලැල්ලෙන්
ගෙන් ගෙට ජනතා හිනැහෙන
දයාවන්ත සුරත නඟා
දනන් දෑස කඳුළු පිසින

ගම නැඟුම මඟනැගුම – අපට කර දුන් උරුම
මුවින් තෙපලන වදන – අනුව නිසි වැඩ කරන
තවත් ඔබ වන් පුතෙක් – ඉපිද නැත ලක් දෙරණ
ඔබට පුතේ! තිස්තුන් කෝටියක් දෙවිඳු සරණයි
නිදුක් නීරෝගීව වැජඹී
රට කරන්න තෙරුවන් සරණයි!
 

- ආචාර්ය අජන්තා රණසිංහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්