ශීඝ්‍රගාමී ආර්ථික සංවර්ධනයක මහා පෙරළිය

ශීඝ්‍රගාමී ආර්ථික සංවර්ධනයක මහා පෙරළිය

ග ගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය ලංකා ඉතිහාසයේ විශේෂ සිද්ධියකි. එසේ වන්නේ යුද්ධය නිමා කර ඇති අවස්ථාවක මෙරට විධායක ජනාධිපතිවරයකු දිව්රුම් දෙන පළමු අවස්ථාව මෙය වන බැවිනි. ඒත් ඉහත සෑම ජනාධිපතිවරයකු ම එම තනතුරට පත් වූයේ රටේ දැඩි අස්ථාවරත්වයක් තිබිය දී ය. ආර්ථික වශයෙන් බලනවිට ද මේ කාරණය රටට බෙහෙවින් ම වාසි දායක ය.

මේ වන විට රට හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනඟා ගැනීමට සමත්ව සිටී. ආර්ථිකයක සෞඛ්‍ය නිගමනය කිරීමේ දී අදාළ කරගත හැකි නිර්ණායකයන් අතර ඒකක් නම් සංවර්ධන වේගයයි. එහි දී 2010 වර්ෂය අගභාගය වන විට ඉතා හොඳ ප්‍රතිඵල දක්නට ඇත. දළ වශයෙන් 7.5% ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපට හැකි වී තිබේ.

අප එවැනි මට්ටමකට ළඟා වූයේ, ඛනිජ තෙල් අර්බුදය ආහාර අර්බුදය, මූල්‍ය අර්බුදය වැනි ගෝලීය අර්බුද කිහිපයක් ම පැන නැඟී තිබූ පසුබිමකයි. ඒ සියලු අභියෝග අතර වුණ ගරු ජනාධිපතිතුමා ගේ පළමු ධුර කාලය ඇතුළත ලොව සෙසු ආර්ථිකයන්ට සාපේක්ෂව ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට හැකි විය.

අප සතුටුදායක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත්තේ ලොව ප්‍රබල රටවල් පවා සෘණ ආර්ථිකයකට ගොස් තිබිය දී ය. මේ නිසා ජනාධිපතිතුමා ගේ දෙවන ධුර කාලය තුළ ආර්ථික යුද්ධය දිනා ගැනීම සඳහා ද හොඳ අවස්ථාවක් සැලැසී ඇත.

ආර්ථික යුද්ධය දිනා ගැනීම මෙපමණ වැදගත් වන්නේ ඇයි ? මූලික වශයෙන් ම එමඟින් දළිඳු ජනයා ගේ ජීවන මට්ටම ඉහළට ගැනීමට හැකි වන බැවිනි. කවර විවේචන ඉදිරිපත් වුව ද අද රට දෙස බලන විට අවබෝධ වන කාරණයක් වන්නේ ජනතාව ගේ ජීවන මට්ටම ඉහළට ගැනීමට හැකිව ඇති බවයි. මේ රටේ ජනගහනය මිලියන 20කි.

එම ජනගහනයෙන් මිලියන 17කටම දුරකථන පහසුකම් (ස්ථාවර / ජංගම) ඇත. අද මේ රටේ ත්‍රිරෝද රථ කොපමණ සංඛ්‍යාවක් තිබේ ද ? පසුගිය දා වාහන ආනයන බදු පහත හෙළීම නිසා වසර ගණනාවකට වඩා මේ කාල සීමාව තුළ වාහන අලෙවි විය.

අපේ රණවිරුවන්

වී නිෂ්පාදනය ඉහළ ගොස් ඇති ප්‍රමාණය අනුව දැනුත් අප සහලින් ස්වයං පෝෂිත බව කිව හැකි ය. සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් පවතී. විදේශයක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඩොලර් බිලියන 3ක පමණ මුදලක් රටට යොමු කරයි. මේ මුදල් ඔවුන් ගේ පවුල් අතට පත් වේ. එම මුදල්වලින් එක්කෝ ඔවුහු නිවෙසක් සාදති. නැතිනම් සුළු වෙළෙඳාමක් අරඹති. කුමක් හෝ ආර්ථික වශයෙන් ඵලදායි යමක් කිරීම බෙහෝ විට දක්නට ලැබේ.

යුද්ධය නිමා වී ඇති තත්ත්වයක් යටතේ අපේ ධීවර කර්මාන්ත දියුණු කිරීම සඳහා හොඳ පසුබිමක් ඇති වී ඇත. අපේ රණවිරුවන් දැන් රටට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලැබෙන අංශ කරා ද යොමු වී සිටී. සංවර්ධන කාර්යයන් සඳහා ඔවුන් උර දෙමින් ඇත.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වී තිබේ. උතුරු - නැඟෙනහිර ප්‍රදේශවල දායකත්වය ද දැන් ඊට එක් වෙමින් තිබීම එහි වර්ධනයට හේතු වී ඇත.

කොළඹ නගරය දියුණු හා අලංකාර නගරයක් බවට පත් වෙමින් තිබේ. එය එසේ නොවේ යැයි කිසිවකුටත් කිව නොහැකි ය.

මේ නිදසුන් කිහිපයෙන් වුව සංවර්ධනය කරා රට යොමුව ඇති ප්‍රමාණය පැහැදිළි වෙයි. මේ පසුබිම තුළ ඉදිරි වසර 6 දී සංවර්ධන වේගය තවත් වැඩි කිරීමට අපේක්ෂිත ය. එය දළ වශයෙන් 8 % - 9 % පමණ වනු ඇත. මේ මට්ටම කලාපයේ ඉතා හොඳ තත්ත්වයක් බව කිව යුතු ය.

ආර්ථික ප්‍රගමනයට

මෙම අපේක්ෂිත අරමුණු කරා යාමේ දී ගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය බල පාන්නේ කෙසේ ද ? එහි දී රටේ ස්ථාවරභාවය බෙහෙවින් ම වැදගත් ය. නැතිනම් දේශපාලන අර්බුද අනුව ය. අතීතයේ දී බොහෝ විට යුද්ධය ගැන කතා කර ඇතත් දේශපාලන අර්බුද ගැන කතා කර ඇත්තේ අඩු වශයෙනි. සෑම විට ම පාහේ විපක්ෂය කර ඇත්තේ රටේ ආර්ථික ප්‍රගමනයට අකුල් හෙළීමයි.

නමුත් දැන් ගරු ජනාධිපතිතුමා ගේ නායකත්වය යටතේ ඉතා ශක්තිමත් රජයක් බිහි කර ඇත. එතුමා දෙවන ධුර කාලය සඳහා තේරී පත් වූයේ විශිෂ්ට හා වාර්තාගත ජන වරමකිනි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සියල්ලේ පාහේ බලය රජයට අනුගතව තිබේ. එනම් රට තුළ යහපත් දේශපාලන පසුබිමක් නිර්මාණය වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව අද ලෝකය පිළිගනී. ඉදිරියේ දී ඉන්දියාව, චීනය අභිබවා යනු ඇතැයි ඇතැම් දෙනා මත පළ කරන්නේ ද ඊට එකඟව ය. චීනයට සාපේක්ෂව ඉන්දියාවේ එම පසුබිම දිගු ගමනක් යාමේ දී ඔවුන්ට වාසිදායක ය. ආයෝජකයන් ට හිතකර වන්නේ ස්ථාවර රජයක් පැවැතීමයි. ඔවුන් ඒ කාරණය ගැන බෙහෙවින් උනන්දු ය. හොඳට හෝ නරකට, කළින් ස්ථාවර තත්ත්වයක සිටි අපගේ අසල්වැසියන් දැන් අස්ථාවර වෙමින් සිටී.

එය හොඳ දෙයක් යැයි අපි නොකියමු. එහෙත් ඒ බව දේශපාලන වශයෙන් පෙනෙන්නට ඇත. සාර්ක් කලාපය දෙස බලන විට නේපාලය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින ආදී රටවල අර්බුද දැකි ය හැකි ය. ස්ථාවර රටවල් ලෙස පවතින්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා භුªතානයයි.

මේ කලාපයෙන් ඔබ්බට තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලත් යම් යම් අභ්‍යන්තර අර්බුද පවතී.

ත්‍රස්තවාදය පරාජය කිරීම හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමක් ගොඩනඟා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව කලාපයේ ම ඉදිරි මට්ටමකට අවතීර්ණව ඇත. රටට හොඳ නායකත්වයක් ද ලැබී තිබේ. මේ පසුබිම ආර්ථික සංවර්ධනයට ඉතාමත් හොඳ ය.

අර්බුද නිමාකර

මහ සයුර-ගොඩ බිම එක ලෙස ජයගැනීම...

එවැනි පසුබිමක් තිබූ පමණින් රටකට ඉදිරියට යාමට නොහැකි ය. ඉතාමත් වැදගත් සාධකයක් වන්නේ නායකත්වයයි. එහි දී ඉදිරි වර්ධනයක් සඳහා ඉතා හිතකර පසුබිමක් පවතින අතර ම අපට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ ශක්තිමත් නායකත්වය ද ලැබී ඇත. එතුමා ඉදිරියට යමින් සිටින්නේ රටේ සියලු අර්බුද සැලකිල්ලට ගනිමින් සහ ඒවා සමනය කරගනිමිනි. එතුමා දෙවන ධුර කාලය අරඹන්නේ එවැනි බොහෝ අර්බුද නිමාකර ඇති පසුබිමකයි.

අපේ රටේ බොහෝ දෙනෙකු අමතක කරන තවත් වැදගත් කාරණයක් මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ උතුර සහ නැඟෙනහිර ඒකාබද්ධ කරන්නේ ද වෙන්ව තබන්නේ ද යන්න අරබයා මතුව තිබූ අර්බුදකාරීත්වයයි.

මේ පිළිබඳ බොහෝ වාද විවාද මත ගැටුම් ඇති විය. ජාතික ප්‍රශ්නය ලෙස ප්‍රකාශයට පත් වූ අර්බුද යේ මෙය වැදගත් කාරණයක් ද විය. ඉතාමත් ක්‍රමානුකූලව සහ නිහඬව මේ අර්බුදය නිමා කිරීමට ගරු ජනාධිපතිතුමා ට හැකි විණි. මේ පිළිබඳ විවිධ දේශපාලන මත ගැටුම් කෙසේ වුව ද ඉතා සුහදශීලීව මේ ප්‍රශ්නයට විසැඳුම් ලබා දීමට එතුමා සමත් විය. දැන් අපේ රටේ උතුරු සහ නැඟෙනහිර යනුවෙන් පළාත් දෙකක් පවතී.

නැඟෙනහිර පළාත් සභාව ද පිහිටුවා ඇත. ඉදිරි කාලයේ දී උතුර පළාත් සභාව ද ස්ථාපිත කෙරෙනු ඇත. නැඟෙනහිර මහ ඇමැතිවරයා ද ප්‍රකාශ කරන්නේ කවුරුන් ඉල්ලා සිටිය ද මේ පළාත් දෙක එක් කිරීමට අප නම් ඉඩ නොදෙන බවයි. නැඟෙනහිර වෙනම පළාතක් ලෙස පැවැතීමට ඔවුන්ට අවශ්‍ය ය. ගරු ජනාධිපතිතුමා ගේ සංකල්පය යටතේ යුද්ධය ජයග්‍රහණය කර නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාව ගේ නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩ සැළසිණි.

යම් ප්‍රමාණයකට බලතල ඔවුන්ට ලබා දීමට කටයුතු කර ඇත. නැඟෙනහිර මහ ඇමැතිවරයා කලින් එල්. ටී. ටී. ඊ යේ සන්නද්ධ සාමාජිකයකු විය. රජයේ අමාත්‍යවරුයකු වන කරුණා අම්මාන් එල්. ටී. ටී. ඊ සන්නද්ධ අංශයේ නායකයකු විය. එවැනි අය පවා ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනයකට ලක් කරමින් රටේ දියුණිවට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි වී ඇත.

මීට වසර 10කට පෙර උතුර - නැඟෙනහිර ප්‍රශ්නයට අද පවතින අන්දමේ විසැඳුමක් ලැබෙතැයි කිසිවකුත් අපේක්ෂා නොකෙළේ ය. එය කිසිදු විසැඳුම් ලබා දිය නොහැකි ගැටලුවක් බව බොහෝ දෙනා ගේ විශ්වාසය විය. එය තාමත් සංකීර්ණ ප්‍රශ්නයක්ව තිබිණි.

විශිෂ්ට ජයග්‍රහණය

විවිධ විද්වත්හූ ඒ පිළිබඳ ගැඹුරින් සංවාදයට ලක් කළහ. එහෙත් විශාල කලබගෑනියකින් තොරවම මේ ප්‍රශ්නය විසඳාලීමට ජනාධිපතිතුමාට හැකි විය. දැන් මේ දෙපළාත ම රටේ සංවර්ධන ක්‍රියාවලියට උර දෙමින් සිටී. ඒ ඒ පළාත්වල නොයෙක් ප්‍රදේශ දියුණු කිරීම සම්බන්ධයෙන් මතුª වන ඉල්ලීම් මිස ජනවාර්ගික මුහුණුවරක් ගත් ඉල්ලීම් අද අවම වී ඇත.

මා මෙය දකින්නේ ගරු ජනාධිපතිතුමා එතුමා ගේ පළමු ධුර කාලය තුළ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි. නැඟෙනහිර විසැඳුම් ලබා දුන් පරිදි ම උතුරටත් එතුමා සිය ඉදිරි කාලය තුළ ප්‍රජාතන්ත්‍රීය විසැඳුමක් නිසැකව ම ලබා දෙනු ඇත. ඒ සඳහා ද්‍රවිඩ ජනතාවත් සමඟ දැනටමත් සංවාදයක් ඇරැඹී තිබේ.

අතීත මතකයන්

එතුළින් තනිකර ජාතිවාදය මත පදනම් වූ දේශපාලන පක්ෂ බැහැර වී ඇත. එවැනි පක්ෂවලට අනාගතයක් නැති බව සෑම පැත්තකින් ම පෙනෙන්නට තිබේ. දකුණේ හෝ උතුරේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් එවැනි ජාතිවාදී පක්ෂ තනිකරම වර්ධනය වූයේ යුද්ධය හේතුවෙනි. දැන් යුද්ධය නිමා වී ඇති නිසා ජනවාර්ගිකත්වය නැමැති මඩගොහොරුවේ ඇතිවුණු එවැනි ජීවීන් ද විනාශයට ගමන් කර ඇත.

මේ පසුබිම තුළ සිය දෙවන ධුර කාලය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මුල් කරගනිමින් සියලු ජනවාර්ගික කොටසේ ඒකරාශී කිරීමට ගරු ජනාධිපතිතුමාට හැකිවනු ඇත. දැනටමත් ඊට මුල පිරී තිබේ. මෙහිදී පැහැදිලි නිදසුනක් ගෙන හැර පෑම සුදුසු ය. ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එම ජනතාව අමතයි. එම භාෂාව ඉගෙන ගනිමින් සිටී.

අතීත මතකයන් අවදි කළොත් මා කැනඩාවේ ඉගෙන ගන්නා අවදියේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය කතා අඩක් ඉංග්‍රීසියෙන් හා ඉතිරි අඩ ප්‍රංශ භාෂාවෙන් කථා කළ බව සිහිපත් වෙයි. සිය රටේ ජීවත් වූ ඉංග්‍රීසි හා ප්‍රංශ බස කථා කරන දෙපිරිසටට ම එතුමා එකවර ඇමැතී ය. එපරිදි ම අපේ ජනාධිපතිතුමා ද ප්‍රායෝගික විසැඳුමකට යොමු වී සිටී. මේ ඔස්සේ ජාතික ප්‍රශ්නයට මුල් වූ හේතූන්වලට ජනාධිපතිතුමා ගේ දෙවන ධුර කාලය තුළ විසැඳුම් ලැබෙන බව අපට පැහැදිලිව ම කිව හැකි ය.

උතුර - නැඟෙනහිර ආර්ථිකය රටේ ආර්ථිකයට සම්බන්ධ කිරීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාවට ද විශාල යහපතක් ඇති වී ඇති අතර රටේ ආර්ථිකයට ද එය විශාල රුකුලකි.

උතුර - නැඟෙනහිර ප්‍රදේශවල කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ද රජය විශාල වශයෙන් මුදල් වැය කර ඇත. අතීතයේ දී ද ගල් ඔය, මහවැලි ආදී යෝජනා ක්‍රම හරහා උතුර - නැඟෙනහිර පළාත්වලට ජලය සැපැයිණ. එය සිදුවිය යුතු ය. මේ සම්බන්ධය තුළින් ජාතික ආර්ථිකයට විශාල රුකුලක් ලැබී ඇත.

යටිතල පහසුකම්

රට සංවර්ධනය කිරීම තනිකර ම දේශීය ආයෝජනන මත පදනම් වෙමින් ම කළ නොහැකි ය. ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා රට යොමුව තිබිය දී අප ඉන් ඔබ්බට ද යා යුතුය. පළමු ධුර කාලය තුළ ජනාධිපතිතුමා රටේ යටිතල පහසුකම් නැංවීම කෙරෙහි විශාල අවධානයක් යොමු කෙළේ ය. එහි දී දේශීය වශයෙන් මුදල් සපයා ගැනීම අසීරුවිණි නම් ණය මුදල් ලබා ගෙන හෝ එම කාර්යයන් සම්පූර්ණ කර ඇත.

විපක්ෂය රට ණය වෙමින් ඇතැයි නිතර කෑ ගැසුව ද යටිතල පහසුකම් සඳහා වැය කළ එම මුදල් රටට ප්‍රතිලාභ ගෙන දීමට හේතු වී තිබේ. වරාය, ගුවන් තොටුපොළ, බලාගාර ආදී දෙවල් සඳහා වැයකරන මුදල් හුදෙක් වියදම් නොව ආයෝජනයක් ලෙස සැලකිය හැකි ය.

ඒවායින් රටට මුදල් ගලා ඒම ඉදිරි කාලය තුළ සිදු වනු ඇත. මේවාට ලබා ගන්නා ණය ගෙවා දැමීම ද අපහසුවකින් තොරව කළ හැකි ය. වැදගත් කාරණයක් නම් ණය වශයෙන් ලබාගත් මුදල් පරිභෝජනය සඳහා වැය නොකිරීම යි. ඒවා යොදවා ඇත්තේ පෙර සඳහන් කළ අන්දමේ සංවර්ධන ක්‍රියාදාමයන් ට ය.

මේ අනුව, යුද්ධය අවසන් කිරීමෙන් පසු ආර්ථික යුද්ධය දිනා ගැනීම කෙරෙහි ගරු ජනාධිපතිතුමා ගේ දෙවන ධුර කාලය යොමු වනු ඇත. එතුමා ගේ අභිලාෂය වී ඇත්තේ මෙම ආර්ථික ජයග්‍රහණයන් හා සංවර්ධනය පොඩි මිනිසා ගේ ජීවිතය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා යොදා ගැනීමයි.

එම ක්‍රියාවලීන් ගේ ප්‍රතිලාභ පොඩි මිනිසා කරා යොමු වන වැඩපිළිවෙළක් එතුමා ක්‍රියාත්මක කරමින් සිටී. ජනතා අභිලාෂයන් මල්ඵල ගැන්වීම ගරු ජනාධිපතිතුමා ගේ දෙවන ධුර කාලයේ තේමාව ලෙස සැලකිය හැකි ය.

 

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක


සබැඳි පුවත්