ජනපතිගේ දෙවෙනි පදවි ප්‍රාප්තියට ජයසිරි සෙත්

ජනපතිගේ දෙවෙනි පදවි ප්‍රාප්තියට ජයසිරි සෙත්

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ දෙවන වර පදවි ප්‍රාප්තිය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම අතිශයින් සතුට ගෙන දෙන කරුණකි. රට දැය සමය ගැන හැඟීමක් සහ අභිමානයක් ඇති කෙනෙකුට එතුමා ගේ පෞරුෂය සහ ප්‍රතිපත්ති මේ යුගයේ දී කෙතරම් වැදගත් දැයි ඒත්තු යන්නේ ජාතිය රුදුරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට පෙර ශ්‍රී ලංකාවාසීන්ට අත්වූ විවිධ දුක් ගැහැට නිසා හෙළූ සෝ කඳුළු මතක් වන විට ය.

සමාජ විද්‍යාත්මකව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික දෘෂ්ටිකෝණවලින් අද අප රට දෙස බලන විට මහින්ද චින්තනය පදනම් කොට දැනට අප ලබා ඇති සාමකාමී සහජීවන පිළිවෙළ ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද අගය කිරීමට ලක් වී ඇති බව පැහැදිලි ය. ඒ සඳහා නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ චරිතය සහ පෞරුෂය අතිශයින් මේ යුගයේ අප රටේ නායකත්වය දැරීමට ප්‍රයත්න දරන බොහෝ අයට වඩා ආදර්ශමත් ලෙස ඉදිරියෙන් ඇත.

බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත්වන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ගැමි සංස්කෘතියෙන් පෝෂිත වූ කෙනෙකු වශයෙන් කුඹුරේ නියර දිගේ ගමේ ගුරු පාරෙන් ඊට පසු තාර පාරෙන් අවුත් මහාමාර්ගයෙන් අගනුවරට ආ කෙනෙකු සේ ලාබාල ම මන්ත්‍රීකමෙන් ඉන්පසු ඇමතිකම, විරුද්ධ පක්‍ෂයේ නායක, අග්‍රාමාත්‍ය ධූරයත් ඊට පසු විධායක ජනාධිපති තනතුරටත් එතුමා ප්‍රවිෂ්ට වූයේ නියම පාරෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් මිස වෙනත් මගකින් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ද ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය දී එය ශක්තිමත් කළ බව ඉතා පැහැදිලි ලෙස දේශපාලන ඉතිහාසයේ ලියැ වී ඇත. විධායක ජනාධිපති තනතුර හොබවමින් අනුන්ට හිරිහැර නොකර අනිසි ලෙස බලය පාවිච්චි නොකිරීම ද එතුමා දුන් වැදගත් ආදර්ශයකි.

රුදුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ශ්‍රී ලංකාව එකසේසත් කිරීමට මීට පෙර විවිධ නායකත්වයන් යටතේ දරන ලද ප්‍රයත්නවලට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ දුරදක්නා ඥානයත්, රාජතාන්ත්‍රික උපාය දක්‍ෂතාවයත් නිර්භය ලෙස ඇපකැප වීමත් එසේ ම සුදුසු ලෙස උපදෙස් ලබාගැනීමත් දක්‍ෂ අය තනතුරුවලට පත්කිරීමත් ආදී විශිෂ්ට ගතිගුණ දසරාජ ධර්ම ප්‍රතිපත්තිවලට නෑකම් කියනු සේ ය.
ජන දුක පවසමින්...
ගැටලුවකට එවේලේම විසඳුම්...
මෙවන් සෙනෙහසක්...
ජනපති පියාගෙන් දූවරුන්ට ඔවදනක්...

ජනතාව බෙදුම්වාදයෙන් බේරාගෙන සියලු දෙනා ම ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික කොඩිය යටතේ පෙරමුණ ගැනීමට නියම නායකත්වයක් දෙමින් ජනතාව තුළ දේශාභිමානය වඩවමින් ජාතික කොඩිය යටතේ රට එක්සේසත් කිරීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ලත් විශිෂ්ට ජයග්‍රහණයකි.

එසේ ම දරුණු යුද්ධයට සම්බන්ධ ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමේ දී එය මානුෂික සටනක් ලෙස මෙහෙයවා ලක්‍ෂ සංඛ්‍යාත අසරණ ජනතාව බේරාගෙන ඔවුන් සුඛිත මුදිත කර නැවතත් ඔවුන් ජීවත්වූ ගම් නියම්ගම්වල ආරක්‍ෂිත ලෙස පදිංචි කිරීමට කටයුතු කිරීම පෙර නොවූ විරූ සානුකම්පිත මෙහෙවරක් ලෙස ලෝකය පිළිගෙන අවසාන ය.

මේ සඳහා පමණක් නොව රටේ ආර්ථික වර්ධනය සංස්කෘතික ප්‍රබෝධය සාමය සදාචාරය ඇතිකර දැනට පවතින තත්ත්වය ඉතාම සතුටුදායක බව යමෙක් නොපිළිගැනෙන්නේ එතෙමේ රට සහ ජනතාව නොහඳුනන්නෙකි.

අප රටට අපකීර්තියක් ගෙන දෙන පරිදි මහත් සේ සංවිධානාත්මකව කටයුතු කළ විදේශීය ත්‍රස්තවාදී ව්‍යාපාර වැනි ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන සහ ආයතන මෙන්ම පුද්ගලයන්ට ද නිර්භයව මුහුණ දී මෙල්ල කිරීමට මහින්ද රාජපක්‍ෂ රජය ගත් පියවර ප්‍රශංසනීය ය.

සමාජ සංවර්ධනය සඳහා උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් සමස්ත ශ්‍රී ලංකාවටම මහින්ද රාජපක්‍ෂ රජයෙන් මෙතෙක් කර ඇති මෙන්ම කෙරීගෙන යන විශාල වැඩ කොටස් සවිස්තරව සඳහන් කිරීමට මෙම සටහනේ ඉඩකඩ සීමිත ය. එසේ වුව ද සදාචාර සම්පන්න ජීවිතයක් ගෙන යෑමට අප ජනතාවට තිරසාර පදනමක් ඇති කර ප්‍රබෝධමත් ලෙස ජීවිතය සකස් කර ගැනීමට දැන් අවස්ථාව ඇත.

ඈත අතීතයේ සිට අප සමාජයේ අවුරුදු දහස් ගණනක් ප්‍රගුණ කරන ලද බොදු පිළිවෙත් අනුව පුද්ගලයෙකුගේ ජීවිතය සකස් කර ගැනීමට තුඩු දෙන මවුපියන්ගෙන් සැදි පවුල නැමැති ඒකකය ශක්තිමත් කිරීමට මහින්ද චින්තනයේ පදනමයි.

එසේ ම වැඩිහිටියන්ට ගරු කිරීම සහ අසරණයන්ට පිහිට වීම ද ශිෂ්ට සම්පන්න සමාජ පිළිවෙළයි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආර්ථිකය දියුණු කිරීමටත් රජය දරන ප්‍රයත්නය අතිශයින් වැදගත් ය.

ජාත්‍යන්තර සම්බන්ධකම් ඉතා ශක්තිමත් ලෙස මහින්ද රාජපක්‍ෂතුමා ජනාධිපති විසින් පෞද්ගලිකව ආදර්ශමත් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම එහි සාමාජික බලවත් රටවල නායකයන් හමු වී කර ඇති සේවය අතිශයින් ම ඵලදායී වී ඇත.

ඒ නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලෙස මහත් සැලකිල්ලක් සහ ගෞරවයක් මෙකල ලැබී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පෞරුෂය සහ විදේශ ප්‍රතිපත්ති නිසා බව පිළිගත යුත්තකි.

එසේ වුව ද දේශීය සහ විදේශීය බලවේගයන් අහිතකර ලෙස ක්‍රියාත්මක වන විට මෙතෙක් ලද ජයග්‍රහණ අනුව එවැනි තර්ජන සහ අභියෝගවලට මුහුණ දීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂතුමාට එතරම් අසීරු කටයුත්තක් නොවේ. මේ පිළිබඳ බුද්ධිමත් ජනතාව විමසිලිමත් වීම අතිශයින් වැදගත් ය. අනක් ගුණක් නැතිව විවිධ අංශවලින් එල්ල වන තර්ජන ගැන කල්පනා කරන විට ඒවාට සම්බන්ධ පුද්ගලයෝ හිරු දුටු කදෝපැණියන් වෙති.

එම පසුබිම මත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු කර ගැනීමට ජනතාව සුඛිත මුදිත කර ගැනීමට දරන උත්සාහයට සහයෝගය දීම දේශානුරාගයෙන් යුතු සැමගේ වගකීම මෙන් ම යුතුකමකි. එය දේශාභිමානයෙන් යුතුව රට දැය සමය නිසි මඟට යොමු කිරීමේ ජනතා පැතුම සුරැකීමයි. මේ සඳහා අභීතව නායකත්වය දෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයසිරි සෙත් පතමි.


සබැඳි පුවත්