සමෘද්ධිමත් දේශයක බලාපොරොත්තුව

සමෘද්ධිමත් දේශයක බලාපොරොත්තුව

මහනුවර අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය, උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ සුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දෙවැනි පදවිප්‍රාප්තිය සහ ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුමක් එක් කිරීමට ලැබීම පිළිබඳ අතිශයින්ම සතුටු වෙමි.

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ රටටත්,සිංහල ජාතියටත් සම්බුදු සසුනටත් විවිධ උපද්‍රව ඇතිවූ අවස්ථාවල දී එකී විපත් සංසිඳුවා රට , දැය සමය රැක ගැන්මට විවිධ යුගවල දී දුටුගැමුණු, විජයබා, ගජබා, පැරකුම් වැනි නරපතියන් සේ ම අනගාරික ධර්මපාලතුමන් වැනි යුග පුරුෂයන් පහළ වූ බව පැහැදිලි කරුණකි.

පසුගිය දශක තුනක කාලයක් තිස්සේ අප රටේ ඇතිව තිබූ අවාසනාවන්ත වාතාවරණය දුරු කර ස්ථිරසාර සාමයක් මෙරටට උදාකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් ද එවැනි යුග පුරුෂයෙකු ලෙස හැඳීන්වීමට කැමැත්තෙමි. එඩිතර නායකත්වයත්, නොපසුබස්නා ධෛර්යයත්, ස්වදේශානුරාගයත්, ආගමික හැදියාවත්, අවංක කැපවීමත් යනාදී අගය කළ යුතු පුරුෂාර්ථයන්ගෙන් හෙබි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දේශපාලන දිවිය අතිශයින් ම ආදර්ශ සම්පන්න වූවකි.

රුහුණු ගිරුවාපත්තුවේ ඉපිද මෙරට ජනතාව ගේ හද ගැස්ම නිවැරැදි ව හඳුනා ගත් එතුමා ජනතා නායකයෙකු ලෙස පියවරින් පියවර ආ ගමන් මග ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත.

විශේෂයෙන් ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙහි දී එතුමා පළ කළ කෘතහස්තභාවයත්, රාජ්‍යතාන්ත්‍රිකභාවයත් දෙස් විදෙස් සැම ගේ ප්‍රශංසාවට ලක් විය. ජාත්‍යන්තර වශයෙන් පතුරුවා තිබූ අපකීර්තිය දුරු කර ලෝකයේ සංචාරය කිරීමට සුදුසු රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් ගේ නිවැරැදි නායකත්වය නිසා බව සියලු දෙනාටම නැවත නැවතත් සිහිපත් කළ යුතු ව ඇත.

එම අභීත නායකත්වය අගය කරනු පිණිස අස්ගිරි මල්වතු උභය මහා විහාරයන් මගින් ‘විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර’ යන ගෞරව නාමය එතුමන්ට පිරිනමනු ලැබිණි.

මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් ගේ අප දකින සුවිශේෂත්වය වන්නේ බුදු දහම පිළිබඳවත්, මහාසංඝරත්නය පිළිබඳවත් එතුමා තුළ පවත්නා ශ්‍රද්ධාමාමකත්වයයි.

එතුමන් බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා අතර අවශ්‍ය සියලු උපකාරයන් නොපිරිහෙළා ඉටු කරන්නේ පෙර හෙළ රජවරුන් බුදුසසුනේ අභිවෘද්ධියට ගත් මග අනුගමනය කරමින් බව විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

 සදාචාරාත්මක මෙන් ම ආර්ථික, දේශපාලනික අතින් ද බිහිසුණු අනතුරක් අබියස සිටි අප ගේ මාතෘභූමිය ඉන් මුදාගෙන යළිත් මෙරට ධර්මද්වීපයක් මෙන් ම සුඛිත මුදිත ස්වාධීන රටක් ලෙස නිවැරැදි මාවතකට යොමු කිරීමෙන් එතුමන් ඉටු කළ ඓතිහාසික කාර්යභාරය මතු පරපුර ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරනු ඇත.

ජනපතිතුමන් ගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවන අවස්ථාවේ මහාසංඝරත්නය ඇතුළු සියලු දෙනාගේ ම බලාපොරොත්තුව වන්නේ පසුගිය කාලය තුළ විවිධ අභියෝගයනට මුහුණ දී එතුමන් ලැබූ පරිණතභාවය තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ම සතුටින් විසිය හැකි සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට වඩාත් කැපවීමෙන් කටයුතු කරනු ඇත යන්නයි.

ඒ සඳහා සියලු රටවැසියන්ගේ අවංක සහයෝගය ලැබිය යුතු බව ද සිහිපත් කරමි. එකී යහපත් අරමුණු සාර්ථක කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමන්ට ත්‍රිවිධ රත්නයේත්, ශ්‍රීමත් දළදා වහන්සේගේත් නොමද ආශිර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.
 

ඒ වගත් මෙසේ ම

මහනුවර අස්ගිරි

විජයසුන්දරාරාම විහාරද්වයාධිපති,

උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සී

රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ වම්හ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්